දීප්තිගේ කිවිදා කොලම 24 - අවිඥානය උමාලිගෙන් පුබුදු වෙතට  

දීප්තිගේ කිවිදා කොලම 24 - අවිඥානය උමාලිගෙන් පුබුදු වෙතට  

14 September 2018 12:22 pm

ටෙලිනාට්‍ය යනු මනුෂ්‍ය ජීවිතය එක්තරා අන්දමකට ඇමරිකානුකරණය වීමකි. පරිභෝජනය, නිල් ජීන්ස්, ජනප්‍රිය සංගීතය, රොක් සංගීතය ගෝලීය මිනිසාගේ දෛනික ජීවිතය බවට පත් වී ඇත. උමාලි තිලකරත්නගේ රෝග ලක්ෂණය (Symptom) ඇය වෙතට ආවේ පිටතිනි. අප මේ ජීවත් වන යුගයේ විශේෂ ලක්ෂණය වන්නේ අපගේ අවිඥානය අපට පිටතින් පැමිණීමයි. ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මෙන් මිනිස් ජීවිතය අස්ථි දක්වා පුච්චා දමන ප්‍රපංචයකි. ටෙලිනාට්‍ය හරහා පුද්ගලයකුට ඉතා ඉක්මනින් ජනප්‍රිය විය හැක. නමුත් එම ජනප්‍රියත්වය ඉන්පසු පුද්ගලයා වෙතට රැගෙන එන්නේ විනාශයයි. උමාලි තිලකරත්නට මනෝවිශ්ලේෂණය ඉගැන්විය නොහැක. ඇය අධ්‍යාපනය ලැබුවේ ජපානයෙනි. ජැක් ලැකැන් නම් මනේවිශ්ලේෂකයාට අනුව ජපාන ජාතිකයාට අවිඥානයක් නැත. මෙපරිදිම උමාලිට අවිඥානයක් නැත. ඇය ඉතා ජනප්‍රිය, සුන්දර, බුද්ධිමත්, ධනවත් කාන්තාවකි. ඇය වැනි පුද්ගලයන්ට බාහිරින් ඉගැන්විය නොහැක. සම්භාව්‍ය සංස්කෘතියට හිමිකම් කියන පුද්ගලයකුට අනුව ඇය නිල් පාට, දම් පාට, රතු පාට ලෝකයක තනි වූ බොළඳ ස්ත්‍රියකි. ඇයට දැනුමක් ලබා දීමට යාම මෝඩකමකි.

උමාලි තිලකරත්න මෙන් නොව පුබුදු ජයගොඩ යනු ධනවාදය ගැන ඉතා සංවේදී දේශපාලන පක්ෂයක, අධික්‍රියාකාරී සාමාජිකයෙකි. 2013 වර්ෂයේ අග භාගයේදී ඔහුව මට සංයුක්ත සන්දර්භයක සම්මුඛ විය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදය සූත්‍රගත කිරීම උදෙසා ආරම්භ කරන ලද සාකච්ඡා වටයකදී ඔහුව තරමක් සමීපව ඇසුරු කරන්නට අවස්ථාව උදා විය. දිනක් රාජගිරියේ හන්දියේ මෙම සාකච්ඡාවක් අතරමැද නවතා අප තේ බීම සඳහා අසල ඇති කඩයකට ගොඩ වැදුනෙමු. තේ බොන අතර විවිධ මාතෘකා ඔස්සේ සංවාදය දිග හැරී ගියේය. යම් මොහොතක මාතෘකාව ටෙලි නාට්‍ය කලාව දෙසට යොමු විය. එහිදී පුබුදු ටෙලි නාට්‍ය කලාව බැරෑරුම් කලාවක් ලෙස සලකන බව මට පෙනී ගියේය. වැඩිදුර හිතන්නේ නැතිව මම ඔහුට ටෙලි නාට්‍ය ගැන මෙසේ පැවසුවෙමි. “සහෝදරයා මේ කාලයේ ටෙලි නාට්‍ය හදන්නේ බඩු ගහන්න’’ මගේ මේ වාක්‍යය පිටවීමත් සමග පුබුදු තරමක් වික්ෂිප්ත වූ බව පෙනී ගියේය. ඔහු එය ඍජු ලෙස විශ්වාස කළේ නැත. ඉන්පසු අප වෙන් විය.

ලංකාවේ සමකාලීන ටෙලි නාට්‍යවලින් බහුතරයක් නිපදවන්නේ බඩු ගැසීමටය. මෙම ටෙලිනාට්‍යවලට ශරීරය සපයන බොහෝ ස්ත්‍රීන් කොළඹට එන්නේ ඈත ගම්වලිනි. කොළඹ නාගරික පිරිමියාගේ අශ්ලීල ෆැන්ටසි රඟ දැක්විය හැක්කේ ධනවාදය විසින් හිස් කරන ලද ග්‍රාමීය ස්ත්‍රී ශරීරයටයි. ලංකාවේ පැරණි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වූයේ නිළියන් (සමාජ ප්‍රතිරූප) සමග නිදාගැනීමට නොව ආශා කිරීමටය. නමුත් අද දවසේ ක්ෂණිකව උත්පාද වන මූල්‍ය ප්‍රාග්ධනය හිමියන්ට අවශ්‍ය වන්නේ නිළියන් සමග නිදාගැනීමටය. ‘කතාවක්’ නැති ඉවරයක් නැති ටෙලි නාට්‍ය (මෙගා නාට්‍ය) බිහි වූයේ ඉහත තතු නිසාය. ප්‍රකට ටෙලි නාට්‍ය නිළියන් නිසා ඔළුව අවුල් කරගත් ව්‍යාපාරිකයන් ගැන දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් ගොසිප් වෙබ් අඩවි වෙතට යා යුතුය. සමහර විට පසුගිය වසර කිහිපය පුරාම එකදු ටෙලි නාට්‍යයකවත් රඟ නොපාන ලද ටෙලි - නිළියන් පවා ‘රංගන’ මෙහෙය වන ‘කොපි චැට්’ වැඩසටහනට සහභාගි වෙයි. නදීශා හේමමාලි වැනි නිළියක් නිළියක් - නොවන නිළියකි. ඇය නොවන ඇය යනු නදීශාය. දැන් අපට ‘මා - නොවන - මම’ යන තිසීසය තවදුරටත් දිගු කළ හැක. පසුගිය වසර කිහිපය පුරා කිසිදු රංගන කටයුත්තක් සිදු නොකළත් නදීශාව අප සලකන්නේ ටෙලි - නාට්‍ය නිළියක් ලෙසින්ය. එතැනදී ‘දෙරණ’ නාලිකාවට වඩා ‘හිරු’ නාලිකාව නූතන ධනවාදයට සමීපය. අද ධනවාදය ක්‍රියාත්මක වන්නේ අතිරික්තය හඹා යාමෙනි. වඩා වැඩි දෙයක් අපට පොරොන්දු වන්නේ කොතනද එතැනට අප හඹා යයි.

ටෙලි - නාට්‍යය ගැන හැමෝම දන්නා සත්‍යයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන පුබුදු සහෝදරයා නොදනියි. මෙතැනදී උමාලි තිලකරත්න සහ පුබුදු ජයගොඩ අතර සාම්‍යයක් හමු වෙයි. මේ දෙදෙනාටම අනුව යමක සාරය (Essence) යනුවෙන් දෙයක් පවතියි. 2013 වර්ෂයේ දී අර ඉහත කී සංවාදයේදී බෙදාහරින ලද පත්‍රිකාවේ මෙම ගැටලුව වර නගා තිබුණේය. අප එම පත්‍රිකාවේ අඩංගු කරුණු හතරකට අවධානය යොමු කරමු.

01. වාස්තවික ලෝකයත් විඥානයත් අතර ඇති සම්බන්ධය වටහා ගැනීමේදී සැබැවින්ම විඥානයෙන් පරිබාහිර ලෝකයක පැවැත්ම සාකච්ඡා කළ හැකිද යන ප්‍රශ්නය මතු විය. අප අත්විඳින ලෝකය වනාහි මිනිස් මැදිහත් වීමක් සහිත ලෝකයකි. එබැවින් මිනිස් විඥානයෙන් ස්වාධීන ලෝකයක් පිළිබඳව කතා කළ හැකිද? මාක්ස් එවැන්නක් පවසා තිබේද?

02. වාස්තවික ලෝකයක් තිබුණත් එය මනසට ග්‍රහණය කරගත හැකිද? නැතිනම් සිදුවන්නේ අප එය විවිධාකාරයෙන් අර්ථකථනය කර ගැනීම පමණද? කළ හැක්කේ අපේ දැනුමට, සංස්කෘතියට සාපේක්ෂව යථාර්ථයක් නිර්මාණය කර ගැනීම පමණක්ද?

03. ලෝකයට එහිම වූ ස්වරූපයක් තිබේද? (Thin-in-itself)

04. දයලෙක්තිකය යනු කුමක්ද? දයලෙක්තිකය අදාළ වන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයට පමණද? නැතිනම් එය සොබාදහමටත් අදාල වේද?
      - මෙම සංවාදය කුමක් වෙනුවෙන්ද? - අත්පත්‍රිකාව (2013)
        පෙරටුගාමී සමාජවාදී පක්ෂය -

2013 වර්ෂයේදී ඉහත අත්පත්‍රිකාවේ වර නගන ලද ප්‍රශ්නවලට සංයුක්ත උත්තර අපට තනා ගැනීමට අවකාශයක් නොවිණ. සංවාද කිරීමට පැමිණි බහුතරය මනෝව්‍යාධීවලින් ආඪ්‍ය පුද්ගලයන් විය. ඒ මොහොතේදී කුමාර් මහත්තයාට අවශ්‍ය වූයේ ‘අලුත් දැනුම’ නොව කාලය කා දැමීමටය. ඇත්තටම කාලය වේගයෙන් ගලා ගියේය. උමතු පුද්ගලයන් කොහේ ගියාදැයි අපි නොදන්නෙමු. නමුත් ඉහත ප්‍රශ්නවලට සංයුක්ත උත්තර සංවිධානයට නොමැති වීම නිසා මාඕගේ අර්ථයෙන් පක්ෂ සාමාජිකයා දෙකට පැලී ගියේය. (One Divides into Two)

උමාලි තිලකරත්නගේත්, පුබුදු ජයගොඩගේත් ගැටලුව වූයේ කුමක්ද? උමාලි තමන්ගෙන් බාහිර ලෝකයක සත්‍ය ප්‍රේමවන්තයෙක් ඇත යනුවෙන් සමපේක්ෂණය කරයි. අනෙක් අතට පුබුදු තමන්ගෙන් බාහිර ලෝකයක සත්‍ය ටෙලිනාට්‍ය කලාවක් ඇත යනුවෙන් සමපේක්ෂණය කරයි. මේ දෙදෙනාම තමන්ගෙන් ස්වාධීන බාහිර ලෝකයක ෆැන්ටසිකරණය වූ යථාර්ථයක් සමපේක්ෂණය කරයි. මෙවන් ගැටලුවක් ඔවුන්ට සම්මුඛ වන්නේ ඔවුන් ‘අවිඥානය’ ප්‍රතික්ෂේප කරන නිසාය. මෙය හරියට කුඩා දරුවකු තම මවට බාහිරට එල්ලා වැටෙන ලිංගයක් නැත යන්න හෙළා දැකීමට සමකය. මිනිසෙක් තමන්ගේම නිශේධනය ප්‍රතික්ෂේප කළ විට යථාර්ථය හමු වෙයි. උමාලි ප්‍රතික්ෂේප කරන්නේ සරල කුඩා දැනුමකි. ඇයගේ සරල දැනුමට අනුව බඩුකාරයන් මිස වෙනත් පිරිමින් ටෙලි ක්ෂේත්‍රය තුළ නැත. නමුත් ඇය ඉතා කුඩා නිමේෂයකට මේ දැනුම ප්‍රතික්ෂේප කරයි. එවිට ඇයට එක්තරා ටෙලිනාට්‍ය නළුවකු සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් ලෙස පෙනී යයි. ඉන්පසු ඇය ඔහු සමග විවාහ වෙයි. ඔහු බඩුකාරයෙක් බව ඇයට පසුව පසක් වෙයි. විවාහය දික්කසාදයකින් කෙළවර වෙයි. උමාලි තමන්ට තමන් ගැනම ඇති දැනුමක් ප්‍රතික්ෂේප කිරීම නිසා මායාවක් සත්‍යයක් (සමරූපයක්) ලෙස හමු වෙයි.

දැනුමේ දිශාවෙන් ගත් විට අපට දේවල්වල නියම ස්වරූපය සහ ඒවා අපට පෙනෙන ආකාරය යනුවෙන් ආකාර දෙකක ප්‍රපංච හමු වෙයි. නමුත් අවිඥානය පැත්තෙන් ගත් විට මෙම භේදය කිසිදු ප්‍රයෝජනයක් නැති දෙයකි. මන්ද යථාර්ථය යනුවෙන් පවතින දෙය අසම්පූර්ණ නිසාය. බඩුකාරයෙක්ව ප්‍රේමවන්තයෙක් කරන්නේ යථාර්ථය නොව උමාලිමය. ගැටලුව ඇත්තේ එතැනය.

පෙර ලිපිය:
දීප්තිගේ කිවිදා කොලම 23 - ජනතාවගේ මිතුරන් සහ සතුරන්