විත අස පත 29 - අන්දරේ! ඉතිං අප සිනාසිය යුතුද?

විත අස පත 29 - අන්දරේ! ඉතිං අප සිනාසිය යුතුද?

8 October 2018 12:55 pm

මක්කර නමුත් ජාතිය මතක නැති වෙලා
මුක්කර කුලෙන් පැවතෙන සංකර දෙමළා
වක්කර වතුර දිය බත් කන පර දෙමළා
මක්කර ගන්ඩ ගත්තද වේසියෙ දෙමළා?

රජ වාසල විකටයෙකු සහ පැරණි ජන කවියෙකු ලෙස සුප්‍රකට අන්දරේ විසින් කියන ලදැයි සලකන මේ සිව් පද කවිය අප උපුටා ගත්තේ පරාක්‍රම කොඩිතුවක්කුගේ 'දෙවියන්ගේ මිනිසුන්' නම් ධාරා කාව්‍ය සංග්‍රහයෙනි. ජාතිය නොතකා තමා ප්‍රේම කළ ද්‍රවිඩ තරුණයෙකු සමඟ දීග ගිය සිංහල තරුණියකට පරිභ්‍රව කීරීම පිණිස අන්දරේ මෙසේ කියා ඇතැයි කතුවරයා එහි ලියා දක්වයි. අන්දරේ විහිළුකාරයෙකු බව සැබැවි. ඉතිං අප සිනාසිය යුතුද?

අන්දරේගේ රාජකාරිය රජු හිනැස්සවීමයි; ප්‍රශස්ති ගායනා කිරීමයි; රජුටත්, ඔහුගේ පාලනයටත් එදිරි වන්නන්ට කටින් - එසේ බැරි තැන අතින් පයින් - එළව එළවා පහර දීමයි. 'සද්ද විද්ද පළිහ පටබැඳිගේ' ආදී ගරු නම්බු නාම ලැබෙන්නේත්, හිත පුරා රාජ සම්පත් වැසි වසින්නේත් එවිට ය. එවැන්නෙකු ගේ කටින් මෙවැන්නක් පිටවීම අප බෙහෙවින් මවිත කරවන සිදුවීමක් විය හැකිද? ඉතිං අප සිනාසිය යුතුද?

මෙකී කවියට පාදක වූ මූලික සිදුවීමට අතිශයින් සමාන සිදුවීමක් මෑත ඉතිහාසය මඳක් පීරා බලන විට අපට හමුවෙයි. එකී සිදුවීමට රත්න ශ්‍රී විජේසිංහ කවියා දැක්වූ ගීතමය ප්‍රතිචාරය මෙබඳු ය.

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනෙන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විහඟ සෙනඟ අඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

පසු කලක විමුක්ති කොටි සංවිධානයේ පොලිස්පති ලෙස කටයුතු කළ නඩේසන්, විනීතා නැමැති සිංහල තරුණිය සමඟ විවාහ වී උතුර බලා යෑම මේ ගීතය ලිවීම සඳහා පාදක වූ නිමිත්තයි. එය අන්දරේමය ප්‍රතිචාරයකට වඩා එහා ගිය බෙහෙවින් විවෘත සහ නූතන ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් බව ඇත්තකි. නමුත් ඉන් අනතුරුව ගෙවී ගිය දශක කීපය තුළ සිදුවූයේ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ඉතිං අප සිනාසිය යුතුද?

ස්වකීය සහෝදර ජාතියක් සමූල ඝාතනය කිරීම සාධාරණීකරණය කළ - කරන සහ ඒ වෙනුවෙන් ප්‍රශස්ති හඬ නැඟූ - නඟන උන් බහුතරයක් අපට හමුවන මෑත ඉතිහාසය දෙස බලා අප අන්දරේලාගේ ඈත ඉතිහාසය ගැන කම්පා විය යුතු නැත. එවැන්නන් බොහෝ දෙනෙකුට හිමිවන අවසාන පොදු ඉරණම කුමක් විය හැකිද? අන්දරේ ගේ ම වදනින් පවසතොත් එය මෙසේ ද විය හැකිය.

රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැති විය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණ මට
මෙහෙමත් කල යා ද පලු වීර ගස් යට

ඉතිං අප සිනාසිය යුතුද?

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 28 - මං ඉතාලියේ තනි වුණා!