ලෝක කුසලාන දෙවැනි වටයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් - ප්‍රතිවාදීන් සියලු දෙනා ලංකාවට වඩා ඉදිරියෙන්

ලෝක කුසලාන දෙවැනි වටයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් - ප්‍රතිවාදීන් සියලු දෙනා ලංකාවට වඩා ඉදිරියෙන්

22 October 2021 11:30 am

20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අද රාත්‍රී අවසන් වේ. ඒ කාණ්ඩයේ අවසන් තරග දෙක අද සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

සවස පැවැත්වෙන තරගයට අයර්ලන්තය සහ නැමීබියාව එක්වන අතර රාත්‍රීයේදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරග වදී. මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එතරම් වැදගත් නොවන්නේ ඔවුන් මේ වනවිටත් ඒ කාණ්ඩයේ පළමුවැන ස්ථානය දිනාගෙන සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන තිබෙන බැවිනි. කෙසේ නමුත් තරග 03 ම ජයගෙන සුපිරි වටයට පිවිසීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මානසිකව ශක්තියක් වනු ඇත.

අද පැවැත්වෙන අයර්ලන්ත - නැමීබියා තරගයේ ප්‍රතිඵලය අනුව ඒ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම තීරණය වනු ඇත.

බී කාණ්ඩයේ තරග ඊයේ අවසන් වූ අතර ඒ අනුව ස්කොට්ලන්තය තරග තුනම ජයග්‍රහණය කරමින් අපරාජිතව පළමු ස්ථානයේ සිටී. තරග දෙකක් පමණක් ජයගත් බංග්ලාදේශය දෙවැනි ස්ථානයට පත්විය.

සුපිරි 12 දෙනා‍ගේ වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පළමු කාණ්ඩයට අයත් වන අතර ස්කොට්ලන්තය සමග අයර්ලන්තය හෝ නැමීබියාව දෙවැනි කාණ්ඩයට ඇතුළත් වේ.

ඒ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්ය. ඒ අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට දැඩි තරගයක් දීමට සිදුවනු ඇත. මන්ද ඔවුන්ගේ ප්‍රතිවාදීන් පස්දෙනාම, 20/20 ජාත්‍යන්තර තරග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායම් වීමයි.

සුපිරි 12 දෙනාගේ වටයේ තරග හෙට ආරම්භවීමට නියමිතය.

UN