අනිත් රටවල් එන්නත් ගහන්නෙ ජනතාව ‍බේරගන්න - අපේ රටේ එන්නත් ගහන්නෙ ආණ්ඩුව බේරගන්න !

අනිත් රටවල් එන්නත් ගහන්නෙ ජනතාව ‍බේරගන්න - අපේ රටේ එන්නත් ගහන්නෙ ආණ්ඩුව බේරගන්න !

20 September 2021 01:00 pm

ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ කවුද, රට පාලනය කරන්නේ කවුද යන්න කවුරුත් නොදන්නා බවත්, විපක්ෂය ජනතාව තබා ආණ්ඩුවේ සිටින පුද්ගලයන්ද එය නොදන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මත්පැන් හල් විවෘත කර දින කිහිපයක් ගත වී ඇති නමුත් එම තීන්දුව ගත්තේ කවුද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මත්පැන්හල් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා නොදුන් බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමතිවරුන් පවා මත්පැන් හල් විවෘත කිරීමේ තීන්දුව පිළිබඳව නොදැන සිටීම පුදුම සහගත බවයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ගෙන්වීම දිගින් දිගටම ප්‍රමාද කළ ආණ්ඩුව, නොවැම්බර් මාසයේදී එන්නත්කරණය අවසන් කර විශාල උත්සවයක් පැවැත්වීමට සූදානමින් සිටින බවද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. වෙනත් රටවල්වල පාලකයන් ජනතාව ‍බේරා ගැනීම සඳහා එන්නත්කරණය ක්‍රියාත්මක කළද මෙරට තුළ එන්නත්කරණය ක්‍රියාත්මක වූයේ ජනතාව බේරා ගැනීමට නොව ආණ්ඩුව බේරා ගැනීමට බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

UN