දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ අසූචි නැවක් ළග දණ ගහලා - විපක්ෂ නායක

දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ අසූචි නැවක් ළග දණ ගහලා - විපක්ෂ නායක

24 October 2021 04:58 pm

දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දේශප්‍රේමය ගැන පුරසාරම් දෙඩූ වීරයන් මේ වනවිට සැඟවී ඇති බවත් කොමිස් කුට්ටිවලට මුළු රටම පාවා දෙමින් පුරවැසියාගේ ජීවිත සමඟ ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

පරීක්ෂණ රැසකින් අසමත්වූ පොහොර නැව නැවතත් ගෙන්වා මේ රටේ ගොවි ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව අතිශය පහත් උත්සාහයක යෙදෙමින් සිටින බවත්, පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව අපක්ෂපාතිව පරීක්ෂණ කරන ආයතනවලට ටියුෂන් දෙන්නට විෂය භාර ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ගොවි හදගැස්ම වැඩසටහනට සහ ගොවි උද්ඝෝෂණයට එක් විය. එම ප්‍රදේශයේ ගොවි ජනතාව හමු වූ විපක්ෂ නායකයා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

විද්‍යාඥයින්ගේ, විශේෂඥයින්ගේ විමසීමකින් තොරව තමන්ගේ හිතු මනාපයට තීන්දු ගෙන ප්‍රමිතියකින් තොර බාල පොහොර ආනයනය කරමින් ආණ්ඩුව විසින් සිදු කොට ඇති වරද සුළුපටු නොවන බව පැවසූ විපක්ෂ නායකයා අදාල පොහොර සම්බන්ධව අපේ රටේ පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණයෙන් පසු ලැබුණු ප්‍රතිඵලය පවා කෘෂිකර්ම අමාත්‍යවරයා හාස්‍යයට ලක්කරමින් සිටින බවද පෙන්වා දෙනවා.

මෙවැනි ප්‍රමිතියකින් තොර පොහොර ගෙන්වීම හරහා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන බලපෑම සමස්ත පරිසරයටම අදාළ බව පැවසූ විපක්ෂ නායකයා මේවා පිළිබඳව මායිම් නොකරන බලවතුන් කවුදැයි විමසා සිටිනවා.

චීන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම කුමක්ද, අදාල පොහොර ප්‍රමිතියෙන් තොර නම් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ගිවිසුමේ අත්සන් කළේ මොනවාද, පළමු පරීක්ෂණයෙන් අසමත් වූ විට හරවා යැවූ පොහොර නැව දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල එන්නටත් පෙර ආපසු ගෙන්වූයේ කවුද, එම නැව ගෙන්වනු ලෙස බලපෑම් කළේ කවුද, ඒ බලපෑම්වලට යටත් වුයේ කවුද යන්න රටට හෙලිදරව් කළයුතු බවද ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

රටට බරපතළ හානි ගෙන එන නැවක් මෙරට වරාය ආශ්‍රිතව නැංගුරම් ලෑම පවා වරදක් බව ප්‍රකාශ කළ විපක්ෂ නායකයා එසේ නොකරන ලෙස ඉල්ලන්නට කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාවවත් මේ ආණ්ඩුවට නැති බවද පැවසීය.

UN