විත අස පත 25 - අන්න ඒකයි ශාන්තී!

විත අස පත 25 - අන්න ඒකයි ශාන්තී!

10 September 2018 06:04 am

කවිය කියන්නෙ මොකද්ද කියල කවුරු හරි ඇහුවොත් ඒක පැහැදිලි කරන්න දෙන්න පුළුවන් නිර්වචන හැට හුටහමාරක් තියෙනවා. කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙළට යෙදීමයි කියන කොල්රිජ්ගේ සුප්‍රසිද්ධ නිර්වචනයේ ඉඳන් විමල් දිසානායක දක්වා පරාසයක සංවාද ගොඩක් ගොඩ නගන්න අපිට පුළුවන්.

ඒ බර බර කතා කොහොම වුණත් කවියක් කියෙව්වම අපිව උස්සලා පොළොවෙ ගැහුව වගේ දැනෙනවා නම්, කවියෙ අන්තිමට කවුරු හරි පොල්ලකින් ඔළුවට ගැහුව වගේ කම්පනයක් දැනෙනවා නම් ඒක තමයි මට හිතෙන්නෙ නියම කවිය.

අන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් වගේ අන්න ඒ විදිහෙ කවියක් මගේ නෙත ගැටුණා. සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් කියන තරුණ කිවිඳිය ලියල තිබුණ ඒ කවියෙ හිස සරසලා තිබුණෙ 'මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී' යන වචන කීපයෙන්. ඒ කවිය මං ඇතුළෙ අතිශය බරපතල කම්පනයක් ඇති කළා. සමහර අහඹු ඇක්සිඩන්ට් හොඳයි, පසු කම්පනය හරියට කළමනාකරණය කර ගන්න ඔබට පුළුවන් නම්. සඳිනි මෙහෙම ලියනවා.

"අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,
ගම්මු කිව්වා ශාන්තී,
මලක් පිපුණම මැරෙන ගස් ගැන
අහල තිබුණද ශාන්තී?

එකම එක එක් වතාවක් ගහ
මලක් දැරුවා ශාන්තී,
මුල් මුදෝගෙන පොළොව ඉඹගත්
ගහක් දැක්කද ශාන්තී?

මල් හදන්නයි ගස් උපන්නේ
කවුද කිව්වා ශාන්තී,
මල් බදාගෙන ගස් මැරෙන්නේ
අන්න ඒකයි ශාන්තී"

කවිය අපිට ලිහා විමසා බලන්න කිවිඳිය පොඩි යතුරක් අගට අමුණනවා. ඇත්තටම කම්පනය දැනෙන්නෙ ඒ කෙටි පසු සටහන කියෙව්වට පස්සෙ. මම ඒකත් ඒ විදියටම ඔබට ඉදිරිපත් කරනවා.

"වසර ගණනක් දරුවන් නො මැතිව සිටි, ඒ නිසාම බොහෝ අපහාස විඳි මගේ හිතවතියක් අවසානයේ මවක් වූවාය. ඒ දරු ගැබ ඇයගේ ජීවිතයට තර්ජනයක් වූ නිසා එය ඉවත් කරන ලෙස වෛද්‍යවරු නිර්දේශ කළහ. එහෙත් ඇය එයට එකඟ වූයේ නැත. 'බබෙක් නැතුව මේ වින්ද දුක, අහපු කතා, ආයෙ විඳිනවට වඩා මං කැමතියි මේ අවදානම ගන්න...' අපේ අවසන් හමුවේදී ඇය කීවේ එවැන්නකි. ඇගේ අවසන් කටයුතු අනිද්දාය. 'මව් මරා උපන්...' නාමය ලද බිළින්දා මේ වනවිට ඔහුගේ පියා භාරයේය. - 2018 මැයි 03."

දරුවන් නොමැති කාන්තාවක් - සරලව සහ ඉතාම ග්‍රාම්‍ය විදියට කිව්වොත් වඳ ගෑනියෙක් - කියන්නෙ අපේ රටේ විතරක් නෙවෙයි තව බොහොමයක් රටවල ඛේදවාචකයක්. ඇයට මුහුණ දෙන්න වෙන පීඩනය කිසි සේත්ම සුළුපටු එකක් නෙවෙයි. සමහර වෙලාවට අඩුපාඩුව හෝ දුර්වලතාව පුරුෂයාගේ වෙන්න පුළුවන් වුණත් අවසානයෙ සියල්ල යන්නෙ ගැහැනියගේ කර මතින්. සමහරු එවැන්නියන් තමන්ගේ ගෙදරටවත් වද්දා ගන්න කැමති නැහැ. ඔවුන් අහන කතා සහ විඳින දුක් අප්‍රමාණයි. එහෙම ඉරණමකට මුහුණ දුන් තමන්ගේ හිතවතියක් සඳිනි මේ කියන්නෙ. නමුත් ඇය ඒක පුද්ගලික අත්දැකීමකට කොටු නොකර පුළුල් සහ පොදු පරාසයක් කරා අපිව අරගෙන යනවා. එතැනදී ඇය අවිය විදියට භාවිත කරන්නෙ තමන්ගේ භාෂා හරඹය.

"අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී"

නින්දා, අපහාස, නොලැබීම් මැද ගෙවුණ ජීවිතයකට පොඩි බලාපොරොත්තුවක් පිළිසිඳිලා. හරියට ගහක් කාලාන්තරයක් තිස්සෙ දුක් විඳල විඳල අවසානයෙ මලක් ඵල දැරුව වගේ. හැබැයි මේ මල පිපිලා තියෙන්නෙ ගමේ මුදුනෙ ම අහස කිට්ටුව. එහෙම මලකට හිනා නගන්න තියෙන්නෙ නිකං ම නිකං අයිතියක් නෙවෙයි ශුද්ධ වූ අයිතියක්.

"තල මලක් නම් මළ ගෙයක්,
ගම්මු කිව්වා ශාන්තී,
මලක් පිපුණම මැරෙන ගස් ගැන
අහල තිබුණද ශාන්තී?"

අපේ ගම්වලත්, නගර කියල හිතාගෙන ඉන්න ගම්වලත් මුල් බැහැගෙන තියෙන මිත්‍යාව සඳිනි හරි ලස්සනට මෙතැනදී කවිය ඇතුළට ගේනවා. තල මලක් පිපෙන එක වගේම උලමෙක් කෑගහන එක, බල්ලෙක් උඩු බුරන එක වගේ අසුභයි කියල අපි ම හදාගත් විශ්වාස තව සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඇත්ත අවුල තියෙන්නෙ මේ ගස්වලවත්, සත්තුන්ගෙවත් නෙවෙයි අපේමයි කියල අපි තේරුම් ගනිද්දී සමහර විට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. දරුවන් අහිමි ගැහැනුන් ගැන තියෙන මතයත් ඒ වගේ. ඒ සමස්ථ ඛේදවාචකය කිවිඳිය හරි අපූරු විදියට ග්‍රහණය කර ගන්නවා. ඇය මෙහෙම ලියන්නෙ ඒකයි.

"එකම එක එක් වතාවක් ගහ
මලක් දැරුවා ශාන්තී,
මුල් මුදෝගෙන පොළොව ඉඹගත්
ගහක් දැක්කද ශාන්තී?"

කවියෙ අවසානයත් ඉතා ම ප්‍රබලයි. අර පොල්ලෙන් ගහන හැගීම හැංගිලා තියෙන්නෙ ඒ අන්තිම වචන ටික ඇතුළෙ.

"මල් හදන්නයි ගස් උපන්නේ
කවුද කිව්වා ශාන්තී,
මල් බදාගෙන ගස් මැරෙන්නේ
අන්න ඒකයි ශාන්තී"

වචන සරලයි. කවිය කෙටියි. නමුත් කම්පනය ගැඹුරුයි. තමන් ලියන දේවල් ම කවි නෙවෙයි කියල ලියන අය ම කියන කාලෙක ඇත්ත කවිය ස්ථානගත වෙන්න ඕනෙ කොතැනද කියල කිවිඳිය අපට පැහැදිලිව ම පෙන්වලා දෙනවා. ඉතිං අපි බොහොම සුබවාදීව බලාගෙන ඉන්නවා.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 24 - අරුණාලෝකය!