මානුෂිය උසාවියෙන් සමලිංගිකත්වය පිළිගනි!

මානුෂිය උසාවියෙන් සමලිංගිකත්වය පිළිගනි!

24 September 2020 04:09 pm

ඊයේ දිනයේ එක්තරා පුවත්පතක වාර්තා කර තිබූ එක් පුවතක් බවට පත්වූයේ "ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව චෝදනා ලද තරුණයන් දෙදෙනෙකුට එරෙහි නඩුව හෙට" බව සහ  තවදුරටත් එහි සඳහන් වූයේ "පුරුෂ පුරුෂයන් අතරේ ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිබඳ තරුණයන් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම සඳහා හෙට දිනයේ නඩුව කැඳවන" බවයි.

Photo captions: Papadam Facebook Page

මේ සමගම බොහෝ දෙනෙක්ගේ අවධානය මේ නඩු තින්දුව කෙරෙහි යොමුව තිබුනා. නමුත් පසුව අනාවරණය වුනේ පුවත් පතේ දිනය නොව, ලබන මස 23 වන දින මෙම නඩුවේ තීන්දුව ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය පිළිබඳව අත්අඩංගුවට ගැනීම සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවනු ඇත.

2016 වර්ෂයේ දී සමලිංගිකත්වය යන වරද යටතේ පුද්ගලයින් 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර 2017 දි 6ක් සහ  2018 වර්ෂයේ දී පුද්ගලයින් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Police report)

එමෙන්ම නිතිවේදි අරිත වික්‍රමසිංහ සිය මුහුණුපොතේ තැබු සටහනකින් අනාවරණය වුයේ 2019 දී "අස්වාභාවික ලිංගික චර්‍යා" ලෙස නම් කරමින් 800ක් අත්අඩංගුවට ගත් බවයි.

තවදුරටත් ඔහු සදහන් කලේ; එක්තරා පුද්ගලයෙක් තමන්ගේ නිවසේ ලිංගික චර්‍යාවක නිරත වූ බව සදහන් කරමින් අත්අඩංගුවට ගෙන පාපොච්චාරණය කර අනිත් පාර්ශවය අත්අඩංගුවට ගෙන ඇති බවයි. (මීගමුව උසාවියේ නඩුව විභාග වේ)

එමෙන්ම තවත් තිදෙනෙක් සමලිංගිකයන් ලෙස නම් කර හෝටලයක කාමරයක සිට අතඅඩංගුවට ගත් බවයි. නමුත් ඔවුන් කිසිදු ලිංගික ක්‍රියාකාරකමක් සිදු කර නොමැති අතර එයට සාක්ෂි  ලෙස පොලිසිය ඉදිරිපත් කර ඇත්තෙ එක් පුද්ගලයෙකුගේ පසුම්බිය තුල උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් තිබිමයි.

(මේ ඉහත සිදුවීම් දෙක තුළදීම සිය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බැවින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුව ඇත.)

1883 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාවේ පත්ව තිබූ යුගයේ අප රටේ නීති සහ සංස්කෘතිය වෙනස් කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලංකාවට දායාද කළ දණ්ඩ නීති සංග්‍රහයේ අංක "365" සහ  "365 "අ" වගන්තිය යටතේ සමලිංගිකත්වය වරද බවට පත්ව තිබෙන්නේ "එය අස්වාභාවික ලිංගික එක්වීමක්" ලෙසට නම් කරමින්.

තවද අපට දකින්නට ඇත්තෙ,නඩු නැති පොලිසිය තමන්ට ටාර්ගට් සම්පූර්ණ කරගන්න මේ පුරාණ වහල් නීති භාවිතා කරන බවත් සහ අල්ලස් සහ ලිංගික අල්ලස් වලට මේ ඉලක්ක වන වින්දිතයන් ලක්වෙන බවත්ය. 

ස්ත්‍රී අපචාර වල වැරදිකරුවන් සමාජයේ නිදැල්ලෙ සිටින විට, උපතින් හිමි ලිංගික දිශානතිය මත මිනිසුන් සිරගෙවල් වලට දැක්කීම පුරවැසියෙකු ලෙස මම අනුමත නොකරමි.

වික්ටෝරියානු සමාජය තුළ පැවැති කතෝලික ආගමික බලපෑම් සමග ස්ත්‍රීයක් සහ පුරුෂයෙක් අතර ලිංගික එක්වීම ස්වාභාවික යැයි සැලකූ අතර සමලිංගික යැයි යම් කිසි කෙනෙකු ඔප්පු වුවහොත් ඔවුන් ජීවිතක්ෂයට පත්කිරීමේ දඬුවම පවා ක්‍රියාත්මක විය.

ඒ අනුව නූතන පරිගණකයේ පියා වන "ඇලන් ටියුරින්" මිය යන්නේ ද මේ දඬුවමෙ ප්‍රතිඵලයක් වශයෙනි. අදටත් මේ අහිමි වීම සිහිවීම පිණිස ඇපල් සමාගමේ ලාංඡනය අඩක් කා ඇති ඇපල් ගෙඩියක සළකුණ ගන්නේ ඇලන් ටියුරින්  හට වස ලබාදුන් ඇපල් ගෙඩිය සිහිපත් කිරීමටයි.

සමකාමී බව මානසික රෝගයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කර ඇති අතර මෙය වරදක් යැයි මූලිකම නීති සම්මත කළ රටවල් ද මේ නීති ඉවත් කළේ සියල්ලටම වඩා මනුෂ්‍යත්වය ඉහළ බව පිළිගැනීම සඳහායි. 

එමෙන් ම බහුතර සංස්කෘතිමය ජනතාවක් ජීවත්වන අසල්වැසි ඉන්දියාව ද මේ දණ්ඩ නිති සංග්‍රහයේ නීතිය ඉවත් කළේ  මනුෂ්‍යයෙකුගේ ලිංගික දිශානතිය පිළිබඳව තීරණය කිරීමටත් එයට බලපෑම් කිරීමටත් ඔවුන්ට මිනිසුන් හැකියාවක් නොමැති වග පසක් කරමින්.

වික්ටෝරියානු සංස්කෘතියට ඉහළින්ම විරෝධය පාන ලංකාවේ මිනිසුන් තවමත් වික්ටෝරියානු සීමා වලට ලඝු වී ජීවත් වීමත් සමගම අපේ රටේ නීති එවැනි නිදහස් චින්තනයකින් යුතු ව පනවනු ඇති බවට අපට සිතිය නොහැකියි.

නමුත් ලිංගික දිශානතිය පදනම් කරගෙන පවුලේ ඉඩ අහිමි වන දරුවන් අප දැක ඇත්තෙමු, තමන්ට ඇති ඉඩම් සහ නිවාස අයිතිය අහිමිව යන පුද්ගලයන් ද අප දක්වා ඇත්තෙමු. පාසලින් නෙරාපා හැර නැවතත් පාසලට යෑමට නොහැකිවන තැනට ලේබල් ගැසූ දරුවන් ද අප දැක ඇත්තෙමු. දිනපතා සමාජ මාධ්‍ය වල මානසික හිංසනයට ලක් වෙන මිනිසුන් ද, රැකියා අහිමිව යන මිනිසුන්ද මනුස්සකම් ගැන කතා කරන ශ්‍රි ලංකාවේ නොමැරි මැරි ජීවත් වීම දුකට කරුණකි.

එවැනි පසුබිමක් යටතේ අප කල්පනා කළ යුත්තේ ලිංගික දිශානතිය මත කිසිවෙකුටත් වෙනස්කොට සැලකීම සහ කොන්කොට සැලකීම සිදුවන පරිසරය වෙනස් කිරීමටයි.

දිනක ඔබගේ දරුවා හෝ සහෝදර සහෝදරියන් හෝ යහලු යෙහෙලියන් ලිංගික දිශානතිය මත ඔබට වඩා වෙනස් පුද්ගලයෙක් යැයි දැන ගත් පසු ඔවුන් ඔබගෙන් ඈත් කිරීමට ඔබට හැකියාවක් පවතිනවා ද?

ඔවුන්ගේ උපතින් හිමි  දිශානතිය මත අපරාධකරුවන් බවට පත්ව සිර ගෙදරකට සීමා කරන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට හැකියාවක් පවතිනවාද?

ඊටත් වඩා බ්‍රිතාන්‍යයන් අපට යටත් විජිත කාලයේ දී ඔළුව බන්ධනය කළ මෙම වහල් බවේ නීතින් තවදුරටත් කර මත තබාගෙන අප ගමන් කරනවාද යන්න මේ මොහොතෙහි තීරණය කළ යුතුයි.

මේ නඩු තින්දුව ගැන නොව අප කල්පනා කල යුත්තේ, මොකද මෙය තවත් එක නඩු තීන්දුවක් පමණි.

එමෙන්ම මේ ප්‍රජාව ඉල්ලා සිටින්නේ සමකාමී විවාහා නීති ගත කරන මෙන් ද නොවේ.

ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටින්නේ "උපන් ගෙයිම මිනිසුන් අපරාධකරුවන් බවට පත් කරවන මේ පුරාණ සහ අමානුෂික නීති ඉවත් කර ලෙස සහ මිනිසුන් ලෙස, ඕනෑ පුද්ගලයෙකුට ලේබල් නොමැතිව ජීවත් විය හැකි  පරිසරයක්" පමණයි.

මෙම අවනඩුව මානුෂිය උසාවිය හෙවත් ඔබගේ ජූරියට භාරයි!

එමෙන්ම ලබන මස 23වන දින සැබෑ මානුෂිය බවට සාධාරණය ඉටුවේ යැයි අප විශ්වාස කරමු.

සටහන -
ජනමාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාකාරී 
කෞශාල් රණසිංහ 
(https://www.citizen.lk/)


LGBTIQ සංස්කාරක සටහන: සමරිසිභාවය පිළිබඳ කතිකාවත පිළිබඳ විවෘත සංවාදයකට බඳුන් කළ යුතු බව අප අවස්ථා ගණනාවකදී ම අවධාරණය කර තිබේ. මේ ගත වන්නේ 2020 වර්ෂයයි. ඒ අනුව, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට එරෙහි බෙහෙවින් දොඩමළු වන අප යටගිය දවස වික්ටෝරියානු සංස්කෘතියක් තවමත් කරපින්නා ගෙන එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය ආඳා ගනිමින් සමරිසි ප්‍රජාව මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනා බවක් පෙනෙන්නට නොතිබේද? සමරිසි අයිතීන් පිළිබඳ කතිකාවත පක්ෂ දේශපාලනය ට ලඝුකළ නොහැක. දේශපාලන වාසි ලබා ගැනීමට ලඝුකළ ද නොහැක. එය මානව හිමිකම් පිළිබඳ ගැටළුවකි. ඉහත වාර්තා වූ සිදුවීම සමඟ අපගේ සිහියට නැඟෙන්නේ 2014 වර්ෂයේදී නීතිපතිවරයා විසින් සමරිසි ප්‍රජාව පිළිබඳ ලබා දුන් සහතිකයයි. එම වර්ෂයේදී නීතිපතිවරයා විසින් අවධාරණය කර තිබුණේ LGBTIQ ප්‍රජාව ඉලක්කකොට ගනිමින් වෙනස්කොට සැලකීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. එමෙන්ම පවතින නීතීන් යොදා ගනිමින් එම ප්‍රජාවට වෙනස්කම් සිදුකළ නොහැකි බවද හෙතෙම අවධාරණය කර තිබිණි. මෙම අවධාරණය 2017 සහ 2019 වර්ෂ වලදී ද යළි තහවුරු කර තිබිණි. කෙසේවෙතත්, පොලීසිය, හෝ අධිකරණය මේ පිළිබඳ අවබෝධයෙන් පසු නොවනවා විය යුතුය.. නැතහොත් නොසලකා හරිනවා විය යුතුය. වත්මන් පාලන තන්ත්‍රය තුළ මානව හිමිකම් පිළිබඳ කතිකාවත වෙනත්ම දිශාවකට යොමුවන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් අප සෘණාත්මක විය යුතු නැත. ලංකා නිව්ස් වෙබ් අපි විමසිල්ලෙන් පසුවෙමු.


පෙරලිපි:
අප තවදුරටත් වික්ටෝරියානු දම්වැල් වල සිරවී සිටිය යුතුද?
සමරිසිභාවය සාපරාධී වරදක් නොවේ. දණ්ඩ නීති සංග්‍රහයේ වෙනසක්?