නෙදර්ලන්ත නායකයාගේ කටමැත දෙඩවීමට සාර්ථක පිළිතුරක් - ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට

නෙදර්ලන්ත නායකයාගේ කටමැත දෙඩවීමට සාර්ථක පිළිතුරක් - ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට

22 October 2021 09:47 pm

20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අද පැවති අවසන් තරගයෙන් කඩුලු 08 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව A කාණ්ඩයේ පළමුවැනියා ලෙස ශ්‍රී ලංකාව දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර එම වටයේ පළමු කාණ්ඩයෙන් ඔවුන් තරගවදී. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන්ට පිටියේ රැඳී සිටීමට හැකිවූයේ පන්දුවාර 10 ක් පමණි. නෙදර්ලන්ත පිතිකරුවන් ලකුණු 44 කට සීමා කිරීමට ලහිරු කුමාර, වනිඳු හසංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

ලකුණු 10 සීමාව පසුකර යා හැකි වූයේ කොලින් ඇකර්මන්ට පමණි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර නිලකුණු පන්දුවාරයක්ද යවමින් පන්දුවාර 03 කදී ලකුණු 07 කට කඩුලු 03 ක් බිඳ හෙළීය. ඔහුට අනගි සහායක් ලබාදුන් වනිඳු හසරංග පන්දුවාර 03 කදී ලකුණු 09 කට කඩුලු 03 ක් බිඳ හෙළීය. මහේෂ් තීක්ෂණ සිය පළමු පන්දුවාරයේදීම කඩුලු 02 ක් බිඳ හෙළීමට සමත් වූ අතර ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ලකුණු 45 ක පහසු ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය.

නෙදර්ලන්තය ලබාගත් ලකුණු 44 ඔවුන් 20/20 තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඔවුන් 2014 වසරේදී ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 39 කට දැවීගිය අතර එම ලකුණු සංඛ්‍යාව 2019 වසර තෙක් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර සටහන්ව තිබිණි.

තරගාවලියට ආරම්භවීමට පෙර නෙදර්ලන්ත නායකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවතක්සේරු කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 03 ම ජයගත නොහැකි වනු ඇති බවයි. ප්‍රතිවාදී කණ්ඩායම්වලින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇති බවට ඔහු අනාවැකි පළකර තිබිණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට දක්ෂතාවලින් පිළිතුරු ලබා දුන්නේ තරග තුනම ඉතා පහසු ලෙස ජයග්‍රහණය කරමිනි.

අවාසනාවන්තම සිදුවීම වන්නේ නෙදර්ලන්තය මුහුණ දුන් තරග 03 ම පරාජයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවීමයි.

UN