මහින්දානන්ද කිව්වෙ බොරු - 2011 ලෝක කුසලාන පරාජය පිළිබඳ විමර්ශන අත්හිටුවයි

මහින්දානන්ද කිව්වෙ බොරු - 2011 ලෝක කුසලාන පරාජය පිළිබඳ විමර්ශන අත්හිටුවයි

23 September 2021 05:19 pm

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිටුපස මුදලට තරග පාවාදීමක් සිදුව නොමැති බව නීතිපතිවරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතුද අත්හිටුවා තිබේ.

අදාල ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන සමයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් 2019 මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි. ඒ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ දැනුම්දීමකට අනුවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූ බවට සැක කළහැකි බවයි. ඒ සඳහා සාක්ෂි තමන් සතුව තිබෙන බවද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබිණි. අවසන් මහා තරගය සඳහා නම්කළ කණ්ඩායමේ එකවර වෙනස්කම් රැසක් සිදු කිරීමට සැකයට තුඩුදෙන කරුණක් බවත්, කෙසේ වෙතත් මෙම පාවාදීමට ක්‍රීඩකයන් කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවත් ඔහු පවසා තිබිණි.

මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ක්‍රීඩා අමාත්‍යංශයට එල්ල වූ බලපෑම මත විශේෂ පොලිස් කණ්ඩායමකට පරීක්ෂණ යොමු කිරීමට සිදුවිය. මේ සම්බන්ධයෙන් ලෝක කුසලාන කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් වූ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු පිරිසකගෙන්ද පොලීසිය ප්‍රශ්න කර තිබිණි.

කෙසේ නමුත් අවසා‍නයේදී තහවුරු වී තිබෙන්නේ එවැනි කිසිදු පාවාදීමක් සිදුව නොමැති බවයි. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා‍ගේ ප්‍රකාශයට කිසිදු පදනමක් නොමැති බව නීතිපතිවරයා තහවුරු කරනවා.

UN