Exclusive: කිඹුලන් පිරුණු ගඟේ හුළං පිරවූ ටියුබ් එකක නැග මාළු බාන මිනිස්සු

Exclusive: කිඹුලන් පිරුණු ගඟේ හුළං පිරවූ ටියුබ් එකක නැග මාළු බාන මිනිස්සු

18 October 2021 01:48 am

‘‘ජීවිතේටවත් සිංහල අවුරුද්දකටවත් මේ වගේ බරක් ලැබිල නෑ... මේක අපිට මාස දෙක තුනකට ඇති..‘‘

මේ කතාව අපට ඇසුණේ වැලිකන්දෙනි. රටට ජනපතිවරයෙකුත් බිහි කළ රජරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අන්ත දුෂ්කර, ග්‍රාමීය දරිද්‍රතාවයේ පහළම රේඛාවටත් බොහෝ පහළින් ජීවත් වන ජනයා බහුල පෙදෙසකිනි. නව නගරයේ සිට කිලෝමීටර 14 ක පමණ දුරින් පිහිටා තිබුණත් එහි තත්වය, නව නගරය හෝ බැංකු බහුල කදුරුවෙලට වඩා හාත්පසින් වෙනස් ය. මීට වසර කිහිපයකට පෙර ක්ෂුද්‍ර මූල්‍ය ණය වසංගතයෙන් බේරීමට නොහැකි තැන සිය පුතුන් දෙදෙනාත් ඇදගෙන කෝච්චියට පැන සිය දිවි නසාගත් තාත්තා ජීවත් වුණේ  මෙහි ය. අවසන් දින කිහිපයේදී ඔහු සිය දරුවන්ට කන්න දී තිබුණේ ඉරට්ටක බැඳි නූලක එල්ලෙන කුඩා මාළු පැටවුන් ය. පවුලේ මවට ගමෙන් පළා යාමට සිදුවුණේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ඒජන්තයන් ගෙදර හොයාගෙන එන්නට පටන් ගත් පසුව ය. 

කර්කශ පොළොව, රළු සුළඟ සහ හිත්පිත් නැති බලධාරීන් අබියස ඔවුන්ගේ ඉරණම අද ද නොවෙනස් ය. ණය බර නිසා සිය දිවි නසාගත් අය මෙන්ම, ණය බර නිසා සිතින් මැරෙමින් ඉපදෙන - මියෙමින් ජීවත් වන පරාණ වලින් ගම පිරී පවතියි. 

ඉතින් මේ කතාව නෙළුම්යාය පදනම (Nelumyaya Foundation) විසින් කෝවිඩ් හදිසි සහන වැඩපිළිවෙළ යටතේ ලබාදුන් බඩු මල්ලක් ගැන පමණක් නොවේ. එය, රටේ සාමාන්‍ය ජීවන වියදම සමග සලකන විට දළ වශයෙන් සති 1-3කට වඩා පිරිමසා ගැනීමට නොහැකි ය. නමුත් ඔවුන් එසේ අදහස් පළ කළේ යහමින් කෑම බීම අවශ්‍ය වයසේ පසුවන දරු මල්ලන් ද සහිත 5 දෙනෙකුගෙන් යුක්ත පවුලක් ගැන ය. 

නිවසේ අබලන් වූ පුටවක් මත අත කැඩුණු කුඩා දරුවෙකි. දින 18කට පසු රෝහලෙන් ගෙදර ආ ඔහුට, ගෙදර එවා ඇති නිසාම රෝහලේ සිටියදී ලැබුණු තුන් වේල ද අහිමි ය. මේ කාලයේ කුලී වැඩක් හෝ සොයාගැනීමට අපහසු ය. එසේ විණි නම් දිනකට රුපියල් 1000 ක් පමණ සොයාගත හැකි වනු ඇත. දැන්, මේ පවුලේ මාසික ආදායම 1000*30 යනුවෙන් ඔබ ගණන් නොබැලිය යුතුය. මන්ද, කෝවිඩ් වසංගතය පැමිණීමට පෙරත්, ඔවුන්ට කුලී වැඩක් කියා දෙයක් සොයාගැනීමට ලැබුණේ මාසයකටම දවස් හත අටක් පමණක් වූ නිසා ය. 

‘‘දැන් සතියට එක දවසක්වත් කුලියක් ලැබෙන්නෙ නෑ..‘‘

මේ පවුලේ සැමියා විටෙක මී කඩන්නට මාදුරුඔය රක්ෂිතය වෙත යයි. එසේත් නැතිනම් ගඟට ගොස් වැලි ගොඩ දමයි. 

‘‘වැලි ගොඩදාද්දි කකුල පණුවා කනවා..ඒවට ෆාමසියෙන් අරන් බේත් දාන්න ඕනෙ... ෆාමසි යන්න අපිට සල්ලි කොයින්ද? ඉතින් එයා කහයි පොල්තෙලුයි බැඳගෙන ඉන්නවා..‘‘

සමෘද්ධියත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් !

‘‘ඇයි සමෘද්ධිය ලැබෙන්නෙ නැද්ද?“ ඉතාම මූලික ප්‍රශ්නයක් අපි ඔවුන්ගෙන් අසන්නෙමු. ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 21 ක් සිටිති. දෙපාර්තමේන්තුවේ හොරණෑව බලවත් ය. ඔවුන්ට අනුව ලංකාවේ දරිද්‍රතා රේඛාවේ පහළින් සිටින 4.1%ක ජනගහනයක සුරැකි පියවරුන් ඔවුන් ය. නමුත් ඇත්ත කතාව එයම නොවේ. 

‘‘සමෘද්ධි කාඩ් ඉස්සර තිබ්බා. සමෘද්ධි කණ්ඩායමේ ණය ගත්ත අය ගෙවල නැති නිසා ඒව අත්හිටෙව්වා..‘‘

දැන්, සමෘද්ධි බැංකුව සහ ක්ෂුද්‍ර මූල්‍ය කොම්පැනියක් අතර වෙනසක් තිබේදැයි ඔබට සිතෙන්නට පුළුවන. සමෘද්ධිලාභීන් වූ මේ පවුලට, සමෘද්ධි බැංකුව කණ්ඩායම් ණය ලබාදී තිබෙන්නේ, ක්ෂුද්‍ර මූල්‍ය උවදුරේදී මෙන්ම ඔවුන් එකිනෙකාට ඇප කරවමිනි. එක් අයෙක් හෝ ණය නොගෙවා සිටියහොත් සෙස්සන්ගේ සමෘද්ධි දීමනාව අවලංගු වේ. එපමණක් නොව, ලැබෙන සොච්චම් මුදලිනුත් කපා ගත්- ‘සමෘද්ධි ඉතුරුම්‘ මුදලත් අහෝසි වේ. ඒ ඉරණමට මුහුණ දුන් ලක්ෂ ගණනක් ලංකාවේ සිටිනවා විය යුතුය. ඒ දත්ත සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අප්ඩේට් නොවෙනවා විය යුතුය!

‘‘ඒ මිනිස්සුත් ගෙවන්න පුළුවන් නම් ගෙවනවා.. කොහේ ගෙවන්නද දෙයියනේ..‘‘ 

කිඹුලන් පිරුණු ගඟේ හුළං පිරවූ ටියුබ් එකකින් මාළු බෑම

ඇතැම් දිනවල පවුලේ පියා හුළං පුරවාගත් ටියුබ් එකක නැග ගඟ මැදට ගොස් මාළු බෑමේ යෙදෙයි. ගඟේ කිඹුලන් සිටින බව ඔහු නොදන්නවා නොවේ. නමුත් ඔහුට ඔරුවක් නැත. ඔරුවක් තබා පාරුවක්වත් නැත. කිඹුල් දත් කෙසේ වෙතත්, ගඟ මැද ජලය තුළ සැඟවී ඇති රිටකට පවා ටියුබය සිදුරු වුවහොත් දිය සුළි මැද ලියැවෙනු ඇත්තේ ඔහුගේ මරණ සහතිකයයි. 

හාල්මැස්සන්ටත් වඩා පොඩි මාළු කූරි

රුපියල් දෙදාස් පන්සීයකින් පවුලකට මාසයක් ජීවත් වන්නට පුළුවන් යැයි කී ආර්ථික කටයුතු ඇමතිවරයා නම්, ‘‘ඕක තමයි මං කිව්වේ‘‘ යැයි උදම් අනන්නටද හැකි නමුත්, ඔබ මේ මුළු කතාවම කියවා මිස විනිශ්චයන්ට නොඑළඹිය යුතුය. අපගේ ඇස් පනා පිට ඇය දරුවන්ට රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටියාය. ලුණු කැට ටිකක් ගෙන නෑඹිලියට දමා කොච්චි හෝ අමුමිරිස් ටික නෑඹිලියේ දාරවල තබා ඇතිල්ලුවාය. නාන්නට ගඟට යන විට මේ ගැහැණුන් කුඩා මුට්ටියක් ද රැගෙන යන්නේ, ඔබ අප සාමාන්‍යයෙන් දැක ඇති කුඩා හාල් මැස්සන්ටත් වඩා කුඩා මාළු පැටවුන් අල්ලාගෙන ඒම පිණිස ය. එම මාළු කූරි බිම දමා අතුල්ලා කොරළ ඉවත් වූ පසුව අර ලුණු සහ මිරිස් පමණක් ඇති හොද්දට දමා රත් කරයි. ඒ හොද්දේ තුනපහ නැත්තේ, ගෙදර හරියකවත් තුනපහ නැති නිසා ය.  අබ, උළුහාල් වැනි දේ ඔවුන් මාස ගණනකින් දැක තිබුණේ නැත. 

‘‘අපේ ගෙවල්වලට ඔව්ව ගේන්නෙ නැති තරම්..‘‘ 

අනතුරුව පාන් පිටි වතුර සමග අනා සාදන කුඩා පාන් පිටි බෝල, උතුරන හොද්ද මැදට දමයි. එයින් සෑදෙන්නේ පාප්පයක්ද, මාළු හොද්දක්ද, නැතිනම් වෙනයම් ආහාරයක්දැයි සිතාගැනීම ඔබට බාර ය. සාගින්න ඉවසාගත නොහැකි විට හයිටියේ දුප්පත් මිනිසුන් පුළුස්සාගෙන කන ‘ගැලෙට්‘ නමැති මඩ රොටිය මට සිහියට නැගේ. ගඟ නොතිබිණි නම්, ඔවුන් ද මැටි බඳු පාන්පිටි පුළුස්සා කනු ඇත.

මෙය අතිශය විරල සිදුවීමක් යැයි ද මේ සිදුවීම සාමාන්‍යකරණය කරන්නට බැරි යැයි ද ඔබට තර්ක කරන්නට පුළුවන. සාගින්නේ මිනිසුන් මිය යන තැනට ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධති පල්ලම් බැස ඇති බව ඇසින් දුටු සාක්ෂිවලින් පවා පිළිගන්නට නම් කෙනෙකුගේ ඊගෝව සෑහෙන්න අඩු වී තිබිය යුතුය. මහපොළොව බොඳ වී නොපෙනෙන තරමට ඇස් ඇරී ඒවා බිමට යොමු වී තිබිය යුතුය. 

දර සෑයක් වැනි මිනිසෙක්

පොළොන්නරුවේ තවත් තැනෙක, දර සෑයක් මෙන් කෙට්ටු මිනිසෙක් රෝගීව බිම වැතිර සිටියේය. ක්ෂුද්‍ර මූල්‍ය ණයෙන් හෙම්බත් වූ පවුලේ මව, දැන් ණය ගෙවන්නට නොව පව ගෙවන්නට ගල් කොරියට යයි. එසේ යන විට ඇගේ දරු තිදෙනා ද කැටුව යා යුතුය. 

තවත් මවක් දෛනික කුලී වැඩට යන්නේ සිය දියණිය නිවසේ සිටියදී කාමරයට අගුළු දමා ය. මේ දිස්ත්‍රික්කවලට ළමා අපචාර නුහුරු දේ නොවේ. නමුත් දියණියගේ ආරක්ෂාව කවදත් මවට මහ මෙරකි. 

‘‘දරුවගෙ පපුව ඔපරේෂන් කරලා.. පේරාදෙණියෙ ගෙනියන්න කිව්වා.. සල්ලි නෑ අතේ පිච්චියක්වත්.. දරුවා පොඩි කාලෙ ඉඳන්ම අසනීපෙන්..‘‘ ඒ අපට මුණ ගැසුණු තවත් මවකි. 

තවත් නිවෙසක, ගෙදර හරියටම කෑමට තිබුණේ සුදුලූණු බික් දෙකක් පමණි.

පොළොන්නරුවේම අන් තැනෙක, කෝවිඩ් වැළඳී සුවපත් වෙමින් සිටි ස්ත්‍රී ගෘහ මූලික පවුලක ණය බරෙන් පීඩිත කාන්තාවක් අප ඉදිරියට පැමිණියේ වෙව්ළමිනි. වැනෙමිනි. 

‘‘පුල්ලෙයාර් දෙයියන්ගේ පිහිටයි!‘‘ යැයි පිටත් වන විට අපට ඔවුහු කියති. කුවේණියගේ සාපය ලත් බිමකට පුල්ලෙයාර් දෙවියන්ට බැල්ම හෙළන්නට හැකිදැයි අපි නොදනිමු. අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන සිටින දෙවියන්ට මේ රටේ මිනිසුන්ට දිය හැකිව තිබෙන්නේ ඇදහිල්ලේ සැනසිල්ල පමණි. 

මේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය ගැන කිසිවක් නොඅසන්න. මේ දරුවන්ගේ අනාගතය ගැන කිසිවක් නොඅසන්න. දැනට මේ ප්‍රශ්නය පමණක් අසන්න. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ සමෘද්ධි වැනි ආයතන, කිසි වෙනසක් නැතිව පෝලිමට ණය දුන්නේ මෙහෙව් මිනිසුන්ට ය. මේ ජීවිත සම්බන්ධයෙන් රාජ්‍යයට පවතින වගකීම අප විසින් ප්‍රශ්න කළ යුතු නොවේද..?  

- රදිකා ගුණරත්න

රදිකා ගුණරත්න නීතීඥවරියක්, මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරයි. ඇය නෙළුම්යාය පදනමේ (Nelumyaya Foundation) වැඩසටහන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන අතර, එම සංවිධානය ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීති ආධාර වැඩසටහන් සහ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. 

(මෙහි පළවන ඡායාරූප, පුද්ගලයන් හා සිද්ධිවලට අදාළ වේ සහ නොවේ.)



Recommended News