බොන්න එපා කිව්වට නොබී ඉඳීද ?

බොන්න එපා කිව්වට නොබී ඉඳීද ?

22 September 2021 11:30 pm

මාසයක් පමණ තැබෑරුම් වහල තිබ්බට වැඩක් වුනාද ? ඇරිය ගමන් මීටරේ දුරවත් නැතිව ඔය ආවේ කට්ටිය ? එහෙනම් මේ මිනිස්සු බොන එකට මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනා. ලැබුණු රුපියල් පන්දාහෙන් බීලා, පාන් ගෙඩිය ණයට ගන්නා අය ඉන්නවා. මේකට හේතුව කුමක්ද ?

“බොනවා” යන්න වීරත්වයක්, එහෙම නැත්නම් වෙන වචනයකින් කීවොත් “පොරත්වයක්” කරගෙනද අපේ මිනිස්සු? සමහරවිට වෙන්න පුළුවන්. …“වැඩියෙන් බොන එකා වැඩ්ඩා” වගේ අදහසක් නැතිවා නොවේ. අපේ බොහෝ දෙනෙක්ට ඕනා වෙන්නේ බෝතලේ අඩිය දකින්නයි. නමුත් එහි ඇති තේරුම කුමක්ද ?

ලංකාවේ අය පමණක් නොවේනේ බොන්නේ… උදාහරණයකට යුරෝපයේ මිනිස්සු, ජපානයේ මිනිස්සු බොනවා. එහෙත් ඒ බීම සමාජ සම්බන්දතා ඇති කරගන්න කරන දෙයක් මිසෙක කලාතුරකින් තමා ඒ අය තනියම බෝතල් හිස් කරන්නේ. එංගලන්තයේ හෙම, ඔෆිස් ඇරුණු ගමන් බොහෝ අය විනාඩියක් ප්‍රමාද නොවී , ‘පබ්ස්’ වලට යනවා. එහෙත් ඒ අය කතා කරමින් සමහරවිට බොන්නේ හුදෙක් බියර් වීදුරුවක්, වැඩිම වුනොත් බියර් බෝතලයක් පමණ ප්‍රමාණයක් බොන්නේ.

දන්නවා නම්, අඳුනන සුද්දෙක්ට අරක්කු ෂොට් එකක් දෙන්න… “යකෝ තොපි බොන්නේ ගිණි වතුර !! කියාවි. පලවන එකෙන් පස්සේ දෙවන ෂොට් එක ගහන්නේ එහෙමත් එකෙක්… හැබැයි අපි ඒ බෝතලේම අඩිය බලනවා. කෝ එතන ඇති ජොලිය ? ඊළඟට බයිට් කන එතෙන්ට ආපු කකුල් හතරේ බල්ලටත් “මචං” කියනවා.  දැන් ඔය ඒ ආකාරයට බොන අයට හොඳ උපදේශයක් දෙන්නම්.

එක :- අරක්කු ෂොට් එකක් කටේ හලාගන්න. 
දෙක :- තව එකක් ගහන්න.
තුන :- බල්ලා දෙස බලන්න. බල්ලාට “මචං” කියා කියන්න හිතෙනවාද කියා බලා,… “චැහ්, මේ  බලු නකුටට මචං කියන්නේ කොහොමද කියා හිතෙනවා නම්,…  තව ෂොට් එකක් ගන්න.
හතර :-   දැන් බල්ලට “මචං” කියන්න නොකියන්න හිතෙන ලෙවල් එකට ආවාම බීම නවත්වන්න.
පහ:- බෝතලේ අඩිය බලන්න යන්න එපා. එතකොට ඒකෙ ඇති ආතල් එකක් නැහැ…!

මට මේක කියන්න අයිතියක් තියෙනවා. කලකට පෙර මාත් බිව්වා – හැම බල්ලාම පෙනුනේ මචංලා වගේ.  

රට ඇරිය ගමන්, තැබෑරුම් ඇරිය ගමන් මේ තරම් මිනිස්සු ප්‍රමාණයක් ඒවායේ එක් රොක් වන්නේ, හරියට බෝතල් දැකලා නැතිවා වගේ. නමුත් ඔය වැඩේ වෙන රටවල්වල – සාමාන්‍යයෙන් අරාබි රටවල් නොවේ – නොවෙන්න එක ප්‍රධාන හේතුවක් තියෙනවා. එනම් බෝතලයක් ගන්න තැබෑරුමකට යන්නම ඕනා නැති නිසා. ඒකත් හරියට අඩ නිරුවත් ගැහැණියක් වගේ. බාගෙට ඇඳුම් ඇන්දාම ආකර්ෂණය වැඩියි.

මේ “රශ් එක” අඩු කරන්න නම් කල හැකි එක දෙයක් වන්නේ ප්‍රධාන සුපර් මාර්කට් වගේ ඒවායේ මධ්‍යසාර බහුලව මිළදී ගැනීමේ ඉඩ ප්‍රස්ථා තැබීමයි.  

සමහර අරාබි රටවල් වල මධ්‍යසාර තහනම්. ඒත් ඒවා නැති තැනක් නැහැ. උදාහරණය තද නීති රීති ඇති ඉරානය… තව වැදගත් තොරතුරක් කියන්න පුළුවන්, එක්සත් එමීර් රාජ්‍යයේ “උමල්කුවෙන්“ ප්‍රාන්තය. කලකට පෙර ඉතා තද නීති තිබුණු, මධ්‍යසාර තහනම් ඒ ප්‍රාන්තයේ, හිටි හැටියේම මධ්‍යසාර විකිණීම ආරම්භ කළා. ඒ කාලේ මා සිටියේ එහෙ. ඔබ විශ්වාස නොකරන දෙයක් මා ඇස් දෙකෙන් එහිදී දැකලා තියෙනවා.

සිරිත් පරිදි සති අන්ත සාජ්ජය ආරම්භ කරන්නට පෙර බෝතල් ගෙනියන්න අපි එහෙ යනවා. ඒ මෙම මධ්‍යසාර විකිණීමේ නීතිය උමල්ක්වේන් වලට පැමිණි අලුත. බාර් එක තිබුණු පාරේ කිලෝ මීටරයක් පමණ මඟ දිගට බීලා මිනිස්සු වැටිලා. හරියට සීණි බෝතලේ ගාව ඇඹලයෝ වගේ. ඔබ හිතන්නේ ඒ පිටරටෙන් ගිය විදේශිකයෝ කියාද ? මොන පිස්සුද..? ඔක්කොම අරාබි. පළවන වතාවට බීලා, සයිම කට් වෙලා.

එහෙම වුනේ මධ්‍යසාර අලුත් දෙයක්, එසේ නැතහොත් ලබා ගන්න අපහසු දෙයක් යයි ඒ මිනිසුන් විශ්වාස කල නිසා. මේ තත්වය කෙමෙන් කෙමෙන් අවම වෙලා, අද දින එහෙම දකින්න අපහසුයි. අරාබිත් බාර් වලට ඇවිල්ලා පිළිවෙලකට බෝතල් අරගෙන යනවා. දැන් නීතිත් නැතිවාම නොවේ. ඒ නිසා බාර් වලට එනවිට අරාබි ලෝගුව නැතිව එනවා. නීතිත් දශක දෙකකට පෙර තිබුනාට වඩා බොහෝ මෘදුයි. යුරෝපීය රටවල්වල බියර් බෝතල් හෝ වෙනත් මධ්‍යසාරයක් ගන්න, සාමාන්‍ය කඩයකින් පුළුවන්.

ඒ නිසා එහි ඇති අරුමයක් ඒ මිනිසුන්ට නැහැ.        

දැන් මේක කිව්වාම බෞද්ධ අය රෙදි උස්සාගෙන එන්න එපා. රට ඉවරයි- බෝතල් ඕපන් විකුණුවොත් කියාවි. හොඳයි දැන් රට ඉවර නැද්ද? බේබද්දෝ නැද්ද ? යතාර්ථය කිව්වේ. ඕක ඔය තරම් අරුමයක් වී ඇත්තේ, ලයිෂන් බාර් ඇති අයට මුදල් යන ආකාරයට ඒ මධ්‍යසාර ඒ අය හරහා පමණක් විකුණන ක්‍රමයක් හදාගෙන ඇති නිසා. මිනිස්සු ලොකුවට එක් රැස් වෙන්නේ ඒ අරක්කු නිසාම නොවේ. ඒවා ලෙහෙසියෙන් ගන්න බැරි නිසා. එය ලොකු බිබික්කමක් වගේ පෙනෙන නිසා.    

දැන් බේබදු කමෙන් ගැලවෙන්න නම් මොකෝ වෙන්න ඕනා? ඇයි බොන්නේ ? යන ප්‍රශ්ණයට උත්තරය සමඟ ඊට අදාළ උත්තරය ඉබේම ලැබෙනවා. බොන්නේ විනෝදයට කියා කෙනෙක් කියාවි. එහෙත් එහෙම අයට විනෝද වෙන්න පටු සීමාවක් පමණයි තියෙන්නේ යන්න අවබෝධ කරගන්න වෙනවා. වෙන වෙන විනෝදාංශ වලට යොමුවීම, බීමෙන් ඉවත් වෙන්න එක ක්‍රමයක් වේවි. 

කොරෝන ඉවර වෙච්ච වෙලාවක යන්න වැල්ලවත්තට දරුවෝ ගෑණි එක්ක …. ගෝල් ෆේස් එකට…. ගන්න කඩල ගොට්ටක්… පොඩි උන්ට සරුංගලයක් අරන් දෙන්න… අන්න ඒකයි ජීවිතය… ! …බෝතලේ ජීවිතයක් කොහිද ? …ජීවිතය කෙටියි – එය සතුටෙන්, වගකීමෙන් යුතුව විඳවන්න බලමු…. 

ඕනෑම ප්‍රශ්නයකට අවශ්‍ය උත්තරයෙන් භාගයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. එනම්, ඒ ප්‍රශ්ණය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන්.  හා, බොරුද?

මේක මේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බීමත් කමෙන් හෙවත් බේබදු කමෙන් ඉවත් කල හැකි දෙයක් නොවේ. අවබෝධයෙන් තමන්ම ඉන් ඉවත් වීමයි කල යුත්තේ. එසේ නැත්නම් මෙච්චර බණ ඇහෙන රටේ, බේබදුකම නැති වුනාද ?

බලාත්කාර කමෙන්, එහෙම නැත්නම් බොන මිනිස්සුන්ගේ මානසික ස්වභාවය අමතක කරලා කතා කරලා බේබදු කම නැති කරන්න බැහැ. හැබැයි බොන එකේ කිසි තේරුමක් නැහැ කියා කෙනෙක්ට අවබෝධ වෙන්න ඉබේම ඉඩ අරින්න ඕනා.

එවිට ඕක, ඔය කියන තරම් ලොකු ලබ්බක් නෙවේ කියා පෙනෙන වෙලාවක, මිනිස්සු මීට වඩා ස්වයං පාලනයකට ඒවි. 

ජ්‍යෝෆ්‍රී බේකන්