වේදිකා නාට්‍යයක රස භාව පණ පිහිටුවා මවන ’නාට්‍ය රසය’

වේදිකා නාට්‍යයක රස භාව පණ පිහිටුවා මවන ’නාට්‍ය රසය’

27 July 2021 02:34 pm

ඇතැම් කෘතියක් කියවන්නට ගෙන, තරමක් මදක් තැන් ගිය පසුව, එය කියැවීමට ලැබීමේ උන්මාදයෙන් ප්‍රහර්ෂයට පත්ව කෘතිය අරබයා යමක් ලියන්නට ම සිත කැස කවයි නම්, එහි අපූර්ව යමක් තිබිය යුතුයැයි සිතේ. සරත් විජේසූරිය විරචිත 'නාට්‍ය රසය' පූර්ණ වශයෙන් කියවා අවසන් නැතත්, කියැවූ තරමින් වුවද, මෙහි වෙසෙන කියවන්නන්ට 'වහා ගෙන බලන්න වටනේය' යන පෙළඹවීම කරනු සඳහා, අල්ප මාත්‍ර වූ වදනක් හෝ ලියන්නැයි සිත වහ වහා මොර දෙයි. මෙය ලියන්නේ එබැවිනි.

සාහිත්‍ය කලා ශානර සම්බන්ධයෙන් ලියැවෙන බොහෝ න්‍යායික රචනා, අප වැනි දුහුනන්ට නීරස වෙයි. දත්ත පද්ධති විනා එහි රසවින්දනයක් නොවෙයි. බස වුවත් සුරස නොවෙයි. එවැනි කෘති ගළපා ඇති පිළිවෙළ, පරිච්ඡේද බෙදීම්, සමස්ත නිමාවේ තේමාව- අරමුණ හා සමපාත වීම ආදිය වුව සාම්ප්‍රදායික කෘතියකින් වෙනස් නොවෙයි. ඒවා එසේ වුවත්, මෙය එසේ නොවෙයි.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු කලක පටන් යෙදෙන, නාට්‍ය නරඹා රසවිඳ ජීරණය කරගත් රස භාව ඇති පරිපාකයට පත් අප රචකයා, ඒ සම්බන්ධයෙන් සිය අත්දැකීම් ගෙන එන්නේ, පාඨක නිල හඳුනාගනිමිනි. ජී.බී.සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර ඈ ලේඛකයන්ගේ වියත් බසට අනුකූල කතුවර බස මෙහි ප්‍රාණය රඳවා ගන්නා අතර, ස්වකීය නිර්මාණාත්මක රචනා ක්‍රම යොදාගනිමින්, ව්‍යංජනයට අඩුවැඩිය සලසයි.

සරච්චන්ද්‍ර ප්‍රමුඛ නාට්‍ය කලාවේ සැලකිය යුතු භූමිකාවක් රඟ දැක්වූ, නාට්‍ය රචකයන්, නිෂ්පාදකයන්, නළු නිළියන් පිළිබඳ තතු ද, ඔවුන් හා කළ සංවාද ද, ඇවැසි නාට්‍ය පිටපත්වල උපුටන ද, යමක් කියන ලියන කල ඒ හා සිහිවන සෙසු කවි, නාටක, නවකතා ඇතුළු සිය අතීත ස්මරණ ආදිය සහිත මෙම කෘතිය කතුවරයාගේ දේශනයකට සහභාගී වූවාක් බඳු සජීවී අත්දැකීමක් අපට ලබාදෙන්නකි.

මෙම කෘතියෙන් ගෙන එන ඇතැම් මත යළි විමසුම් කටයුතුව හා යාවත්කාලීන විය යුතුව ඇතැයි ද හැඟුනෙන්, ඒ පිළිබඳව සමස්ත කෘතිය ම කියවා ප්‍රාමාණික සටහනක් ඉදිරියේදී අප අතින් ලියවෙනු ඇත.

'නාට්‍ය රසය' න්‍යායාත්මක ග්‍රන්ථයක් නොවුණ ද ශාස්ත්‍රීය කෘතියක් නව වේශයකින් ඉදිරිපත් කිරීමක් වැන්න. නාට්‍ය නරඹන, රස විඳින, උගන්නා, උගන්වන සියලු පර්ශද මෙය කියවා බැලුවාට පාඩුවක් නැත. කොරෝනා වයිරසය හේතුවෙන් වේදිකා නාට්‍ය නැරඹීමට හැකියාව නැතිව ඉස්පාසුවෙන් සිටින ප්‍රේක්ෂකයාට, නාට්‍යයක් නැරඹීමෙන් ලබන ප්‍රහර්ෂය 'නාට්‍ය රසය' කෘතියෙන් ලැබෙනු ඇත.

ශාස්ත්‍රීයව, රසවත්ව, හරවත්ව ලිවීමටත්, ඒවා  සිය බසෙහි හා හඬෙහි තානයෙන් අසන්නාටත් කියවන්නාටත් පෙරීමට දන්නා කතුවරයා මෙතැනින් නොනැවතිය යුතු බව අපගේ අදහසයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ