“ඔබ ඔබම වෙන්න, මගේ පියාණන් ලබා දුන් අවවාදය එයයි!” ගාපින්ක් සමඟ කතාබහ

“ඔබ ඔබම වෙන්න, මගේ පියාණන් ලබා දුන් අවවාදය එයයි!” ගාපින්ක් සමඟ කතාබහ

7 October 2020 12:51 pm

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයේ දෙවන රැල්ලකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එය අප කිසිවිටකත් අමතක නොකළ යුතු කරුණක්. රටක් හැටියට අප එක්වරක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූවා. එබැවින් දෙවන රැල්ල ඉදිරියේදී ශක්තිමත් ව එයට මුහුණ දීම ඉතාම වැදගත්. සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම ට දායක වීම අප කාගේත් යුතුකමක්.

කුමන බාධක තිබුණද, ඩිජිටල් අවකාශය පසුගිය කාලය තුළ සංගීත ක්ෂේත්‍රයේ නවකයින්ට නම් තෝතැන්නක් වූවා කිවහොත් නිවැරදියි. තම දක්ෂතා, හැකියාවන් හා කුසලතා පෙන්වීමට භෞතික අවකාශය ඇහිරී ගිය වාතාවරණයක් තුළ, ඩිජිටල් අවකාශය පුරා අවධානය යොමුවූ චරිත කිහිපයක් ම අපට පසුගිය කාලවකවානුව තුළ හමුවූවා. 

එහෙත් අද අප කතා කිරීමට යන තරුව නම් සංගීත ක්ෂේත්‍රයට නවකයකු යැයි අර්ත නංවන්නට බැහැ. ඔවුන් සංගීත ක්ෂේත්‍රයට යොමුවන්නේ මීට වසර කිහිපයකට ම කලින්. නමුත් ඔවුන් වඩාත් ජනප්‍රිය වූයේ ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව අතරයි. ඔවුන්ගේ සංගීතය LGBTIQ ප්‍රජාවේ පිබිදීමට මෙන්ම ශ්‍රී ලාංකීය කුයර් සංස්කෘතියේ (Queer Culture) පුනරාගමනය විදහා පෑමට ද සමත් වූවා කිවහොත් නිවැරදියි. 

ඔවුන් නමින් ගාපින්ක්. ගාපින්ක් ගයන “ආලේ ඔබට මා” නම් සිය කුළුඳුල් සිංහල ගීතය එළි දැක්වෙන්නේ මීට දින කිහිපයකට ඉහත දී යි. මෙම ගීතය පිළිබඳ විවිධ කතාබහ සමාජ මාධ්‍ය ජාල තුළ ඇතිවූවා. ඒ කතා බහ සුබවාදී වන්නට ඇති, අසුබවාදී වන්නට ද ඇති. එහෙත්, ඉතාම අලංකාර පදරචනයක් හා ගායනයකින් සමන්විත “ආලේ ඔබට මා” ගීතයේ වීඩියෝ පටය තුළින් ගාපින්ක් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සාම්ප්‍රදායික වැටකඩුළු අභිබවා උසස් සමාජ පණිවුඩයක් ලබා දීමට සමත් වනවා. ඉතින් ලංකා නිව්ස් වෙබ් අප තීරණය කළා ගාපින්ක් සමඟ සුහද සංවාදයක යෙදෙන්න.


පහත දැක්වෙන්නේ ගාපින්ක් සහ අප අතර පැවති සංවාදයයි.

ඔබ “ගාපින්ක්” හඳුන්වන්නේ කොහොමද? 

සරලවම කිව්වොත් කරවුසලයක (සැණකෙලියේ ක්‍රීඩාවේ යෙදෙන මෙරි-ගෝ-රවුම) ට එහා ගිය දෙයක් බඳුයි. මොකද කරවුසලයක් පළමුව දකින විට කැරකෙවෙමින් ඉහළ පහළ යනවා බලන්න ලස්සනයි. නමුත් එය කඩා වැටුනොත් තත්ත්වය නරකයි. එහෙත් ගාපින්ක් එහෙම නැහැ. 


ගාපින්ක් කියන්නේ ඔබේ සිතට නැඟුනු නිකම් වේදිකා නාමයක් පමණයිද, නැත්නම් ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ් ව තිබෙනවා ද?

එය වේදිකා නාමයක් පමණක් ම යැයි කිව නොහැකියි. එය මා විසින් ගොඩනඟා ගත් ජීවිතයේ අර්තනිරූපණය යැයි කිවහොත් වඩා නිවැරදියි. ගාපින්ක් මා හට ජීවය ලබා දෙනවා. ඇත්තෙන් ම ගාපින්ක් නාමයේ “ගා” යන පදය පැමිණෙන්නේ ලේඩි ගාගා තුළින්. මට මා වීමට ඇය ආදර්ශයක් වූවා. එමෙන්ම, “පින්ක්” යන පදයෙන් නියෝජනය වන්නේ සුසංයෝගය හා අභ්‍යන්තර සාමය යි.


“ආලේ ඔබට මා” ඉතාම හැඟුම්බර ගීයක්. ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නේ කුමක් ගැන ද?  

“ආලේ ඔබට මා” ගීතයෙන් කියවෙන්නේ ප්‍රේමය, සහ කුයර් ප්‍රේමය හමුවීමේ දී ඇති වන සුන්දර හැඟීම යි. කිසිවකුත් අසා නොමැති නිහඬ ආදර කතා කොතෙක් නම් මේ ලෝකයේ තිබෙනවාද? මෙම ගීතය මා දායාද කරන්නේ අපට අහිමි වූ හා පමණට කලින් දෙව්ලොව හමුවූ අහිංසක මිනිස් ආත්ම වෙත යි. සමහර මිනිසුන් ට සෑමදෙයක් ම පාහේ විස්තර කිරීමට ඇති එකම මාධ්‍යය ආදරයයි. ප්‍රේමය අවුල් සහගත, හෝ සංකීර්ණ යැයි හැඟෙන්නට පුළුවන්, නමුත් පරිපූර්ණ බව, කැපවීම, ඉඩ අවකාශය, ගෞරවය, ස්වාධීන බව.. මේ හැම දෙයක් ම ප්‍රේමයේ ගැබ් ව තිබෙනවා. එහෙත් ප්‍රේමය නැමති සංකල්පය ඉතාම විෂමරිසි මුහුණුවරක් ගනිමින් අර්තනිරූපණය කිරීමට සමාජය පෙළඹී ඇති නිසා කුයර් පුද්ගලයින් ප්‍රේම කිරීමට බියයි. ඇතැම් මිනිසුන් ට ප්‍රේමයේ තිබෙන චිත්තවේගීය බැඳීම මරණයෙන් මතුවට ද ශක්තිමත් ව පවතිනවා. ආලේ ඔබට මා ගීයේ හරය එයයි. 


ඔබගේ සංගීතය අප දුටු ඉතාමත් ම අපූර්ව හා මූලාකෘතික නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. නමුත් එය එදා මෙදා තුර අප අතරම නිතර ගැවෙසෙමින් - සැඟවෙමින් - පිපීමට වෙර දරමින් තිබුණා දෝ යැයි ද අපට හැඟෙනවා. ගතවූ වසර ගණනාව පුරා ශ්‍රී ලංකාවේ කුයර් සංස්කෘතියේ ආගමනය කුමන තත්වයක පවතින්නේ දැයි ඔබ සිතනවා ද? 

අභියෝගාත්මකයි. නමුත් කාලයේ ඇරඹුම ඇතිවූ දා පටන් අප රටේ කුයර් සංස්කෘතිය පැවතියා. කුයර් නියෝජනය සෑම තැනකම පවතිනවා. අද වන විට අපගේ දේශීය කලාකරුවන් පොදු වේදිකාව නියෝජනය කරනු දක්නට ලැබීම සතුටක්. ඒ වගේ ම ඔවුන් ලබා දෙන නිරන්තර සහයෝගය පිළිබඳ ව ද මම ස්තූතිවන්ත විය යුතුයි. 


ඔබ ඔබේ කලාව තුළින් සම්ප්‍රදායික ගැහැණිය හා පිරිමියා යන ද්විමය අනන්‍යතාවයෙන් පරිබාහිරව ස්ත්‍රී-පුරුෂ සමාජභාව ප්‍රකාශනයන් සිදුකරනු ලබනවා. කුයර් ප්‍රජාවේ කළඑළි බැසීමට එදිරි සමාජ ක්‍රමයක් තුළ මෙය අභියෝගයක් යැයි ඔබ සිතනවා ද?  

ඇත්තෙන්ම කිව්වොත්, කුයර් යනු ලේබලයක් නොවෙයි. නමුත් අරගලය ඇත්තක්. ඉතාම මෑතක් වන තුරුත් කුයර් පුද්ගලයකු වීම අවදානම් සහගත, ආන්දෝලනාත්මක පමණක් නොවෙයි තම වෘත්තිය පවා අහිමි කරන තත්ත්වයක් ඇති කිරීමට හේතු වූවා. අදටත් කුයර් ප්‍රජාව සමාජයේ නිතර කොන්කොට සැලකීම් වලට ලක්වනවා. කළඑළි බැසීම පිළිබඳ පවතින සමාජ ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයා ට විවිධාකාරයි. මේ පිළිබඳ සෘණාත්මක මෙන්ම ධනාත්මක සාධක ද බලපානු ලබනවා. මම නම් විශ්වාස කරන්නේ, තමා කෙරේ තමා විශ්වාසය තබා ගත යුතුයි. ඔබ ඔබ ලෙස ජීවත් විය යුතුයි. 


“ආලේ ඔබට මා” ගීතයට පෙර, ඔබ ඉංග්‍රීසි බසින් ගැයූ ගීත කිහිපයක් ම එළිදක්වා තිබුණා. ඇත්තෙන්ම එම ගීත ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රියයි. මෙවර වෙනස් ප්‍රවේශයක් ගැනීමට ඔබට සිතුනේ ඇයි?  

මුලින්ම, මම මාගේ මිත්‍ර ඉසුරු පරාක්‍රම ට ස්තූතිවන්ත විය යුතුයි මේ ගීතයට අලංකාර පදපෙළක් සකස් කර දීම වෙනුවෙන්. මාගේ මූලික සැලැස්ම වී තිබුණේ මෙම ගීතය භාෂා දෙකකින් (ඉංග්‍රීසි සහා සිංහල) එළි දැක්වීමට. නමුත් මට අවස්ථාව ලැබුණා Global Youth Online Pride Festival 2020 නම් ජාත්‍යනත්ර උළෙල තුළ මාගේ රට නියෝජනය කිරීමට. එම නිසා මෙම ගීතය මාගේ කුළුඳුල් සිංහල ගීතය ලෙස එළිදැක්වීමට මා තීරණය කරා. 


ඔබ කලාකරුවකු විය යුතු බවට සිතුනේ ජීවිතයේ කුමන අවධියේ ද? ඔබ අගයන ආදර්ශමත් චරිත සිටිනවා ද? 

වරක මා ආදරය කරනු ලැබුවා. නමුත් ඒ සබඳතාව බිඳවැටුණා. ලනා ඩෙල් රේ නම් ගායිකාවගේ භාවප්‍රකාශනයන් සැමවිටම මා දිරිගන්වනු ලැබුවා. ඇය මාගේ ඉහළම අනුප්‍රාණයයි. ඇයගේ සංගීතය කුයර් පුද්ගලයින් හට සිය හැඟීම් හා භාවප්‍රකාශනයන් විදහා පෙන්වීමට තෝතැන්නක්. එමෙන්ම ඇගේ ගීත ජීවනාළියක් බඳුයි, ඒ තුළින් ඔබ සුවපත් කරනු ලබනවා. මාගේ ප්‍රේම සබඳතාව බිඳවැටුණු පසු මා ගත කළ පීඩාකාරී කාලය තුළ ඇගේ සංගීතය මා ශක්තිමත් කරනු ලැබුවා. එම මොහොතේ පටන් මා ගීත ලීවීම ආරම්භ වූවා. මා ලියූ පළමු ගීතය “රේන්බෝ”. පසුකළක මාගේ පළමු ගීතය ලෙස “ප්‍රෙෂස්” නම් ගීතය එළි දක්වනු ලැබුවා.


ඔබ කලාවට පිවිසීමට පෙර සංගීතය හදාරා තිබුණා ද? 

නැහැ, නමුත් පාසලේ දී හදාරා තිබුණා. 


ඔබ කුයර් කලාකරුවකු ලෙස කළඑළි බැසීමට තීරණය කිරීම තුළ ඔබගේ පවුලේ හා මිතුරන්ගේ ප්‍රතිචාරය කෙබඳුද? 

මගේ පවුල තුළ මා සැබවින්ම අවබෝධ කර ගෙන සිටි එකම පුද්ගලයා මගේ තාත්තා. වරක ඔහු මට පැවසුවා, “ඔබ ඔබම වෙන්න. එයයි වැදගත් වන එකම දෙය” කියා. ඉතින් මා එසේ වූවා. තාත්තා ගේ අභාවයෙන් පසු මට පසුතැවීමට කිසිදු දෙයක් ඉතිරි වූයේ නැහැ. මට ඔහු නැති පාළුව අදටත් දැනෙනවා. ඒ වගේම, මගේ යහළුන් මා සමඟ සිටීම පිළිබඳ මම ඉතාමත් ස්තූතිවන්ත වනවා. 


දිදුලීමට වෙරදරන අනාගත කුයර් කලාකරුවන්ට ඔබගේ සංගීතය අනුප්‍රාණයක් යැයි කිවහොත් නිවැරදියි. ඔවුනට ලබා දීමට උපදෙසක් තිබෙනවා ද? 

වෙහෙස වී වැඩ කරන්න දරුවනේ. ලෝකය වෙනස් වෙන එකක් නැහැ. නමුත් මිනිසුන් ට එය වෙනස් කළ හැකියි. 


ඔබ ආදරය විග්‍රහ කරන්නේ කොහොම ද? ඔබ ආදරය කර තිබෙනවා ද? 

ආදරය ඉතාමත් අගනේ ය. ඔව්, මම ආදරය කර තිබෙනවා. මම ආදරය කරනවා. 


ශ්‍රී ලංකාව තුළ කුයර් වීම නිසැකවම අභියෝගයක්. දෛනිකව කුයර් ප්‍රජාව මුහුණපාන අරගලයන් පිළිබඳ දැනුම ඔබට තිබෙනවා. කුඩා කළ පටන් ඔබ මෙම අභියෝගයන් ට මුහුණ දුන්නේ කොහොමද?

මාගේ සංගීත ගමන්මඟ තුළ මා මුහුණ දුන් බාධක බොහොමයි: මාගේ පවුලෙන් පැමිණි විරෝධය, විවිධ ලේබල් වලට මා කොටුකිරීම.. කෙසේවෙතත්, මේ කිසිවක් මා නතර කිරීමට සමත් වූයේ නැහැ. ඔවුන් ගේ විරෝධය මා තවතවත් දිරිමත් කළා කිව්වොත් නිවැරදියි. අභියෝගයක් ලෙස භාර ගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ත්, අනාගත පරම්පරා සඳහා වඩාත් හොඳ අර්ථවත් සංගීතයක් සැපයීමට නව ක්‍රම සොයා ගැනීමට ත් ඔවුන්ගේ ප්‍රතිරෝධය මා හට උපකාර වූවා. 


ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයින් විවිධ මට්ටමේ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට නිතර ලක්වනවා. මේ අතර වඩාත් ප්‍රසිද්ධ ආකාරයක් තමයි සයිබර් අවකාශය යොදාගනිමින් සිදුකරන කෙනහිලිකම්. ඔබ මෙවන් සයිබර් කෙනහිලිකම් වලට ලක්ව තිබෙනවා ද? ඔබගේ ලිංගික දිශානතිය හා / හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නිසා අගතියක් ඔබට සිදුව තිබෙනවා ද?

මාගේ පෙනුම ගැන සඳහන් කරමින් අවස්ථාවක් හෝ දෙකක් මා හට හිරිහැර කළ අවස්ථා නැතුවම නොවෙයි. නමුත්, බොහෝ විට මා සිටින්නේ ආරක්ෂිත කලාපයේ, මොකද මාගේ මිත්‍ර කවය ඉතාමත් ශක්තිමත්. නමුත්, මා දන්නවා ඒ වරප්‍රසාදය බොහෝ ප්‍රජා සාමාජිකයින් හට නැහැ. මට ඔවුන්ගේ දුක වේදනාව දැනෙනවා. සයිබර් කෙනහිලිකම් දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදුවනවා. මගේ මතය අනුව, ඔන්ලයින් අවකාශය තුළ LGBTIQ පුද්ගලයින්ට වෙනස්කම් සිදුවීමට ප්‍රධානවම බලපාන්නේ අභ්‍යන්තර සමරිසිභීතිකාව. 


ඔබ සිතන පරිදි, ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ වැළැක්විය හැක්කේ කෙසේ ද? 

සයිබර් අපරාධ වලට විරුද්ධව ශක්තිමත් නීති සම්පාදනය කළ යුතුයි. එපමණක් මදි, ඒවා ක්‍රියාත්මක ද කළ යුතුයි. 


ශ්‍රී ලංකාවේ LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය කොපමණ ශක්තිමත් යැයි ඔබ සිතනවා ද? 

අනේ, (සිනාසෙමින්) මේ පිළිබඳ මට වඩා ඔබ හොඳින් දන්නවා. මම ඒ ගැන අදහසක් පළ නොකර ඉන්නම්.


කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාව යම්තම් මිදීගෙන පැමිණියා විතරයි, දෙවන රැල්ලකටත් මුහුණ දීමට අපට සිදුවූවා. අවසාන වරට රට තුළ වසංගත තත්ත්වය හට ගත් මොහොතේ එය බොහෝ ආන්තික ජන කණ්ඩායම් වලට සෘජු බලපෑමක් එල්ල කරනු ලැබුවා. සහන පැකේජ, සේවාවන් ලබා ගැනීම ආදී අවස්ථාවන් හීදී ජාතිවාදය, විවිධ නිදන්ගත සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නිර්මාණය වූ මිත්‍යා මත, සමරිසිභීතිකාව වැනි කරුණු නිසා එවන් ප්‍රජාවන් වලට විවිධ අසාධාරණකම් සිදුවූවා. ඔබ සිතන අන්දමට කොවිඩ් ආපදාව LGBTIQ ප්‍රජාවට කොපමණ අන්දමින් බලපෑවා ද? 

ශ්‍රී ලංකාව තුළ LGBTIQ ප්‍රජාවට එරෙහි යම් මට්ටමක වෙනස්කොට හෝ කොන්කොට සැලකීමක් සිදුවූවා ද, ලොක්ඩවුන් සමය තුළ එය තවත් උත්සන්න වූවා කිවහොත් නිවැරදියි. අනිවාර්යයෙන් ම කොවිඩ්-19 වසංගතය ඔවුන්ගේ කළඑළිභාවයට බලපෑමක් සිදුකළා. මොකද කිව්වොත්, ලොක්ඩවුන් සමයේ දී සෑම තැනකදී ම පාහේ මිනිසුන් ඔවුන් නෙත ගැටෙන්නේ කා සමඟ ද යන්න වැඩි වශයෙන් අවධානය යොමුකරනු ලැබුවා. ඒ තුළින් ප්‍රජාව විනිශ්චයට ලක්වීම වැඩිවූවා. සමහර අවස්ථාවන් වල ඔවන් ගේ අනන්‍යතාව බලෙන් එළියට ඇද දැමූ අවස්ථාවන් පවා තිබුණා.

නිදන් ගත සෞඛ්‍ය තත්ත්වන් (එච්අයිවී වැනි) සහිත LGBTIQ පුද්ගලයින් සායන වලට යාමෙන් වැළකී සිටියා. මෙයට හේතුව, සෑම රෝහලක් ම පාහේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස කටයුතු කිරීම. එවන් තත්ත්වයක් තුළ තමන් සායන වලට යාමෙන් තමන්ට වැඩි අවධානයක් යොමුවේය, තමා ව එළියට ඇද දමාවි ය, ඒත් නැතිනම් තමන් ට කොරෝනා බෝවේ ය යන බියෙන් ඔවුන් සායන වලට යාමෙන් වැළකී සිටියා.

මම හිතන්නේ ලොක්ඩවුන් සමය තුළ LGBTIQ ප්‍රජාවේ සිටින තාවකාලික රැකියාවන් වල නියුතු වුණු බොහෝ මිතුරන්ට, දිනක වැටුපෙන් ජීවත් වූ බොහෝ මිතුරන්ට තමන්ගේ රැකියාව අහිමි වූවා. මේ අය ගෙන් බොහෝ අය ජීවත් වුණේ කුලී කාමර වල. තමන්ගේ කුලිය ගෙවා ගැනීමට නොහැකිව බොහෝ අසරණභාවයට පත් වූවා. මෙය අපේ ප්‍රජාව මුහුණ පෑ බරපතල ගැටළුවක්. මා දුටුවා බොහෝ ප්‍රජා සංවිධාන ඉදිරිපත් වී සිටියා ඔවුනට උපකාර කරන්න. එහෙත් මා විශ්වාස කරන්නේ මෙය රජයක් විසින් ඉටුකළ යුතු වගකීමක්. අපිත් මේ සමාජයේ ම කොටසක්.

මේ ඇවිත් තිබෙන දෙවන කොරෝනා රැල්ලේ දී මා ගේ මිත්‍ර සෑම දෙනෙකුට ම මා පවසන්නේ නිවසට වී සිටින්න. සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න. ඔබත් මමත් මේ අභියෝගයේදී එකට සිටිනවා. අපි සටන් කළ යුතුයි. ශක්තිමත් ව සිටින්න. ගිය වතාව මෙන් මේ වතාව අපට අපහසු නොවේ යැයි ප්‍රාර්ථනා කරමු. 


ඔබ ඔබගේ පරම්පරාවේ මෙන්ම ඉදිරි පරම්පරා වල ආධුනිකයින් ට නායකයකු යැයි සිතනවා ද? 

මම නායකයකු නොවෙයි. මම මනුෂ්‍යයෙක්. මම ස්වාධීන කලාකරුවෙක්. මා ලියන ගීත සමඟ මිනිසුන් චිත්තවේගීය බැඳීමක් ඇති කරනු ඇති බවටත්, ඔවුන් කුමන ගමන්මඟ ක සිටිය ද ඒ බැඳීම තුළින් ඔවුන්ගේ ගමන සාර්ථක වනු ඇති බවට ත් මා බලාපොරොත්තු වනවා. 


කළඑළි බැසීම තවමත් අභියෝගයක් යැයි සලකන කුයර් ප්‍රජාවට ඔබ ලබා දෙන පණිවුඩය කුමක් ද? 

මීට කලකට ඉහත, ලේඩි ගාගා ගේ ලිංගිකත්වය පිළිබඳ අන්තර්ජාලයේ නොයෙකුත් කටකතා බිහිවී තිබුණා. ඒ අතර කියවුණු දෙයක් තමයි, ඇය අන්තර්ලිංගික (hermaphrodite) එනම් ලිංග දෙකෙහිම අවයව සහිත පුද්ගලයකු බව. ඒ කාලයේ දී බොහෝ දෙනෙකු මෙය විශ්වාස කරා. මට මතකයි, වරක ඇන්ඩර්සන් කූපර් නම් නිවේදකයා ගාගා ගෙන් මේ කටකතාව ගැන අහනවා, ඈ අන්තර්ලිංගිකයකු ද යන්න ඇගේ මූණට ම අසනවා. ඇය ඉතාම පැහැදිලිව පිළිතුරු දෙමින් පවසා සිටියා: “මොන කෙහෙල්මලකට ද මට ශිෂ්ණයක් තිබෙනවා ද නැත් ද යන කාරණය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් සිදු කිරීමට කාලය නාස්ති කරන්නේ? මාගේ රසිකයින් ට එය අදාළ නැහැ. මට අදාළත් නැහැ.” යනුවෙන්. පෙනෙනවා නේද? ඇතැම් විට මිනිසුන් විවිධාකාරයි. ඇතැම්විට, එවන් දෙයක් ඇසෙන විට එය ඔබට දිරිගන්වනු ඇති, නැත්නම් කළකිරීමට පත්කරනු ඇති. ඉතින් මා සිතන්නේ කළඑළි බැසීම විටින් විට වෙනස් විය හැකියි. වැදගත් වන්නේ ඔබගේ ධාරිතාව කුමක්ද යන්න ඔබ විසින් හඳුනා ගැනීමයි. එම නිසා ඔබට නිදහස දැනෙන ඔබගේ ජීවිතය ඔබ විසින් ගොඩනඟා ගන්න. අනෙකාට ගරු කරන්න, ඒ අතරම තමා ට ද ගරු කරන්න. ඔබේ ජීවිතය අයිති ඔබටයි. එය සමඟ කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කළ යුත්තේ ඔබයි.  


බීතෝවන් වරක පැවසුවා සංගීතය යනු සෑම දර්ශනයක් හා ප්‍රඥාවක් ම අභිබවා ගිය ඉහළ ප්‍රකාශනයක් බවට. ඔබ ඔබගේ සංගීතය තුළින් සමාජයට ලබා දෙන දර්ශනය කුමක් ද? 

අහස්ගැබ දහසකින් ඔබ වැටුණ ද එය අදාළ වන්නේ ම නැත. පොළවේ පය ගසා ජීවත් වන්න, මන්ද ඔබේ ලොව වෙනස් කළ හැක්කේ ඔබට පමණි” එය ගාපින්ක් ගේ දර්ශනයයි.


ඉදිරියේ දී ගාපින්ක් විසින් නිර්මාණය වූ ගීත ඇල්බමයක් ඇසීමට අපට අවස්ථාව උදා වේවි ද?

බොහෝදුරට 2021 දෙසැම්බර්, හෝ 2022 ජනවාරි වලදී පුළුවන් වේවි. ස්තූතියි.