උපාය මාර්ගික සංවර්ධනය

උපාය මාර්ගික සංවර්ධනය

24 October 2021 01:07 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 1972 දී ඔක්තොම්බර් 24 වැනිදා ලෝක සංවර්ධන තොරතුරු දිනය ලෙස නම් කෙරුණි. එතැන් පටන් වාර්ෂිකව එම සංවිධානය මඟින් රට රටවල මේ පිළිබඳ වැඩසටහන් දියත් කෙරේ.

රටක සංවර්ධනයට එරට ශ්‍රම බළකාය ඉතා වැදගත්ය. තරුණ පරපුර එහි ප්‍රබල පංගුකරුවෝ වෙති. වැඩි වැඩියෙන් රටේ උන්නතියට තරුණ ප්‍රජාව දායක කර ගැනීමට සෑම රටක්ම පාහේ උත්සාහ දරනු පෙනේ.තොරතුරු සන්නිවේදනය එහි ප්‍රධාන මාර්ගයකි. ඒ හරහා විවිධ අංශවල නිරතව සිටින ප්‍රජාවගෙන් රටේ සංවර්ධනයට ලැබෙන දායකත්ව පිළිබඳ වැටහීමක් ලැබේ. එකම රටක් තුළ විවිධ ජාතින් වශයෙන් ජීවත් වීමේදී නොපමාව, නිවැරැදිව එරට සංවර්ධනය පිළිබඳ හරි වැටහීමක් එරට සෑම කෙනකුටම තිබීම වැදගත්ය.තොරතුරු වසංගතයක් පිළිබඳ ලෝකයේ කතාබහක් ඇති වී තිබෙන්නේ ඒ අනුවය.

මහජනතාවට තම තමන් ඒ වෙනුවෙන් දායකත්වය දැක්වූ තරම පිළිබඳ වැටහීක් එවිට ලැබිය හැකිය. එහෙත් ආර්ථික අතින් පමණක් නොවේය. සමාජ සංස්කෘතික වශයෙන් ද දියුණුවක් රටකට සමාජකට අවශ්‍යය. චින්තන දුප්පත්කම ඉන් බොහෝ දුරට තුරන් කළ හැකිය. කොතරම් ධනයෙන් ආඪ්‍ය වුව ද එපමණක් රටකට නොසෑහේ. එරට ජනතාව අතුරෙන් දියුණුවක් සමාජයීය වශයෙන් ද පෙනෙන්නට තිබිය යුතුය. සෙසු රටවල් ද එරට ආදර්ශයට ගනු ලබන්නේ එවිටය.
පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමේ අයිතිය ආදිය ධනය අතින් හිනි පෙත්තේම වැජඹෙන සමහර රටවලින් එතරම් දුරකට දක්නට නොලැබේ. ඒ යම් යම් සීමා කිරීම් හේතුවෙනි. ස්ත්‍රී, පුරුෂ වශයෙන් දෙයාකාරයකට එම අයිතීන් භුක්ති විඳිනු දක්නට හැකිය. ආගමික මතවාද ඊට හරස් වූ සැටියකි. ඒ කෙසේ වෙතත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන මානව හිමිකම් ආදියට ඒ පටහැනිය. ඛනිජ තෙල් හෝ වෙනත් ස්වභාවික සම්පත්වල හිමිකාරීත්වය නිසා ඇතැම් රටවල් ධනවත්ව සිටිනවා වන්නට පුළුවන. එහෙත් ඒ සම්පත් සදාකාලික නොවේ, කෙමෙන් ක්ෂය වේ.

මේ සත්‍ය වටහාගන්නා රටවල් එක ප්‍රධාන අදායම් මාර්ගයක් මත පමණක් පිහිටා නොසිටියි. උපාය මාර්ගිකව අනාගතය දෙස බලයි. යාවත්කාලීන වෙයි. නව තාක්ෂණය, දැනුම රට තුළ සුලභ කරවයි. අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් කෙරෙහි යොමු වෙයි. යල්පැන ගිය ක්‍රම කරතබාගෙන නොයයි. ඒ වෙනුවට අලුත් විධි ක්‍රම වෙත යොමු වෙයි. පර්යේෂණවලට වැඩි ඉඩක් දෙයි. ඊට නොඅඩුව ප්‍රතිපාදන ද වෙන් කරයි. තරුණ පරපුර ඒ වෙත ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරයි. ඊට දිරි දෙයි. නවෝත්පාදන අගයයි. එම නිර්මාණකරුවන්ට උපරිම සහාය ලබාදෙයි.අධ්‍යාපන ක්‍රමවේදය, රැකියා ඉලක්කගත කරයි. ඉන් ඉහළ ඉල්ලුමක් සහිත නිපුණතාවයෙන් හෙබි තාක්ෂණඥයන් බිහිකර ගැනීමට කටයුතු කරයි. කුඩා කල සිටම රැකියා වෙළෙඳපොළ පිළිබඳ දැනුවත් කරයි. ඒ අනුව ද්විතීයික අධ්‍යාපනයට පිවිසෙන විටම සිසු සිසුවියන් අනාගත සිහින සැබෑ කර ගැනීමට අඩිතාලම දමා ගනියි. පන්ති භේදයක් හෝ පංගු බේදයක් එහි නොවේ. තරාතිරමකින් තොරව රටේ සියල්ලන්ටම පාහේ සමාන වරප්‍රසාද ලබාදීමට ඒ ඒ රටවල බලධාරින් කටයුතු කරයි. ඉපයීමට වෙහෙසෙයි. නොමිලේ ලැබෙන තෙක් කල් මැරීමක් ඒ රටවල දක්නට නොලැබෙයි. සියල්ල රජය මඟින් සම්පාදනය කළ යුතු බවට මතයක් ද එම සමාජවල නොවේ.

එසේම ප්‍රතිපත්ති සම්පාදනයේදී රටක ආදායම් බෙදී යෑමේ විෂමතාව අවම කිරීමට කටයුතු කිරීම ද වැදගත්ය. නොඑසේනම් ඇතැමුන් අධෛර්යයට පත් වන්නට පුළුවන. එවිට එය තරගකාරී ලෝකයකට නොගැළපෙනු ඇත. ඒ රටක සියල්ලන්ගේම නොමද දායකත්වය එරට සංවර්ධනයට අත්‍යවශ්‍ය බැවිනි. මූල්‍ය සාක්ෂරතාව එහිදී කැපී පෙනෙන්නකි. ‍මෙරට ග්‍රාමීය ජනතාව අතර ඒ අතින් එතරම් හොඳ තත්ත්වයක් බොහෝ විට දක්නට නොලැබේ. ඒ ආර්ථික විශේෂඥයන්ගේ පෙන්වා දීමකි. නොඑසේ නම් ක්ෂුද්‍ර මූල්‍ය අසත්‍යවල හෝ එම පුද්ගලයන්ගේ හෝ උගුල්වල මෙතරම්ම ජනතාව නොපැටළෙනු ඇත.

විවිධ අංශ ඔස්සේ සාර්ථකත්වයේ ඉහළටම පිය නැඟූ ව්‍යවසායකයන් ද ඔවුන් ඉවත්වන රටරටවල් ද උපාය මාර්ගිකව සංවර්ධන අභියෝග ජයගත් අන්දම ද ආකර්ෂණීය මාධ්‍ය හරහා ජනතාව වෙත සමීප කිරීමෙන් හොඳ පන්නරයක් මහජනතාව තුළ ගොඩනැ‍ඟෙනු ඇත. එය රටක සංවර්ධනයට මහඟු රුකුලකි. ඒ මඟට නොපමාව පිවිසීමට ලෝක සංවර්ධන තොරතුරු දිනය සෑම රටකටම හොඳ කොළ එළියක් වනු ඇත.

#ඇත්ත - Facebook
Sponsored Article



Recommended News