චින්න චින්න ආසෛ சின்ன சின்ன ஆசை 02. කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටුවේවි..!

චින්න චින්න ආසෛ சின்ன சின்ன ஆசை 02. කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටුවේවි..!

27 February 2019 07:05 am

පොත්වලට පිටකවර දාන යුගය හෙමිහිට අවසන් වෙනකොට හිත්වලට පෙම් කවර දාගන්න යුගය උදා වුණා. ගැටවර හදවත් පාසැල් බස් රියේ ෆුට් බෝඩ් එකේ එල්ලෙනකොට, අශෝක් ලේලන්ඩ් වීදුරු ආකාසෙ පිපෙන තාරකා ඇස් විදුලි කොටන්න පටන් අරං තිබ්බ හරි අමුතු කාලයක් ඒක. ප්‍රේමය විෂයයෙහි බාලාංශ අත්දැකීම් විසින්, අසිරිමත් සුන්දරත්වයක ලාභාංශ හෙමින් හෙමින් ගණනය කරනු ලැබූ බව අපිවත් දැනගෙන හිටියෙ නැහැ. පපුවයි බඩයි අතරෙ සමනල්ලු එහා මෙහා පියාඹන හැඟුම තේරුම්ගන්න බැරිවුනාම, සමහර පාඩම් පොත් ඩෙස් බංකු මැද්දෙ හිරවුණා. ඒ මිහිරි ආතතිය නිසාමදෝ කොහෙද, ෆ්‍රී පීරියඩ්වල සංගීත නාද රාව ප්‍රතිරාව දුන්නා. ඔව්. ඇත්ත ම කියනවා නම් ඒ මුළු යුගය ම ෆ්‍රී පීරියඩ් එකක්.

 

බටහිරෙන් ඉන්දියන් සාගරේ මායිම් කරගත් ඒ නගරය, සංගීත සාගරේ නිරන්තරයෙන් පාවෙන ලාංකේය වයඹ දිග වැනීසිය කියලයි මට හිතෙන්නෙ. සති අන්තයේ එහි චාරිකා කරන්නකුට, හැම වීදියකම අඩුම තරමේ එක ගෙදරක, මියුසික් ප්‍රැක්ටිස් කරන බෑන්ඩ් එකක් මුණගැහුණා. ඔක්ටෝපෑඩ් සද්දෙයි හාට් බීට් එකයි හරිහරියට මුහු වෙනකොට, ජීවිතේ බරපතළකම් ගේට්ටුව ගාවින් ම ආපහු හැරිලා ගියා. කතෝලික පල්ලියෙත් මුස්ලිම් පල්ලියෙත් බෞද්ධ පන්සලෙත් සද්ද කාටවත් කරදරයක් වුණේ නැහැ. ඒ හැම සද්දයක්ම පරද්දපු සංගීත සද්දයක් ඒ නගරෙ තිබිච්ච හින්ද වෙන්නැති. එහෙව් නගරයක අපි ගිය ඉස්කෝලෙ පිහිටලා තිබුණා. මරියතුමී ඉස්කෝලෙට විතරක් නෙමෙයි ඉස්කෝලෙ සංගීත කණ්ඩායමටත් ලෝබ නැතුව නම දුන්නා.

නගරයට සැතැපුම් අටක් නවයක් ඈතින් තිබ්බ අපේ ගෙවල්වලට යන පාරවල්වල ලයිට් කණු තිබ්බෙ නැහැ. පැනසොනික් කැසට් රේඩියෝවලට පණ දුන්නෙ එවරෙඩි රතු බැට්රි කෑලි. ඒවා බහිනකොට අපි කටින් හපලා ආපහු දැම්මා. හොඳට ම බැහැපු බැට්‍රිවලටත් එතකොට පොඩ්ඩක් පණ එනව කියල, ඒ කාලෙ රේඩියෝ අසන්නන් තුළ, විද්‍යාත්මකව ඔප්පු නොකළ අහිංසක විශ්වාසයක් තිබ්බ. ගොඩක් විශ්වාස උපදින්නෙ දුප්පත්කම නිසා කියල දැන් තමා හරියට ම තේරෙන්නේ. ඉතින් කොහොමහරි, අපි, අපේ හිත්වල මෝදුවෙන, නමක් දන්නෙ නැති හැඟුම් එක්ක සමපාත වෙන සිංදු කෑලි එකින් එක අල්ලගන්න පටන් ගත්තා. අතට අහුවෙන විදිහට. හිතට අහුවෙන විදිහට.

ඒක හරි පුදුම කාලයක්. එක පැත්තකින් සන්නද්ධ දේශපාලන අරගලයක රුහිරු පෑ වර්ණ, ප්‍රධාන සිතුවමෙන් සේදී යනකොට, අනෙක් පැත්තෙන් නව මායාත්මක සංස්කෘතික වර්ණ පදාසයක් සමාජ ඊසලය මත තැවරෙන්න පටන් අරං තිබ්බේ. එහෙව් දවසක එකමත් එක රාත්‍රියක ටෙලිවිෂනයේ අමුතු දෙයක් පෙන්වලා තිබුණා. එතෙක් මෙතෙක් දැක තිබුණු, සංගීත ශිල්පීන් පිරිවරාගෙන ගී ගයන, මල් ලියවැල් සහිත කුර්තා ඇඳුම් අඳින බරසාර ගායක ප්‍රතිරූපයක් වෙනුවට බාච්චු කමීසයක් සහ කලිසමක් ඇන්ද, තමන්ගේ විදුලි ඕගනය එක ම සංගීත භාණ්ඩය කරගෙන, තමන් ම වයාගෙන තමන් ම ගයන අලුත් කොල්ලෙක්, එක රැයින් ලංකාව උන්මාදයට පත් කළා. අපේ ආත්මය කරකෝලා අතෑරිය එයාගෙ නම ආත්මා.

මේ වෙනකොට, රූකාන්ත, මුල් ම විසිකැති පාරවල් ටික ගහලා පාර සුද්ද කරලා තිබ්බේ. ඒ පාරෙ ඇවිත්, ඇස් පියාගෙන සිංදු කියන මේ අලුත් කොල්ලා ගැන කටකතා පියාඹන්න ගත්ත හැටි මාක් සකර්බර්ග් පොතකින්වත් කියවල තිබ්බ ද මන්දා. ඩ්‍රග්ස් සහ සංගීතය අතර කාල්පනික කතන්දරවලින් රසික රසිකාවන්ව සලිත කරන්න අමාරුයි. මොකද, ඊට ගොඩක් කාලෙකට කළින්, ඒ ගොල්ලො, ජනක රත්නායක සතුට පත්තරේට ඇන්ද සුසීමා චිත්‍රකතාවේ රතුපාට නිල්පාට කොලපාට දම්පාට ලෝකෙ ගැන දැනගෙන හිටියා. කොහොමහරි, ලියතඹරා ලංකාව වසඟයට ගත්තා. ඒ අමාරු හයි පිච් එකේ ලියතඹරා ඒ විදිහට ම කියන්න පුළුවන් හපන්නු, අර පුංචි පුංචි බෑන්ඩ්වලින් බිහිවෙන්න පටන් ගත්තා.

ඊළඟ අවුරුද්ද තවත් විස්මිත වුණා. සමුගන්නේ නෑ කියල කැසට් පීස් එකක් ආවා. ලංකාවෙ කෙල්ලන්ගෙ හදවත් සේරම වගේ භූමිකම්පාවකට අහුවුණා. ඒ සිංදුවල මිහිරි බව රහසින් වින්ද අපි, මේ තරුණ ආගන්තුකයා වෙත ලැබෙන ලලනා ආකර්ෂණය පිළිබඳ ඊර්ෂ්‍යාව නිසා හරි ම අපහසුතාවකට පත්වෙලා හිටියෙ. පස්සෙ කාලෙක ෂිහාන් අත්වින්ද පිරිමි ඊර්ෂ්‍යාව, ඊට වඩා දහගුණයක් විතර වැඩියෙන් නාමල් අත්වින්දා. එදා නාමල්ගෙ කටහඬ ඇතුළෙ තරුණ වික්ටර්ගෙ හඬේ සේයාවක් තියෙනව කියල මේ ලියුම්කරුට අදටත් හිතෙනව. ප්‍රබුද්ධ පීචං කියල ඉරිගහල බෙදල වෙන්කරන්න බැරි බලසම්පන්න සංස්කෘතික විශ්වාස උපදින්නෙ අපේ හදවතට දැනෙන රහ එක්ක. අපේ චින්න චින්න ආසෛ එක්ක.

අනූව දශකයෙ හොඳේ තියෙන්නෙ, ඒ සිංදුවල සාහිත්‍යය ශේෂ වෙලා තිබ්බා. කඳු පාමුළ වගේ සින්දුවක් මොන ම මිම්මකින්වත් නරක් වෙන්නෙ කොහොමද කියල විවෘත රසික මනසකට ඔප්පු කරගන්ඩ අමාරුයි. ලොවම නිදන රාත්‍රියේ වගේ සින්දුවක් විසින් මවාලනු ලබන මල්ලවාරච්චිමය හැඟීම, මොන රූල තියල මැන්නත් පොඩියට අහුවෙන්නෙ නෑ. බැනුම් අහගෙන අලුත් දේවල් කරන්න හදන අලුත් පරම්පරාව, වැඩ දාහක් මැද්දෙන් පොඩි වෙලාවක් හරි හොයාගෙන, අනූව දශකය ස්ටඩි කරනවනං, ඒකත් අපූරු හීනයක්. රූකන්තලා ආත්මලා නාමල්ලා එයාලගෙ කණ පිරෙන්න තරම් බැණුම් අහපු අය. හැබැයි ඒ ගොල්ලො ඒ බැණුම්වලට සරිලන්න අපේ සවන් රසයෙන් පිරෙව්ව. පිනෙව්ව.

ඒ රසය මොන තරම් හද කිති කවන සුලු එකක් ද කියනව නං, යූ ටියුබ් කාල යන්ත්‍රයෙන් අතීතයට යන අහඹු නිමේෂයක, දැනට භෞතික යථාර්ථයේ නැති හලාවත පරණ බස්ටෑන්ඩ් එකේ කොට බිත්තියකට හේත්තු වෙලා එහා පැත්තෙ රෙකෝඩ් බාර් එකේ ප්ලේ වෙන අප හමුවීම වෙන්වීම දෝ ආදරේ අහ අහ, මං විතරක් දන්න නිහඬ ආදරයක ගොළුවත තුරුළු කරං, ඉපැරණි පෙමකට හිමිකම් කියන ප්‍රසන්න පාසැල් දැරියක් එන තුරු සිතින් බලා ඉන්න අදටත් පුළුවන් !

- විමල් කැටිපෙආරච්චි