සිංහරාජය තුළ මාර්ග කැපීම ජාන මංකොල්ලයට අත වැනීමක්!

සිංහරාජය තුළ මාර්ග කැපීම ජාන මංකොල්ලයට අත වැනීමක්!

21 February 2019 12:15 pm

 

සිංහරාජ මහා පරිමාණ ජාන හොරකම ඉදිවන කුඩව මාර්ගය ඇතුළු සංවර්ධන සැලසුම් එකින් එකට ගැළපෙන සැලසුම් සහගත ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි.

ලෝකයේ මහා පරිමාණ ජාවාරම් අතර ජාන හොරකම දෙවෙනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. ජානයක් යනු සත්ත්ව, ශාඛ,ක්ෂුද්‍ර ජීවියෙකුගේ ලක්ෂණ සහ හැකියාවන් රැගෙන යන කුඩාම ඒකකය වෙයි. නිසිඅවසරයකින් තොරව ජීවියෙකු හෝ ඉන් කොටසක් ශ්‍රාවයක් නිෂ්පාදනය පිණිස ගණුදෙනු කිරීම ජෛව මංකොල්ලය ලෙස හැඳින්විය හැකිය.

ජෛව මංකොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කගත ප්‍රදේශ වන්නේ නිවර්තන කලාපයට අයත් වැසි වනාන්තරයි. පොහොසත් ජෛව පද්ධතියක් ආවේණික ලක්ෂණ හේතුවෙන් ඔවුන්ට මෙවන් ප්‍රදේශ රන් ආකර බඳුය.

සිංහරාජය නිවර්තන කලාපයට අයත් වැසි වනාන්තරයක් ලෙස ලොව ප්‍රමුඛතම වනාන්තර දහයට ඇතුළත්ය. විවධත්වය සහ අවේණිකත්වය යන ලක්ෂණ හේතුවෙන් පරිසර විද්‍යාත්මකව ඉතා වැදගත් වනාන්තර පද්ධතියකි. ජාතික සහ ලෝක උරුම වනාන්තරයක් ලෙස සිංහරාජයට එල්ල වන බලපෑම හුදෙකලා සිද්ධියක් ලෙස විග්‍රහ කර ගැනීම බරපතල වරද්දා ගැනීමකි.

පහළොස් වන ශත වර්ෂය තුළ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමඟ ආරම්භ වූ ජෛව සම්පත් අහිමි වීම ලන්දේසි සහ ඉංග්‍රීසි අවධීන්හි ක්‍රමිකව වර්ධනය විය. නිදහසින් පසුද විවිධ සංවර්ධන සැලසුම් හමුවේ වර්ධනීය තත්ත්වයට පත්විය. පසුගිය දශක තුනක පමණ කාලය තුළ ජෛව සම්පත් කොල්ලකෑම නව මුහුණුවරක ස්වරූපයක් ගෙන ඇත.

පවතින රජයන් සංවර්ධන සැලසුම් සහ දේශපාලඥයින්ගේ අනුග්‍රහය, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සම්බන්ධතා පරිසරවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි සංවිධානගත සූක්ෂම සැලසුම් හේතුවෙන් රටට අහිමි වන ජෛව සම්පත සුළුපටු නොවෙයි.

සිංහරාජයට හානි වන අයුරින් අවස්ථා කිහිපයකදීම මාර්ග ඉදිකිරීමට උත්සහ දැරීය. එය අසාර්ථක වූයේ සැබෑ පරිසර ක්‍රියාධරයන්ගේ මැදිහත් වීමෙනි.

ඉඹුල්ගොඩ කන්ද සිට සූරිය කන්ද දක්වා වූ මාර්ගය
ලංකාගම මෙනේරිපිටිය දෙනියාය දක්වා වූ මාර්ගය
දැනට ඉදිවන වැද්දාගල කුඩව පිවිසුම් මාර්ගය වශයෙන් සිංහරාජය දෙකඩ කිරීමේ සැලසුම් සංවර්ධන සැලසුම්වල ප්‍රථිපලයක් ලෙස කරළියට පැමිණි බව නොරහසකි.

2011- 2030 ජාතික භෞතික සැලසුමට අනුව ශ්‍රී ලංකාව සංචාරක මධ්‍යස්ථානයක් කිරීමට සැරසෙයි. පරිසර පද්ධති සහ ඓතිහාසික භූමී පදනම් කරගෙන සංචාරක ඉලක්ක සපුරාගැනීම බලාපොරොත්තුවයි. ඒ අනුව මේ සඳහා ලෝක බැංකුව Escamp ව්‍යාපෘතිය හරහා ඇමරිකන් ඩොලර් රුපියල් මිලියන 45ක මුදලක් ලබා දෙන්නෙ හොඳකට නොවන බව ඉතා පැහැදිලිය. දේශගුණික විපර්යාස අවම කිරීම යටතේ සිංහරාජය ඇතුළු වනාන්තර තුළ මාර්ග සාදන්නේ කුමකටද?

සිංහරාජය තුළ අඩි 12කින් යුතු මාර්ගයක් කපා ඇත්තේ ශාක හා සතුන් වනසා දමමිනි. බැකෝ යන්ත්‍ර යොදා හොර රහසේ වැඩ ඇරඹීමත් මේ අතර කාලය තුළ මාර්ටින් මාමගේ නවාතැන් පොළ ජාන මංකොල්ලකරුවන්ට නවාතැන් පොළ විය. සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් පාර වසා ඇත. එලෙස මහා පරිමාණයේ ශාක හා සත්ත්ව කොටස් එකතු කර ඇති අතර මෙය ඉතා සැලසුම් හසගතව සිදුවූවක් බව පැහැදිලිය.

Escamp ව්‍යාපෘතිය හරහා අවධානමට ලක්වන්නේ සිංහරාජය පමණක් නොව පෝද්දල, නකල්ස්, ලුණුගම්වෙහෙර, ගල්ඔය, යාල,  උඩවලව, වීරක්කුලි චෝලෙයි, වන්නියගම, ගටදිවුල,හුරුළු වැව යන වන සංරක්ෂණයට හා වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් පාරිසරික භූමිද ඇතුළත්ය.

සිංහරාජයේ කුඩව මාර්ගය යනු සමස්ත සංවර්ධන සැලසුමේ කොටසකි. වර්තමානය තුළ සමස්ත පාරිසරික පද්ධති සියල්ල සංවර්ධන සැලසුම් හේතුවෙන් අවධානමට ලක්ව ඇත. පරිසර හිතාදරයන් අභියෝග කළ යුත්තේ විනාශකාරී සමස්ත සැලසුමටය. එහෙත් එවැන්නකට පෙළ ගැසීම පසෙක තබා සිංහරාජයේ ඉදිවන මාර්ග සෑදීම සාධාරණ බව ප්‍රකාශ කිරීමට සමස්ත පරිසරවේදීන් සහ නීතිවේදීන් මැදිහත්ව ඇත. මෙවැනි මැදිහත්වීම් කුමන ආකාරයක මැදිහත්වීම්දැයි ගැඹුරින් විමසා බැලියයුතු නොවන්නේද?

ලංකාවට අහිමි වූ ජාන සම්පත් මෙරටින් රැගෙන යාම විෂයෙහි විවිධ පාර්ශව වගකිව යුතුය. ඒ නිසා අද වන විට ඇමරිකානු පේටන්ට් නීති අනුසාරයෙන් බහුජාතික සමාගම් ශාක හා සතුන්ගේ අයිතිය හිමිකරගෙන ඇත.

කොතලහිඹුටු ආශ්‍රිත නිෂ්පාදන හරහා පේටන්ට් බලපත්‍රය වන හෙපටයිට් බී ඖෂධය {U5650167},වල්රුක්අත්තන පේටන්ට් බලපත්‍රය හරහා {US 5681958,5629319,56288999,5753796} මේ නිදර්ශන කිහිපයක් පමණි. මෙරටින් රැගෙන ගිය ශාක හා සතුන්ට අයත් ජාන සම්පත්වල ලැයිස්තුවක් සැකසිය හැකිය .

ජාන මංකොල්ලය සඳහා හවුල්කරුවන් විවිධ මුහුණුවරයන්ගෙන් පෙනීසිටිය හැකිය. මන්ද එය ඉතා සූක්ෂම ක්‍රියාවලියකි. සිංහරාජයට විදුලි කාර් රථ සංචාරක පහසුකම් යැයි සලකා සංවර්ධනයේ නාමයෙන් සිදුකරන විනාශය ගැඹුරින් සිත බැලිය යුතුය.

සිංහරාජය තුළ සංචාරක ප්‍රවර්ධනය කිරීම සිදුකරන්නේ නම් ඒ සඳහා අධ්‍යයනයක් තිබිය යුතු නොවේද? දැනට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සිංහරාජයට දැරිය හැකිවේද යන කරුණු සොයා බලා සිදුකළ යුතු දෑ වුවත් හිතුමතේ සිංහරාජය තුළ මං මාවත් ඉදිකිරිම සහ වාණිජකරණයට ලක්කිරීම ජාන මංකොල්ලකරුවන්ට දොර විවර කිරීමක් නොවන්නේද? සිදුකළ යුත්තේ සිංහරාජය තුළ අද පවතින සජීවී ගුණ මරා දැමීමත් මංකොල්ලකෑමත් නොව නූපන් හෙට දවස වෙනුවෙන් සංරක්ෂණය කර තැබීමයි.

විවිධ මුහුණුවරින් සැලසුම් සහගත සංවිධානය වීම් හරහා පැමිණෙන පරිසර විනාශය විග්‍රහ කර ගැනීමත් එය පිටුදැකීමත් අද දවසේ අප වගකීම වනු ඇත.

පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි