ජීවිතේ කවියක්

ජීවිතේ කවියක්

18 October 2021 12:00 am


ගී ඇසුර 08 

ජාතික රූපවාහිනිය ඔස්සේ විශිෂ්ට ටෙලි නාට්‍ය රැසක්ම ප්‍රේක්ෂකයන්ට පිරිනැමූ විමලරත්න අධිකාරි 1999 අවුරුද්දෙ අලුත් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. ඔහු 1991 ඉදන් හයසිය හැටහය, වටමළුව, ජීවිතය සුන්දරය, ඉසිවර අසපුව වගේ ජනප්‍රිය ප්‍රාසංගික ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කරල තිබුණ.

නව නිෂ්පාදනය දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා. පිටපත කේ.බී. හේරත්ගෙ. එවකට ජාතික රූපවාහිනියෙ වැඩ සටහන් අංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හැටියට කටයුතු කළේ ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ. ඔවුන් තිදෙනා අතර මේ නිර්මාණය ගැන සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුණා.

මාතර යුගයෙ කවීන් අතර අපට කිවිඳියන් කීපදෙනෙකුම හමු වෙනවා. රූණ හාමිනේ, රංචාගොඩ ළමයා ඒ අතර විශේෂයි. හෙළයේ කවි රැජිණ හැටියට නම් කරන්න පුළුවන්  ගජමන් නෝනා ඔවුන් අතර ප්‍රමුඛයි. ඇගේ සම්පූර්ණ නම දෝන ඉසබෙලා කොර්නේලියා පෙරුමාල්. ඉපදුණේ 1758, කොළඹ මිලාගිරියෙ. ගජමන් නෝනගෙ පියා ගජමන් ආරච්චි එවකට ලන්දේසි ආණ්ඩුව මගින් මාතර තෝම්බුව භාර විදානආරච්චි ධූරයට පත්කෙරුණු නිසා 1772 දී සිය අඹු දරුවන් කැටුව මාතර වේරගම්පිට තුප්පහිගෙ වත්තට පදිංචියට එන්නට සිදුවුණා. එතකොට ගජමන් නෝනගෙ වයස අවුරුදු 14ක්. ටෙලි නාට්‍ය කතාව දිගහැරෙන්නෙ ඔය අවදියෙ පටන්.

පුංචි සන්දියෙ කවි පබැඳීමේ ඇගේ හැකියාව පිළිබිඹු වූ “පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ” පැදියේ ඉඳන් ජීවිතයේ විවිධ අවස්ථා පිළිබිඹු කෙරුණු ඇගේ කවි 100 ක් විතර “ගජමන් නෝනා” ටෙලි නාට්‍යයට ඇතුළත්. ගජමන් නෝනා කවි ලියපු කෙනෙක් මිස කවි කියපු කෙනෙක් නෙවෙයි. ඒත් ටෙලි නාට්‍යයේ එන කවි ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුණා. ඒ කවි ගායනා කළේ ගජමන් නෝනා ගෙ පෞරුෂයට පණ දුන් ප්‍රවීණ නිළි වසන්ති චතුරාණිමයි. ටෙලි නාට්‍යයෙ රූගත කිරීම්වලට කලින් එහි සංගීත අධ්‍යක්‍ෂ රෝහණ වීරසිංහ සහ විමලරත්න අධිකාරි වසන්තිගෙ ගෙදර ගිහින් ඒ කවි පුහුණු කළා. ඒවා ඇගේ හඬින් සරල විදිහට පටිගත කරවාගෙන රූගත කිරීමේ ඉසව්වෙදි ඒ තනුව නැවත අහන්නට දෙනව. ඒ “මූඩ්” එකෙන් තමා ඇය කවි ගයමින් රඟපෑවෙ. පසුව ඒ කවි සංගීතය එක්ක නැවත ගායනා කරල තමයි ටෙලි නාට්‍යයට ඇතුළත් කළේ. ඒක වෙනම අභියෝගයක්. ගජමන් නෝනගෙ නොවන කවි දෙකක් ගායන ශිල්පිනී නන්දා මාලනීගෙ හඬින් පටිගත කෙරුණා.

ටෙලි පිටපත සඳහා ගජමන් නෝනා ගැන පුළුල් පර්යේෂණයක් කරන්නට කේ. බී. හේරත්ට සිදුවුණා. ගජමන් නෝනා ආගිය තැන්වලට යන්නත්, ප්‍රදේශවාසීන්ගෙන්  සහ වෙනත් මූලාශ්‍රවලින් තොරතුරු ගන්නත් ඔහු කටයුතු කළා. එයින් ලද තොරතුරු සම්භාරයෙන් අධ්‍යක්‍ෂවරයගෙ මූලික තේමාවට පරිබාහිර බොහෝ කරුණු බැහැර කරන්නත් ඔවුන්ට සිදුවුණා.

ගජමන් නෝනා ගැන සමාජයෙ තියෙන්නෙ වැරදි චිත්‍රයක්. ඇගේ ශෘංගාරාත්මක කවි නිසා ඇය සල්ලාල ස්ත්‍රියක ලෙසයි හංවඩු ගැහී තිබෙන්නෙ. තතු විත්ති හැදෑරුවම ඇත්තටම ඇය එහෙම ගැහැණියක නෙවෙයි. කොටින්ම ගජමන් නෝනා කිසි දිනක ඇලපාත මුදලි සමඟ පවා යහන්ගත වී නැති බවයි මූලාශ්‍ර තොරතුරුවලින් අනාවරණය වෙන්නෙ. ඇත්තටම ගජමන් නෝනා දෙවරක්ම විවාහ වෙන්නෙත් ඇගෙ පියා වූ ගජමන් ආරච්චිගේ අනුමැතිය හා මෙහෙයවීම මතයි.

තතු විත්ති හොයන්න වගේම රූගත කිරීමට අවශ්‍ය  ඉසව් සමීක්ෂණය සඳහා අධිකාරී සහ කේ. බී. එක්ක විටින් විට බණ්ඩාර ඇහැළියගොඩත් ගියා. ඇය ජීවත් වූ තැන් හොයාගෙන මාතර වේරගම්පිට, කොම්පඤ්ඤවිදිය, හෝමාගම වගේ විවිධ තැන්වලට. එක පාරක් මාතර ඉඳන් අඟුණකෙළ`පැලැස්සටම ගියේ ගජමන් නෝනාගෙ වලව්වට සුදුසු ගෙයක් හොයා ගෙන. රෑ වුණාම නවාතැන් ගත්තෙ තංගල්ලෙ. බණ්ඩාරගෙ බිරිඳගෙ ගමත් තංගල්ලෙ තමයි. මේ පිරිස පහුවදා උදේ ගියා නාන්න වැවට. යන්න වෙන්නෙ ඇහැළියගොඩ මහත්මියගෙ මහ ගෙවල් එහෙම පහු කරගෙන. ඒ යන අතරෙ ඔය මහ ගේ ළඟ කේ. බී. එක පාරටම නතර වුණා. 

“මේ තියෙන්නෙ. මේක තමයි ගජමන් වලව්වට හරියටම හරියන්නෙ.”

ඉතින් බණ්ඩාරගෙ නෑ සබඳතාව නිසා ඒ ගේ අරගන්නත් අපහසු වුණේ නැහැ.

ඔය යන එන ගමන් කතා කළේම ගජමන් නෝනගෙ ජීවිතය ගැන. හොයාගත් තොරතුරු ගැන. ටෙලි නාට්‍යයට තේමා ගීයක් ලිවීමේ මුල් හට ගන්නෙ එතැනදි. අධිකාරි ඒ වගකීම බණ්ඩාරටම පැවරුවා.

ගජමන් නෝනා එහෙම නැත්නම් පුංචි කොරනේලියා මාතර වේරගම්පිටදි ශිල්ප ශාස්ත්‍ර හදරාන්න අසල විහාරස්ථානයට ගිහින් තියෙන්නෙ පිරිමි වෙස් අරගෙන. ඒ කාලෙ දැරිවියො වැඩිදුර ඉගෙන ගැනීමේ සිරිතක් තිබුණෙ නැහැනෙ. ඇය මහනුවර මල්වතු විහාරයට ගිහින් කරතොට ධම්මාරාම හිමියන්ගෙන් සිප්සතර හැදෑරුවෙත් අර විදිහටම වෙස් වලාගෙන ගිහින් කියලයි ජනප්‍රවාදවල කියවෙන්නෙ.

තල්පෙපත්තුවෙ මෙරෙංචිගෙයි ගාර්දියෙස් එක්ක දීග යනකොට ඇගෙ වයස අවරුදු 22 යි. ලන්දේසි ලස්කිරිඤ්ඤා හේවායකු වූ ඔහු පසුව ආරච්චි නිලයක් ලැබුව. ඔවුන්ගෙ පළමු දරුව ලැබිල ටික කලකට පසු ගාර්දියෙස් අකාලයේ මිය ගියා. ගජමන් නෝනට කරකියාගන්නට දෙයක් නැතිව දරුවත් එක්ක ආපහු දෙමාපියන් සෙවණටම යන්න වුණා. ඇයට ඇලපාත මුදලිගේ බැල්ම වැටෙන්නෙ ඒ කාලෙ. ඒ දෙන්නගෙ ශෘංගාරාත්මක කවි සංවාද බොහොම ප්‍රකටයි.

කොහොම වුණත් සිය පියාණන්ගේ බලවත් පෙරැත්තය නිසා ගජමන් නෝනට දෙවන විවාහයක් කරගන්නට සිදුවුණා. ඒ, මාතර උයන්වත්තෙ දොන් ගේබ්‍රියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් එක්ක. ඔහු ගජමන් ආරච්චිගෙ මිත්‍රයෙක්. මේ විවාහයෙනුත් ගජමන් නෝනට පුතුන් තිදෙනෙකු ලැබුණා. ඊට අට අවුරුද්දකට පස්සෙ ඇගේ දෙවන සැමියත් මිය යනවා. ඊට පස්සෙත් ඇයට විවාහ යෝජනාවලින් අඩුවක් වුණේ නැහැ. ගජමන් නෝන නෙවෙයි ඒවට අවනත වුණෙ. ඔය අතරෙ ගජමන් ආරච්චිත් අකාලයෙ මිය යන්නෙ අලි පහරදීමකින්. ඒ 1801 අවුරුද්දෙ. ඊට පස්සෙ එක දරුවෙක් පැවිදි බිමට ඇතුළත්ව ඉඳන් හදිසියෙ මිය යනවා. ඇයට අතුරු අන්තරා වලින් අඩුවක් නැහැ.

ටෙලි නාට්‍යයෙ තේමා ගීතය රචනා කරන්න ගත්තම බණ්ඩාර ඇහැළියගොඩට හිතුණෙ ගජමන් නෝනත් නූතන පටාචාරාවකට දෙවැනි නැහැ කියලයි. පටාචාරාවට බුදු හිමියන්වත් පිළිසරණ වුණා. ඇය බුදු සෙවණ ලැබ මහණ වී රහත් පල ලබන්නෙ ඒ නිසා. ගජමන් නෝනට තිබුණෙ කවිය විතරමයි. ඈ අතුරු ආන්තරා සමූහක් මැද හුදෙකලා වෙනව. ඒ නිසාමයි රචකයා මෙහෙම ලිව්වෙ.

“පසුපසින් හඹා එන අතවර
හැර දමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා 
හැඟුම් අවදිව මැවේ කවිකම...”

ගජමන් නෝන බොහෝ විට ලිව්වෙ හතර පද කවි. බණ්ඩාර තේමා ගීය රචනා කරද්දි ඒ කවි ආරට වහල් වුණේ නැහැ. ගීත ආකෘතියකට උචිත රිද්මයක් සහ භාෂාවකුයි ඔහු උපයෝගී කරගත්තෙ. ටෙලි නාට්‍යයේ එක තැනක ගජමන් නෝන ඇලපාතට මෙහෙම කියනව.

“ජීවිතේ අසම්පූර්ණ කවියක් !”

එතකොට බණ්ඩාර ලියන්නෙ මෙහෙම.

“ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්...”


ගජමන් නෝනා ටෙලි නාට්‍යයෙ සංගීත අධ්‍යක්‍ෂවරයා ආචාර්ය රෝහණ වීරසිංහ. ඔහු පිටපත පිළිබඳව පිටපත් රචකයා සහ අධ්‍යක්‍ෂවරයා එක්ක සංවාද වට ගණනාවකට හවුල් වුණා. ඒ වගේම එහි කවි 100කට විතර විවිධ තනු යොදල සංගීතවත් කරන්නත් ඔහුට සිදුවුණා. මේ ඇසුරත් එක්ක බණ්ඩාර ලියූ තේමා ගීයට ඔහු සම්පාදනය කළේ ගජමන් නෝනගේ ජීවිතයෙ කටුකත්වය පිළිබිඹු කරන අතරම ඇගේ පෞරුෂය ප්‍රකාශමාන වන තනුවක්. ඒ ගීයට හඬ මුසුකරන්නට ආචාර්ය නන්දා මාලනිය හැර වෙනත් විකල්පයක්  ඔවුන්ට තිබුණේ නැහැ. ඇගේ ගායනයෙ ගැඹුරත් එක්ක මේ ගීතය ප්‍රබල විදිහට පරිසමාප්ත වුණා.

කොටස් 20 කින් සමන්විත  මේ ටෙලි නාට්‍යයට හැබෑවටම තේමා ගීතය ප්‍රබල ආලෝකයක්.  “ගජමන් නෝනා” ජාතික රූපවාහිනියෙන් විකාශය වුණේ 1999/2000 කාල වකවානුවෙ. ඒ වුණාට ඊළඟ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලෙදි මේ විශිෂ්ට ගීතය වෙනුවෙන් බණ්ඩාරවත්, නන්දා මාලනීවත් සම්මානයට පාත්‍ර වන්නේ නැහැ. නිර්දේශ වෙනව විතරයි. ආචාර්ය රෝහණ වීරසිංහ සමස්ත කෘතියේම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලැබුවා. ගජමන් නෝනගෙ ජීවිතය නිර්මාණාත්මකව සිත්තම් කළ විමලරත්න අධිකාරිට හිමිවෙන්නෙ ප්‍රශස්ත ඇගයීමක් විතරයි.

නමුත් ගීතය වගේම ටෙලි නාට්‍යයත්  ජනතා සිත් සතන් තුළ සම්මානයට පාත්‍ර වුණා.

මේ ගීතය බණ්ඩාර ඇහැළියගොඩගේ ගී ගමන් මගේ සන්ධිස්ථානයක් නිසා ඔහුගේ දශක දෙකක නිර්මාණ ජීවිතය අගයමින් වසර 2000දී පැවති උළෙල නම් කෙරුණේ “ජීවිතය කවියක්” නමින්. එදින ජනගත වූ ඔහුගේ ගී පොත සහ සංයුක්ත තැටිය නම් කෙරුණෙත් එනමින්මයි. ඇත්තටම ජීවිතය කවියක්.

 

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි: 

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ​

හදුනාගත්තොත් ඔබ මා​

සීගිරි ලාලිත ළඳුනේ

ඔබ රූ සිරියෙන්

දේවමන්දිරේ

සිනා පිපෙනා මේ වසන්ත​ය

මංගල නැකතේ



Recommended News