විත අස පත 26 - පිකාසෝගේ ගුවෙර්නිකා යථාර්තය!

විත අස පත 26 - පිකාසෝගේ ගුවෙර්නිකා යථාර්තය!

17 September 2018 11:51 am

මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා එක මිටට කැටි කර ගත් ගුවෙර්නිකා මෙරට බොහෝ කලාකරුවන්ට ඇඟිල්ලෙන් ඇන බලෙන් පෙන්විය යුතු තරම් මට්ටමේ කලාත්මක වෑයමකි. හෘද සාක්ෂියක් සහිත කලාකරුවෙකුට - මතු නොව මිනිසෙකුට වුව - කිසි දිනෙක යුද්ධය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැතැයි මේ ගෙවී යන තීරණාත්මක මොහොතේ පවා ගුවෙර්නිකා අපට තරව ම කියා පායි. නමුත් නෑසූ කන් ඇතිව බලා සිටීම පිකාසෝගේ නොව අපේ වරදකි.

පළමු ලෝක යුධ සමයේ ගුවෙර්නිකා නගරයට එල්ල වූ ප්‍රහාරය අධිතාත්වික රීතියකින් සිය කැන්වසය මත සිත්තම් කරන පිකාසෝ නැවත නැවතත් අපට කියන මේ පණිවුඩය කුමක්ද? යුද්ධය බිහිසුණුයි - මනුෂ්‍ය විරෝධීයි - කරුණාකර නතර වෙයල්ලා යන ඓතිහාසික පුනරුච්චාරණය ම මේ පින්සල් පහර අතර තැනින් තැන ගැබ් වී නැද්ද? එහෙත් පිකාසෝ එසේ ඇන්ඳා කියා දෙවන ලෝක යුද්ධය නෑවිත් සිටියේ නැත. එවන් ලෝකයක, සිය සහෝදර ජාතිය මත බර අවි හෙලීම කැවුම් - කිරිබත්වලින් සැමරූ ජාතියක් ගැන අප තව කොපමණ කලක් කම්පා විය යුතුද? කම්පාව කෙසේ වුව එය කිසි විටෙක අභිමානය පිණිස හේතුවක් නොවන වග මේ මොහොතට අදාළව වටහාගෙන සිටීම පමණකුදු වැදගත් ය.

witha

වරක් අප සමග සමීප සංවාදයක නිරත වූ ප්‍රගීත් රත්නායක නම් තරුණ සිත්තරා පැවසූ අදහස් කීපයක් යළිඳු මෙතැන උපුටා දැක්වීම සුදුසු යැයි හැඟෙයි. ප්‍රගීත් මෙසේ කියයි.

" 'දේශපාලනිකයි' කියන එකේ තේරුම සරලව මට අනුව නම් වෙනස් කිරීම යන්නයි. සමහරෙකුට එහෙම නොවන්න පුළුවන්. සරලව කිව්වොත් මෙහෙමයි. අපි හුස්ම ගැනීම දේශපාලනිකයි කියලා කිව්වොත් ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ. එහෙම තමයි ඒක එච්චර අහිංසක නෑ. ඉතින් මම මගේ වැඩේට සවිඥානිකයි. මට නිකන් චිත්‍ර අදින්න බෑ. සමහර දේශපාලනික විභවයන් තියෙනවා මගේ මැදිහත් වීම ඇතුළෙ. දේශපාලනය කරන්න පක්ෂ දේශපාලනයම අවශ්‍ය නෑ. සමහර අදහස් මේ ක්‍රමය පවත්වගෙන යන්න උදව් කරනවා.සමහර අදහස් මේ ක්‍රමය වෙනස් කරන්න උදව් කරනවා. මෙන්න මේකට සවිඥානික වීමයි වැදගත්. අදහස් පිළිබඳ නිදහස වැදගත්. සමාජයීය වශයෙන් නම්‍යශීලීද කියන එකට මට තිබෙන්නෙ මෙහෙම අදහසක්. මම සමාජයට පණිවිඩයක් දෙන්න නෙවෙයි Art කරන්නෙ. නමුත් මේ සමාජය, මේ මොහොත පිළිබඳ අවදියෙන් ඉන්නවා. මම කියන්නෙ මේ සමාජ මොහොතේ නිර්මාණයක් ඓතිහාසිකව සිට. එතකොට මට එක එක විදියට ගනුදෙනුවක් තියෙනවා මේකත් එක්ක. මෙන්න මේ තේරුම් ගැනීම Art හැටියට Represent කිරීම තමයි මගේ සමාජ භාවිතය විෂය ඇතුළෙ. ඒක සමාජයට නම්‍යශීලීව තියනවද නැද්ද මම දන්නෙ නෑ. තේරුම් ගැනීම තමයි මං හිතන්නෙ මැදිහත් වීමක් ලෙස වැදගත්ම දේ."

"චිත්‍ර නෙවෙයි ගොඩක් කලා මාධ්‍යයන්වලින් කරන්න පුළුවන් දෙයක් මේ වනවිට සමාජයීය අර්ථයෙන් නැහැ කියලා මට හිතෙන්නෙ. ඒක පුද්ගල, පුද්ගලික අර්ථයක් ඇතුළෙ කේවල අනන්‍යතාවයක් දක්වා විතැන් වෙලා. නූතන අවදියේ නම් කලා කෘතියක් යම්කිසි සාරයක් නඩත්තු කලා. මේ මොහොතේ සමාජයට සමහර වෙලාවට තවත් මනුස්සයෙකුගේ උණුසුම් සම්බන්ධය වැදගත් නෑ. ළඟම කෙනා මග ඇරෙනවා කියලවත් තේරෙන්නෙ නෑ. පුද්ගලයන්ට වඩා ක්‍රමය බලවත් නිසා අපි හැමෝම මේක ඇතුළෙ විනෝද වනවා හැර දේශපාලනිකව කලාකෘතියත් එක්ක බැඳන්නෙ හරි අඩුවෙන්. අපි දන්නවා කලා ඉතිහාසය ඇතුළෙ සමහර සමාජ අරගලයන්ට බලපාපු විදිය. අපිට මේ මොහොතේත් ඕන වෙනවා 'ඇහැට අනින' කලාවක් මේ සමාජය වෙනස් කරන්න. ඒක දේශපාලනික වැඩක්."

"විජේදාස රාජපක්ෂගෙන් දිහා බලන්න. මේ වගේ මැටි මෝල්ලු ඉන්න රටකට තමයි අපිට කලාව කරන්න වෙලා කරන්න වෙලා තියෙන්නෙ. 'කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නෑ' කියලා එදා ගුස්ටාව් කුර්බේ කියනවා. ඒක ලංකාවට එදා සිට මේ වනතෙක් හොඳට ගැලපෙනවා. මෙන්න මේ කාරණත් එක්ක දේශපාලනික වනවා කියන එක තමයි කලාකරුවෙක් සිහියෙන් ඉන්නවා කියන්නෙ. මේ යක්කුන්ට කලාව වගේ දෙයකින් වැඩක් නෑ. එහෙම උන්ට ඕන ඒක උන්ගේ Tool එකක් හැටියට පාවිච්චි කරන්න."

ඉදින් දැන් අපට අවසාන නිගමනය මෙසේ වාක්‍යය කීපයකට කැටි කරගත හැකිය.

අතිශය පුද්ගලික, සංවේදී යැයි කිව හැකි හේතුවක් යටතේ වුව කලාකරුවෙකුට - මිනිසෙකුට? - අමනුෂ්‍ය කඳවුර නියෝජනය කළ නොහැකිය. ගුවෙර්නිකා හරහා පිකාසෝ වැළපුම - පීඩනය - ඛේදය ඉස්මතු කරමින් අපට කියන්නට තතනන පණිවුඩය එයයි. මේ අශ්ව හිස දෙස මොහොතක් බලන්න! අශ්ව හිසකින් පවසන ඇතැම් දේ මිනිස් හිසකට ගෝචර වන දිනයක ලෝකය මීට වඩා සුන්දර වනු ඇත. යුද්ධය - ආගම - ජාතිය පමණක් නොව ආදරය ගැන ද නැවුම් ලෙස සිතන එවන් හිස් පහළ වන තුරු අපි ඇස් නොපියා බලා සිටිමු!

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 25 - අන්න ඒකයි ශාන්තී!