’’ඔබට උදව් කිරීමට වචන මග බලා හිඳී’’

’’ඔබට උදව් කිරීමට වචන මග බලා හිඳී’’

21 September 2021 01:06 pm

ගල් ලෙන්, නිධන් සොයා ගිය පිරිමි ළමුන් සහිත කතාවල සිට, වැඩිහිටියන් තමන් තනන රාමුවෙන් එපිටට යාමට පවුල තුළ ම කැරළි ගසන ගැහැනු ළමුන් සහිත කතා දක්වා, යොවුන් නවකතා වස්තු විශය, ක්‍රියා විකාශනය, අරමුණු අතින් ඉදිරි පිමි කිහිපයක් පැන තිබේ. වනය - ගහකොළ - සතුන් යොවුන් මනසට ප්‍රිය වෙතත්, ඊට ඔවුන් අත්විඳින සැබෑ ගැටලු සඟවන්නට ඉඩ නොදෙන කතා ද වෙයි.

යොවුන් නවකතා කෘති බහුතරයක ගම පදනම් කරගෙන හෝ අර්ධ නාගරික පසුබිමක දිවිගෙවන ළමුන් දක්නට ලැබෙයි. 'ගම' පොත්පත් මගින් පොවා ෆැන්ටසිගත කළ ආකාරයේ යුතෝපියාවක් නොව, අතිශය සාමාන්‍ය මිනිස් පැවැත්මක් සහිත තත්ත්වයක්ය යන්න, අවබෝධයට ගත යුතු කරුණකි. එබැවිනි, "අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ" කී සේකර ම, "ගම සංකර ගැහැනියක්‍ ය" යි සඳහන් කරනුයේ.

ගම - නගරය මේවා, පරමාදර්ශ ලෙස නොගෙන, කළු-සුදු ලෙසින් නොව අලු ලෙසින් චරිත ගෙන එන රචකයෝ ද වෙති. එතැනදී ලොව ඇති පිරිපුන්, හොඳ ම නොව නරක,  අවධානම්,  පරිස්සම් වියයුතු දෑ සහිත ලොව ද විධාරණය කළ හැකිය. කෙසේවෙතත්, යොවුන් පාඨකයා ඉලක්ක කරගැනීමේ දී, මේවා ඔවුන්ට සෘජුවම පෙවීමට යාම, කතා රසයට හානි වී, චරිතවල සිතැඟි නොව කතුවර මතය නෙරා ඒමක් විය හැකි නිසා, එය සූක්ෂමව පරිකල්පනයෙන් කළයුත්තකි. එසේ නැතහොත්, ළමා පාඨකයාට කතා රසය හෝ යම්බදු දැනුමක් ලබාදීම මුල් කරගනිමින් කතාව රචනා වන අවස්ථා ද වෙයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල "අපොයියාව" කෘතියේදී අනුගමනය කරන්නේ, ඒ දෙවනි ක්‍රමයයි.

"සෙංකොට්ටන්" සහ "මාණික්කාවත" යන නවකතාවලදී සාම්ප්‍රදායික අර්ථ ක්‍රම, ජීවන පැවැත්ම සහ ඒ හා අනුබද්ධ හර පක්ෂයට වැඩි අවධානයක් යොදමින් රචනා ක්‍රමයට එළඹි කතුවරයා "අපොයියාව" ද ඒ අනුව ගෙන යයි. මෙහිදී, ප්‍රහේලිකාවක් ඇසුරින්, පාඨකයා නොදන්නා දෑ ගෙන එන කුඩා ඩිස්කවරි චැනලයක්  නොඑසේ නම්, ග්‍රන්ථයකට කළ කෙටි පරි කතාවක් මෙන්,  අපොයියාව ක්‍රියා කරයි. ප්‍රහේලිකාවෙන් එළියට එන යම් වචනයක් වේද,
එහි අර්ථය, ඒ හා බැඳුණු කතා, කවි ආදියෙන්, සරල, අත්‍යවශ්‍ය දෑ කිරිඅම්මාගේ මාර්ගයෙන් ඉදිරිපත් කරයි.  සේකරගේ "තුංමංහංදිය" කතාවේ මාමා මෙන්, ළමයාට කිරිඅම්මා බලපානු පෙනේ.

මේ කිරි අම්මා, අපට ගාෂියා මාකේස්ට කතන්දර කියා දුන් අත්තම්මා දක්වා විහිද යන්නකි. කුඩාවියේ පටන් ආත්තම්මලා කතාන්දරවල උල්පත වීය. මේ කතා, ජාතක කතාවල සිට ඕපාදූප දක්වා පවා විකාශනය වුවද, අප රුචිකරන්නේ ඇය නියෝජනය කළ වැඩිහිටි, සෙනෙහෙවන්ත, කතා මංජුසාවක් බඳු භූමිකාවටය. එය, රුසියානු කතාවල බබායිගා මන්තරකාරිය, බයානක අයෙකු ලෙස පෙනුන ද, කුකුලු අඬු නිවසට එන කුඩා ළමුන්ට ඇය මාර්ගය සෙවීමට, අරමුණ වෙත යාමට උපකාරී වන්නාක් මෙනි. බාබායිගාගේ කාරුණික ස්වරූපයේ දී අලංකාර හිස කෙස් ද කාරුණික මුහුණක් ද වියපත්  විවාහක කාන්තාවන් පළඳින ආකාරයේ සාම්ප‍්‍රදායික හිස් වැස්මක් ද සහිත සාමාන්‍ය වයසක ගොවි ලියක ලෙසින් හඳුන්වා දී තිබේ. කෙසේ හෝ මේ කිරිඅම්මාගේ, අත්තම්මාගේ, ආච්චිගේ භූමිකාව, එක්තරා ආකාරයක 'ගෝඩ් මදර්'  නැතහොත් 'ෆෙයරි මදර්' ආකාරය දරන්නකි. යොවුන් නවකතාවල ප්‍රධාන ළමයා හෝ ළමයි තනි නොකර, බොහෝවිට ඔවුන් සමීපයේ වැඩිහිටියෙකු ස්ථානගත කිරීම ද අවධානයට ලක්වන කරුණකි.

පාඨකයාට පොත කියවීමට පෙර ප්‍රහේලිකාව පිරවීමට හැකිය. පසුව පිළිතුරු නිවැරදිදැයි කතාව කියවා බලා සොයා ගත හැකිය. එබැවින්, කතාව කියවන්නාට අමතර විනෝදයක්, ක්‍රියාකාරකමක් ලෙස ප්‍රහේලිකාව දැක්වේ. සීමිත චරිත කිහිපයක් ඔස්සේ ගෙන යන කතාවෙන් කුටුම්භයක පැවැත්ම ද ප්‍රකාශ වේ. සංවාදවලට මුල් තැන දී ඇති අතර, සෑම පරිච්ඡේදයකින් ම ප්‍රහේලිකාවේ වචනය බැගින් සම්පූර්ණ වී කතාව අවසන් වේ.

"ඔබට උදව් කිරීමට වචන මග බලා හිඳී" යනුවෙන් අපොයියාවේ අවසානයට කතුවරයා යොදන වැකිය, පාවුලෝ කොයියෝ "සන්තියාගෝ නම් සරන්නා" හි සඳහන් කරන,'ඔබට යමක් ලබාගැනීමට අත්‍යන්තයෙන්ම අවශ්‍යතාවක් තිබේනම්, ඒ සඳහා උදවු කිරීමට මුළුමහත් විශ්වයම සූදානම්ව සිටී...' නම් වැකිය ද, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ලියූ "එක ළඟට දෙක නෙවෙයි" යොවුන් නවකතාවේ, ‘සමහර අකුරු දේවදූතයො වගේ අපට හරි පාර පෙන්නනවා. සමහර අකුරු රාක්ෂයො වෙලා අපව ගිල ගන්නවා...’ යන්න ද සිහි කැඳවීය. ඒවායේ තානය, පද, අර්ථ යම් සමීප බවක් දරනා බැවිනි.

ඩිල්ශානි චතුරිකා දාබරේ