සොඳුරු මරණය 23 - මෙතැනින් ඉවර කරමු!

සොඳුරු මරණය 23 - මෙතැනින් ඉවර කරමු!

13 September 2018 11:20 am

ළඟදී මෙන්න මෙහෙම කතාවක් ඇහුනා. යම් කෙනෙක් ඔබට වරදක් කරනා බව ඔබට හැඟේ නම් ඔබ මෙම ප්‍රාර්ථනා තුන කළ යුතු බව!

1. මා මේ මොහොතේ නොදන්නා නමුත් මගේ ජීවිත කාලයන් තුලදී ඔබ හට කරන ලද වැරදිවලට මට සමාව දෙන්න

2. මේ ජීවිතයේ ඔබ මට කරනා වරදට මා ඔබට සමාව දෙමි

3. මේ ගනුදෙනුව අපි මෙතැනින් නතර කරමු. මෙය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට මට කැමැත්තක් ඇත්තේ නැත!

මේ සාකච්ඡාව එන්නේ සංසාර ගමණක් ගැන එහෙම නැතිනම් නැවත ඉපදීමක්, වෙනත් වචනවලින් කියනවා නම් සිරුර මියගිය නමුත් මේ ශක්තීන් වෙනත් ශක්තීන්ට පරිවර්තනයවන බවක් පිළිගන්නා අය සමගයි. පැවැත්මේ කෙළවරක් නොමැති බව පිළිගැනීම නොපිළිගැනීම කොහොම වුනත් මේක හොඳ සාකච්ඡාවක් බවයි මගේ අදහස.

යමෙක් අපට වරදක් කරනා බව අපි දන්නවානම්, අපිට දැනෙනවානම්, අපිට රිදෙනවානම් අප සැබැවින්ම කුමක් කළ යුතුද? සාමාන්‍යයෙන් අපි කරන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් අපි පළමුව කරන්නේ අපේ මොන විදියේ රිදිල්ලකට වුවත් වෙන කෙනෙකු පිට වරද පැටවීම. අපි හිතන්නේ අපේ රිදීමට හේතුව මා නොවන වෙනත් පුද්ගලයන් කියලයි. ඒකනේ අපි වරද තවකෙකුට පවරන්නේ! ඊළඟට බොහෝ විට අපි කරන්නේ මේ අදහස තව අය සමග බෙදාගැනීම. එම පුද්ගලයා/පුද්ගලයන් වරදකරු බව අන් අයට පවසන අතර (ඒ හරහා) තමාටමත් එය තහවුරු කර ගැනීම! ඊට පස්සේ තනිව හෝ සාමූහිකව අර අයට දඬුවමක් දෙන්නත් ඉඩ තියෙනවා, එහෙම නැත්නම් ඒ අයව තම සමාජයෙන් නෙරපා දමනවා, වරද කාරයෙක් බවට හංවඩුවක් ගහනවා... මේ බොහොමයක් අවස්ථාවන්වලදී ඇත්තටම වරද ඇත්තේ අපේ ඔළුවේ, අපේ කියවීමේ, අපේ දැක්මේ, අපේ තීන්දුවල මිසක වෙන කිසිවෙක් තුල නෙවෙයි. නමුත්, අපි අපි තුලට හැරිලා මොකක්ද ඇත්තටම වැරදුනේ, කොහෙද වැරදුනේ, කාටද වැරදුනේ කියා සොයා බලන්නට උත්සාහයක්වත් නොගන්නවා පමණක් නෙවෙයි, අපි ගත් ආස්ථානය නිවැරදි බව අපටම ඔප්පු කර ගැනීමට නොයෙක් මුසා බස්, සම්පප්‍රලාප දොඩනවා.. (එහෙම කියවාගෙන කියවාගෙන යද්දී ඒ අදහසම සියල්ලන් තුල තහවුරු වන බව අපි දන්නවා)

අනෙක් අතට, යමෙකු සමාජය විසින් සැබෑවටම පිළිකෙව් කරන, වැරදි යයි සම්මත දෙයක් අපට එරෙහිව කළ බවට සියල්ලෝ තීන්දු කරන අවස්ථාවක අපි කොහොමද හැසිරෙන්නේ? අපි හැසිරෙන්නේ අපි කිසිවිටක කිසිදිනෙක හීනෙන්වත් වරදක් නොකරන ගානට! අපි අනෙකා වැරදිකාරයා බවට පත් කරන්නේ කිසිම චකිතයක්, දෙගිඩියාවක් නැතිව. ඔහු හෝ ඇය ඉපදුනේම වැරදි කරමින් නැත්නම් වැරදි කිරීම සඳහාම වගෙයි. අනෙක, සමාජද්‍රෝහී වැඩක් කළ එකෙකුට මෙතෙක් කලක් (ඒ මොහොත දක්වා) සමාජය සමානයෙක් ලෙස සලකා තිබුණාදැයි බලන්නට අපිට කිසි වුවමනාවක් ඇත්තෙත් නැහැ.

දිල්ලියේ නිර්භයාගේ සිදුවීම අපි සියල්ලන් දන්නා කාරණයක්. නිර්භයාගේ දූෂකයන් අතර වූ ළාබාලම පිරිමියාට දඬුවම් කිරීම සඳහා ඔහුගේ සත්‍ය වයස සෙවීම නීතියට භාරදූර කාර්යයක් වුනා. ඒ වනවිටත් ඔහු දිල්ලියේ පහත් රැකියාවන් කරමින් කාලයක් ගතකර තිබූමුත් ඔහු පැමිණියේ කොහේ සිටද, ඔහුගේ පවුලේ තත්ත්වය කෙසේද, ඔහුගේ වයස කොපමණද, ඔහුගේ පීඩනයන් මොනවාද යන්න පිළිබඳව ඒ වනතෙක් ශිෂ්ඨ යයි සම්මත සමාජයේ කිසිවෙකුම විමසා තිබුනේ නැහැ. එහෙත් ඔහු කළ වරදට දඬුවම් දීම සඳහා ශිෂ්ඨ සමාජයේ අය ඔහුගේ වයස විමසා බලන්නට වෙහෙසුනා. අවසානයේ ඔවුන් ඔහුගේ ගම සොයා ගත්තා. කිසිම පහසුකමක් නැති ඉතා දුර පළාතක ඔහුගේ මව ජීවත්වෙමින් සිටි මඩුව සොයා ගිය මේ අය මවගෙන් ඒ තරුණයා ගැන විමසුවා. මව කියා සිටියේ පාසැල් යමින් සිටි තම ආදර පුතා දරිද්‍රතාවය දරා ගැනීමට නොහැකිව රැකියාවක් සොයා ගමෙන් පිටවූ බවක්. ශිෂ්ඨ සමාජයට පොටක් පෑදුනා. පාසැල් ගිය ළමයෙකුගේ වයස සෙවීම මහා කාරියක් නෙවෙයි. ඔවුන් කඩිමුඩියේ පාසැල ලෙස හඳුන්වන මඩුව සොයා ගත්තා. ඒ අසල පාසැලේ විදුහල්පති ලෙස හදුන්වාගත් කෙනෙකු සොයා ගැනීමෙන් කාර්‍යය තවත් පහසු වුනා. 'ආ ඒ දරුවා පාසැලට ඇතුල්වූ අවුරුද්ද සොයාගත හැකියි', ඔහු සහයෝගයෙන් පැවසුවා. 'දරුවෙකු මෙම පාසැලට ඇතුල් කර ගන්නේ කුමන වයසින්ද? අපිට ඒ මගින් මේ ළමයාගේ වයස සොයාගත හැකි නොවැ'. ඔවුන්ට දැන් ඉතා හදිසි ගානයි. 'අනේ මහත්තයෝ, මොන වයසක්ද, ළමයෙකුට ඔළුව වටේ අත කරකවලා නහය අල්ලගන්න හැකිනම් අපි ඒ දරුවාව පාසැලට ඇතුල් කර ගන්නවා', විදුහල්පති පැවසුවා!!! අන්න එහෙමයි අපි ඒ දරුවාටත්, ඒ මවටත්, ඒ ප්‍රදේශයටත් මේ තාක් සලකා තිබුනේ. ඔවුන් මේ ශිෂ්ඨත්වයේම කොටසක්ද යන ප්‍රශ්නය අපිට ඉතිරි වෙනවා තමයි, කොහොම වුනත් දඬුවම් දෙන අවස්ථාවට පැමිණි මොහොතේනම් ඉතා පැහැදිලිව අප ඔවුන්ට සලකන්නේ අපේම කොටස් ලෙස! අපි හැමෝමත් වැරදිකාරියකට/කරුවෙකුට දඬුවම් කිරීමට පමණක්ම සමානයෙකු ලෙස සලකනවා. කෙතරම් විහිළුවක්ද?

කොහොම වුනත් අපි කතාව පටන්ගත් තැනට නැවත පැමිණියහොත්, යමෙකු තමාට වරදක් කොට ඇතැයි සියල්ලෝ පිළිගත් මොහොතක දී වුව ඒ එල්ලීම් තුන අපට වැදගත් වන්නේ ඇයි? වරදක් කළා හෝ නොකලා වුවද අපි ඒ අයට සලකන ආකාරයට තමයි ඒ අයගේ ජිවිතයේ ඉතිරිය තීන්දු වන්නේ. ඉතිං, අපේ සිතුවිල්ල සමග අපගේ හැසිරීම් වෙනස් විය හැකියි. අපේ සිතිවිලි හා හැසිරීම් නිසාම අප දෙදෙනා අතර ගලා යමින් පවතින මොනයම් හෝ ශක්තීන් අනෙකාට පහසුවක් ගෙන දෙන ශක්තියක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ශක්තියම තමාට සුවයක් ගෙන ඒම අනිවාර්‍යයක්! ඒ අතරම අපට වරදක් කරනු ලැබුවෙකුට අප විසින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් අප කෙරෙහි පෙරලා වෛරයක් ඉතිරි නොවිමම කෙතෙක් සහනයක් ද? මොකද මේ එහාට මෙහාට වෛරය කෙළවරක් නොපෙනෙන අගාධයක් කරා යන ගමනක්. (ඒකනේ බුදුහාමුදුරුවොත් කියලා තිබුනේ වෛරයෙන් වෛරය නොසංසිදේ කියලා) ඒ විදිහට ඉතිරි වූ වෛරයක් පුපුරා යන්නේ කුමන ලෙසටද, කොයි කලටද, කා කෙරෙහිද කොහොමද , කවුරුන්ද දන්නේ? ඒත් මේ ප්‍රාර්ථනා තුන සමග අපේ වෑයම වනුයේ මේ සියල්ල මෙතැනින් නිමා කිරීමට. සංසාර ගමනේ මුණනොගැහීම අපට අදාළ නැති වෙන්න පුළුවන්. ඒත් මේ ජීවිතය තුලමත් ඒ ගලනය නැවැත්විය හැකිනම් කෙතරම් පහසුවක් ද!!!

හැබැයි මේකත් අතහැරීමේම කොටසක් තමයි. කිසිවක්ම අතහරින්න අකමැත්තෙන් සියල්ල එකතුකර ගනිමින් ජීවත්වන කෙනෙකුට මේ අතහැරීමත් ලේසි වෙන්නේ නැහැ. මොකද, මේ අත හරින්නේ අපේ ලොකුකම, මම විශාලව සිටීම, මම ම හරියි යන්න... වැඩේ අමාරුයි. ඒත් ඉතිං, බරයි බරයි කියලා, මේක අනුන් මට දීපු බරක් ඒ නිසා ඒ අයමයි මේක අයින් කළ යුත්තේ යැයි ගණන් හදමින් සිටීමට වඩා අපිටම පුළුවන්නම් ඔන්න ඔහේ අත හැරලා දාන්න.. ජීවිතේ සැහැල්ලු වේවි. පහසු වේවි. සුළඟක් සේ හමාවී!

- කුමාරි කුමාරගමගේ

සොඳුරු මරණය පෙර ලිපිය:
සොඳුරු මරණය 22 - තරඟයේ වීරයා !