උරුමයන් මතින් ජොගින් ට්‍රැක් ඉදිකර ඒ මත දිව යන්නේ කුමන දිසාවටද?

උරුමයන් මතින් ජොගින් ට්‍රැක් ඉදිකර ඒ මත දිව යන්නේ කුමන දිසාවටද?

23 September 2021 12:19 pm

අපේ වසර 2500කට වැඩි වූ ඉතිහාසය දෙස බැලීමෙදී අපේ ශිෂ්ටාචාරය ලෝකයේ අනෙක් සියළුම ශිෂ්ටාචාර අතුරෙන් සැකයකින් තොරව,වෙන්කර පෙන්වා දීමට එක් අනන්‍යවු සංකේතයක් ඇත. ඒ සුවිශේෂ වු, තනි සංකේතය වන්නේ අපේ අතීත පරපුර විසින් ගොඩනැගූ දැවන්ත වැව් හා ඒවා එකිනෙකට යා කළ සියුම් හා සංකීර්ණ වූ වාරිමාර්ග ජාලයයි. මෙම සිවිල් ඉංජිනේරුමය ඉදිකිරිම් මගින් ලොවට අදත් ඉතිරි කර ඇති අපේ ජල කළමණාකරන සිද්ධාන්ත හා වාරි ඉංජිනේරු ශිල්ප ඥානය,ලොකයේ පැවති මානව ශිෂ්ටාචාර අතුරෙන් මෙතෙක් සොයා ගෙන ඇති, ඒ හා සම්බන්ධ ඉහළම දැනුම් සම්භාරය බව විද්වතුන් බොහෝ දෙනෙක් විසින් අවිවාදයෙන් පිළිගනු ලබයි. ඒ සඳහා පහත දැක්වෙන් උපුටා ගැනීම් කීපය පමණක් ප්‍රමාණවත් වේ’

 බදුලු උප දිසාපතිව සිටි බේලි -1855

වැස්සෙන් උපන් අපේ ජල ශිෂ්ටාචාරය, ‘ලෝකයේ මොනයම් හෝ පෙදෙසක් තුළ මේ තරම් අතිමහත් වූ වාරිමාර්ග නිර්මාණයන් රැසක නටඹුන් දැකග ගත නොහැකි බව මගේ විශ්වාසයයි''.  ඉංජිනේරු ශිල්පයේ එක් අංශයක් වන භූ මිනුම් ශිල්පය අතින්ද පැරණි සිංහල ජනතාව ඉතා ඉහළ දැනුම් මට්ටමක සිටි බව විවාදකින් තොරව පිළිගත හැකිය. ඔවුන් සිය වාරි මාර්ග පද්ධතියේ බොහෝ නිර්මාණ කර ඇත්තේ ඇසින් බැලූවිට තැනිතලාවන් සේ පෙනෙන් බිම් පෙදෙස් මතය.

එසේ වුවත් මේ තැනිතලාවේ සැතපුම් ගණනක් පුරා දිව යන ඇළ මාර්ගවල ජලය බැස යාමට අවශ්‍යය වන ආනතිය පවත්වා ගැනීම පහසු කරුණක් නොවේ. ඒ සඳහා අතිශය සූක්‍ෂම නවීන උපකරණවල හැකියාවම සහිත උපකරණවල සහය ඔවුනට එහිදී අවශ්‍යය වූ බව පැහැදිලිය. අද භාවිතා වන සෑම සියුම් උපකරණයකටම නොදෙවනි වන ඒවා යොදා ගනිමින් සමෝච්ච රේඛා ඔස්සේ සුදුසුම ස්ථාන තෝරා ගෙන වැව් බැමි ඉදිකිරිීම කර තිබේ.

ආර්.බ්‍රෝහියර් ට අනුව සුවිශේෂ හැකියාව හා කිසිවෙකුට නොදෙවනි වන නිපුනත්වය විශිෂ්ඨය.”‘අප්මිර් ජාතිකයන් විසින් ඉස්පහන් හී ඉදිකළ කොරඩ් හෝ මයිසූර් හී හියිඩර් ජලාශය සුන්දරත්වයෙන් හෝ විශාලත්වයෙන් කිසි ආරකින් කලා වැව හෝ පදවිය වැව සමඟ සැසදිමට නොහැකිය. හැසකියාවල ඇළ මාර්ගවලටත් පර්සියාවේ ඇළ මාර්ගවලටත් පේරුවල උමං ඇළ මාර්ගවලටත් කිසිවිටක අඹන් ගඟේ ජලය මින්නේරිය වැවට හා පරාක්‍රම සමුද්‍රය වෙත ගෙන යාමට තැනවූ ඇළ මාර්ග සමග තරඟ කළ නොහැකිය. දැනට ඉතිරි වී ඇති මහා වැව්වල විශ්මිත නටඹුන් මේ රටේ අතීත ශ්‍රී විභූතිය ආඩම්බරයෙන් ලොවටම පෙන්වා දෙන සිහිවටන වෙයි.”

මේ දැනුම මෙරට භූගෝලී" දේශගුණික" කාලගුණික මෙන්ම පරිසර ස්වාභාවයන්ද නිවැරදිව අවබෝධ කර ගැනීම මත ගොඩනංවා ගත් දෙයකි. ඒනිසා අපේ වාරි තාක්‍ෂණය සෑම විටම පරිසරයට එරෙහි වූවක් නොව, පරිසර ස්වාභාවයන් හඳුනා ගෙන, ඒවා සුරැකෙන ලෙස, තම අවශ්‍යතාවන් සඳහා ඒ පරිසර තත්ත්ව උපරිම ලෙස යොදා ගත් තාක්ෂණයක් බව පැහැදිවම පෙනෙයි. විශේෂයෙන්ම මේ වාරි පද්ධතිය සැකසීමේදි පරිසරය වෙනස් කිරිමට වඩා කර ඇත්තේ, ඒ පරිසර පද්ධතිය ඉටු කාරන කාර්යය මනා ලෙස යොදා ගැනීම සඳහා, ඒ පරිසරය රැක ගැනීම බව පැහැදිලිව පෙනී යයි. ඊ්ට හේතුව වසර දහස් ගණනක් පුරා පැවති අපේ වාරිමාර්ග පද්ධතිය අදත් අපේ පරිසරයට කර ඇති ඍණාත්මක බලපෑම ඉතා අල්ප මට්ටමක තිබීමයි. මෙය බටහිර විද්‍යාත්මක නිර්ණයන්ට  අනුව පහදිමට ඇති හොඳම නිදසුනක් වන්නේ මෙරට කඳුකර යේ කිසිදූ වැවක් ඉදි නොකර තිබිමයි.

කෘෂිකර්මය පවත්වා ගෙන යාමට අවශ්‍යවන ජලය උපරිම වශයෙන් ලබා ගැනීම සඳහා, මෙරට වැස්ස උපරිමව ලබා දීමට අවශ්‍ය වෙයි. ඒවෙනුවෙන් කළ යුතු මුල්ම කාර්යය වන්නේ කඳුකර වනන්තරවලට කිසිම හානියක් නොකර ආරක්ෂා කර තබා ගැනීමයි. එමගින් මෝසම් වැසි උපරිම ආකාරයට පොළවට ඇද ගැනීමේ පාරිසරික ක්‍රියාවලිට හානි නොකිරීමට වගබලා ගෙන තිබේ. මේ කඳුකර වනන්තර නිසා ඇති අනෙක් පාරිසරික ප්‍රයෝජනයන් වන්නෙ පස සෝදා යාම වළක්වාලීම මගින් ඇදී එන රොන් මඩ ප්‍රමාණය අවම කිරිම,ලැබෙන ජලය උල්පත් තුළ රඳවා තබා ගෙන වසර පුරාම ජල ධාරවක් ගංඟාවලට මුදා හැරිම හා ඒවා තුළ වූ සුවිශේෂ ජෛවවිවිධත්වය රැක ගැනීමයි. මේ වනන්තර අපේ කෘෂිකර්මයේ පැවැත්ම වෙනුවෙන් ජාන සංචිතය රැක ගන්නා භාණ්ඩාගාරයද විය.

නිරිත දිග මෝසම් සමයේදී කඳුකරයට වැටෙන වැසි ජලය අවසානයේ මුහුදට ගලා යන්නේ වියළි කලාපය හරහා ගලා යන ප්‍රධාන ගංඟා කීපයක් මගින්ය. මහවැලි ගඟ,මල්වතු ඔය හා වළවේ ගඟ ඒ අතර මුලින් සිටියි. මේ වැසි ජලය වියළි කලාපය හරහා ගලා යන්නේ ඒ ප්‍රදේශයට වැසි රහිත වියළි  කාලය තුළදී ය. ඒනිසා අපේ වාරි කර්මාන්තයේ මූලික ලක්ෂණයක් වුයේ එම ගංඟා හරහා අමුණු බැඳ, ඒ ජලය වියළි  කලාපයේ ඇති වැව්වලට රැස් කර ගැනීමයි. මේ වෙනුවෙන් වියළි  කලාපය පුරා කුඩා, මධ්‍යම සහා විශාල වැව් 30,000ක් පමණ එදා ඉදිකර තිබුණු බව පෙනි යයි. නිරිත දිග පෙදෙසට ලැබෙන වැසි ජලය වියළි කලාපයේ මහ කන්නය සඳහා ලබා ගෙන ඇත්තේ ඒ ආකාරයටය. මහ කන්නය අවසන්වන විට නිරිත දිග මෝසම් සමය අවසන්වි ඇති නිසා ඒ ගංඟාවල ජල මට්ටම පහළ බැස යයි. නමුත් නොවැම්බර් මාසයේදී වියළි කලාපයට ඊසාන දිග මෝසම් සමය ඇරඹෙන අතර එය කෙටි කාලයක් පැවතුනත් ඉතා අධික ජල ප්‍රමාණයක් රැගෙන එන වැසි සමයකි. එම අධික ජල ප්‍රමාණය උපරිම ආකාරයෙන් රැස් කර ගැනීමට වියළි  කලාපය පුරා ඇති ලොකු කුඩා වැව් ප්‍රමාණය සමත් වෙයි. ඒ ජලය යල කන්නයේ වගාව සඳහා ජල අවශ්‍යයතාවය සපුරාලයි.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ සෑම වැවක්ම ජලයෙන් පිරි ගිය විට, එහි පිටවානෙන් උතුරා යන ජලය තවත් ඇළ මාර්ගයක් දිගේ වෙනත් වැවක් කරා ගෙන යාමයි.

මේනිසා අපේ පුරාණ රජරට වාරිමාර්ග පද්දතිය දෙස බැලීමේදී පෙනී යන්නේ මහවැලි ගඟේ ජලය විවිධ තැන්වලදී අමුණු මගින් හරවා, වැව්වලට පුරවා ගත් පසු තවත් වැඩි ජලයක් ඇත්නම් අවසානයේදි නැවත මහවැලි ගඟටම යොමුකරන ආකාරයයි. අනෙක් අතරට අඹන් ගඟේ ජලය අමුණු මගින් හැරවිම මගින් දඹුළු ඔය හා මල්වතු ඔය හරහා වයඹ පිහිටි යෝධ වැව කරා ගෙනයාමට මේ අතිශය සංකීර්ණ වාරිමාර්ග ජාලය සමත් වී ඇත. මේනිසා නිරිත දිග මෝසමෙන් ලැබෙන ජලය මෙරට අර්ධ ගූෂ්ක ප්‍රදේශයක් වන මන්නාරම් ප්‍රදේශය කර ගෙන යාමට තරම් අපේ වාරි ශිල්පීන්ගේ දැනුම ඉහළ මට්ටමක තිබුණු බව පැහැදිලි වෙයි. එය අපේ මුතුන් මිත්තන්ගේ ජල කළමණාකරන හැකියාව ලොවටම පෙන්වා දෙන ඉහළම නිදසුනකි.

අපේ පැරණි වාරිමාර්ග තාක්‍ෂණය දෙස බැලීමේදී ඊට පදනම් වූ ජල කළමණාකරණ සිද්ධාන්තය ඉතා පැහැදිලිව පෙනී යයි. එය වෙන කිසිවක් නොව මහා පරාක්‍රම බාහු රජුගේ ප්‍රකාශයක් ලෙස ඉතිහාස ගත වී ඇති යන්නයි. වැස්ස ලෙස අහසින් ලැබෙන මිරිදිය ලෝකයේ අතිශය දුලබ සම්පතක් වුවත් එය අපට ඉතා විශාල වශයෙන් ලැබෙන ස්වාභාවිකව සම්පතකි. නමුත් ඒ ජලය අපට ප්‍රයෝජනයට ගතහැකි වන්නේ පොළව මතින් ගලා ගොස්, ආපසු මුහුදට එක් විමට පෙර කාලය තුළ දී පමණය. ඒනිසා ලැබෙන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම්, අපේ ජල කළමණාකරන න්‍යාය,අහසින් වැටෙන හැම දිය බිඳක්ම ප්‍රයෝජනයක් ගෙන මිස, මුහුදට ගලා යාමට ඉඩ නොදියඑය මුහුදට ගලා යාමට පෙර හැකිතාක් ගොඩබිම මතම රඳවා ගත යුතු වේ.

මිරිදියේ ඇති දුලබ බව මෙන්ම එහි වටිනාකමත් අපේ මුතුන් මිත්තන් විසින් විද්‍යාත්මකව අවබෝධ කරගෙන තිබූ අයුරු ලෝකයටම පෙන්වා දීමට ඊටත් වඩා හොඳ විද්‍යත්මක පැහැදිලි කිරිමක් ඇත්ද? වැසි ජලය හැකිතාක් ගොඩබිම රඳවා ගැනීමේ කාර්යය ඉටු කර දෙන්නේ ඇළ දොළ, ගංඟා,වගරු බිම්, පිටාර බිම්,විල්ලු වැනි තෙත්බිම් මගින්ය. මේ ස්වභාවික තෙත්බිම්වලට අමතරව පසු කාලයේදි මෙරට ජනතාව විසින් වැව්, පොකුණු හා කුඹුරු වැනි තෙත්බිම්ද විශාල ප්‍රමාණයක් ඉදි කරනු ලැබීය තෙත්බිම් අර්ථ දැක්වීමට අනුව මිනිසා විසින් ගොඩනගන ලද වැව්, වාරිමාර්ග පද්ධති මෙන්ම කුඹුරුද අයත් වන්නේත් තෙත්බිම්වලටය. ලංකාවේ අභන්තර මිරිදිය තෙත් බිම් වලින් 95 %ක්ම මින්සුන් විසින් නිර්මාණය කළ ඒවා වන අතර ඉන් අති බහුතරය වැව් හා කුඹුරුය.

මේ තෙත්බිම්වල රඳවා ගන්නා ජලය අවශ්‍යය සෑම තැනකටම බෙදා දීමට ඔවුන් විසින් ගොඩනගන ලද ඒ සුවිශේෂ වාරිමාර්ග ජාලයට හැකි විය. ඒ ඇළ මාර්ග ජාලය මගින් ජලය ගමන් කිරිමේදී ජලය පොළවට උරා ගැනීම නිසා, විශාල වියළි බිම් ප්‍රදේශයක් තුළ භූගත ජල මට්ට ඉහළ නැංවිමටද හැකි විය. මේ ජල විද්‍යාත්මක හා පාරිසරික දැනුම එක් කිරිම මගින් වියළි බිමක් මත සාරවත් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක්  ගොඩනැගීමට මෙන්ම, වියළි  බිමක ඉහළ ජෛව විවිධත්වයක් පවත්වා ගෙන යාමටත් අපේ මුතුන් මිත්තන් සමත් වූහ. මේ සුවිශේෂ වූත් විශිෂ්ට වූත් දස්කම කිරිමට හේතුව මේ මෙරට ස්වාභාවික තත්ත්වය මෙන්ම සොබාදහමේ ක්‍රියාවලිය ගැන ඔවුන් මැනවින් අවබෝධ කර ගෙන සිටීමයි.

අපේ කෘෂිකාර්මික  සභ්‍යත්වය ගොඩනැංවීමේදි ප්‍රමුඛ ශාකය වුයේ ගොයම් ගසයි. ගොයම් ගස අර්ධ ජලජ ශාකයකි. අපි බඩ ඉරිගු හෝ බජිරි වැනි වෙනත් ධ්‍යාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නා කෘෂිකාර්මික සමාජයක් නොවී, බත් කන ජාතියක් බවට පත් වුයේද ගොයම් වගා කිරීමට තරම් විශාල ජල ප්‍රමාණයක් ලබා ගැනීමට හා ඒ ජල ප්‍රමාණය රැස්කර තබා ගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට දක්ෂ වීම නිසයි. ඒසඳහා මුල් වුණේ  සොබාදහම පිළිබඳ විද්‍යාත්මක දැනුම පදනම් කර ගත් නිවැරදි විද්‍යාත්ම ජල කරමණාකරනයයි.

ඒ අනව අපේ වාරිමාර්ග ඊංජිනේරු තාක්‍ෂණය සඳහා පදනම් වු ජල කළමණාකරන සිද්ධාන්ත වූයේ

 1. ලැබෙන වැසි ප්‍රමාණය උපරිමව ලබා ගැනීම සඳහා කඳුකර වනාන්තර රැක ගැනීම.

2. ඒ වැසි ජලය වියළි  කලාපය තුළ උපරිමව රඳවා ගැනීමට අති විශාල වැව් ප්‍රමාණයක් ඉදි කිරිම සහ එකිනෙක බැඳුනු ඇළ මාර්ග පද්ධතියක් මගින් ඒ ජලය සෑම වැවකටම බෙදා දීීම. එමගින් එකම ජලය කීප වරක් භාවිතා කිරිම.

3. මෙම වැව් හා ඇළ මර්ග පද්ධතිය මගින් වියළි කලාපයේ භූගත ජල මට්ටම ඉහළනැංවීම සිදුකර, එය සජීවී කෘෂිකාර්මික පරිසර පද්ධතියක් බවට පත් කිරිමයි. මේ ක්‍රමයේ තිබූ විද්‍යාත්මක බව නිසා අපේ මුතුන් මිත්තන්ට ස්වාභාවික වැස්ස අඩුවිම නිසා, අර්ධ ශූෂ්ක බවට පත්වූ මන්නාරම හා යාල වැනි ප්‍රදේශ පවා කෘෂීකාර්මික ප්‍රදේශ බවට පත් කිරිමට හැකි වූහ.

මේ බව අද වනවිට පුරන් වී ගෙස් ඇති යාල මහ වෙල්යාය හා ඒ ප්‍රදේශයේ ඇති අත්හැර දැමූ විශාල වැව් සංඛ්‍යාව සාක්ෂි දරයි. එසේම මන්නාරමේ පිහිටි යෝධ වැව ඊට ඇති අනෙක් සාක්ෂියයි. එදා ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරිමට පමණක් නොව, පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබිමට හේතු වුණේ සොබාදහම ගැන වූ දැනුම මත පදනම්වුණු මේ සුවිශේෂ ජල කළමාණාකරනයයි.

මේ සියලු ජල පාංශු  පරිසර පද්ධති කළමණාකරණයන් පසේක තබා වැව ජොගින් ට්‍රැක්  ඉදිකිරීමට යොදා  ගැනීමට වඩා මෙම වැව් වල  සුවිශේෂි තත්ත්වය හදුනා ගෙන  පුරාණ වාරි පද්ධතිය ලෝකයටම ප්‍රයේජනවත් අයුරුන් භාවිතා කිරීම ජනතාවට මෙන්ම මහපොළවටත් වඩා ප්‍රයේජනවත් හා ආර්ථික වශයෙන්ද වාසිදායක බව පෙනේ.

ලොකෙයේ බොහෝ ජාතීන් තමන්ගේ උරුමයන් ආරක්ෂා කර එය ලොවට පෙන්වා ආර්ථික වාසි ලබති. එය ඔවුන්ගේ අනන්‍යතාවයක්  ලෙස ලොව ඉදිරියේ තබති . අප ලොව ඉදිරියේ තබා ඇති අනන්‍යතාවය දින දින වනසති. ලංකාවේ එල්ලාංගා පද්ධති ලෝක උරුමයක් බවට පත්ව ඇත. එය යුනෙස්කො ලෝක උරුම කාර්යාලය මගින් ද විටෙක සනාථ කර ඇත.  අප මේ උරුමයන් මතින් ජොගින් ට්‍රැක්  ඉදිකර ඒ මත දිව යන්නේ කුමන දිසාවටද?

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්