සමේ වර්ණයට බලපාන්නේ පින් පවු ද ? වාසනාව අවාසනාවද ?

සමේ වර්ණයට බලපාන්නේ පින් පවු ද ? වාසනාව අවාසනාවද ?

26 July 2021 06:34 am

1955 වර්ෂයේදි සූර්යග්‍රහණයක් පෘථෘවි වාසීන්ට දිස්වෙනවා. මේ 1955 සූර්යග්‍රහණය ලෝකයේ අනෙක් රටවලට අමතකව ගිය තවත් එක් ස්වාභාවික සංසිද්ධියක් වුනත් ලංකාව කියන පුංච් දූපතට මේ සිද්ධිය අමතක නොවෙන්න සිද්ධිදාමයක් අැති වෙනවා. සූර්යග්‍රහණය ඇතිවීමට පෙර ලංකාවේ එක් ප්‍රධාන පුවත්පතක පලවෙනවා සූර්යග්‍රහණය ඇතිවෙන අවස්ථාවේදි කාටවත් නොපෙනෙන්න වදකහ යුෂ පානය කරොත් කළු පැහැති සමක් අැති කාන්තාවන්ට පැහැපත් සමක් ලැබෙන බව. මේ පුවතට රැවටෙන බොහෝ කාන්තාවන් සුදු වෙන්න හිතාගෙන වදකහ පානය කර දැඩි ලෙස රෝගාතුර වෙනවා. මිථ්‍යාවන්ට අසුව ලංකාවේ ජනයා අමාරුවෙ වැටෙන පලමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව මෙය නෙවෙයි. නමුත් එවක සුප්‍රසිද්ධ ගායක වොලී බැස්ටියන් මේ සිද්ධිය අරබයා ගායනා කරන 'බිව්වා නේද වදකහ සුදිය' ගීතය අදටත් ඉතාමත් ජනප්‍රිය ගීතයක්.

පසුකාලීනව වාණිජකරණයට ලක්වු අප වැනි ආසියාතික රටවල විලාසිතා නිර්ණායක වලට පවා පැහැපත් සම කියන නිර්ණායකය ප්‍රචලිත කරමින් පැමිණ අද වන විට වදකහ පානයටත් වඩා අතිශයින්ම හානිකර ආලේපන භාවිතා කරමින් පැහැපත් වීමට වෙර දරන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නෙ. ඒ අතින් ගත්තම වසර 70 කට එපිටින් සිටි ශ්‍රී ලාංකීකයා සහ වර්තමාන ශ්‍රී ලාංකීකයා අතර වෙනසක් නැහැ. මේ තත්වය තවත් උඝ්‍ර කරමින් සමේ පැහැයට හේතුව පින් පවු බව ප්‍රචලිත වී ආගමික සංදර්භටත් මෙය ඈඳා ගැනීම තුල තත්වය වඩාත් දරුණු වෙලා තියෙනවා. 

ඇත්තටම අපේ සමේ පැහැයට හේතුව මොකක්ද ? අවාසනාවද ? පින් පවු ද ? 

මේ පිටුව ආරම්භයේ සිටම පරිණාමය නැමැති අපූරු ක්‍රියාවලිය ගැන විස්තර කර තිබෙනවා. පරිණාමය නැමැති ක්‍රියාවලිය තුලින් වරණය නැමැති සංසිද්ධිය තුලින් ජීවීන් ජීවත්වන පරිසර තත්වයනට වඩාත් උචිත ලක්ෂණ සහිත නව පරම්පරා දීර්ඝකාලීන ක්‍රියාවලියක් ඔස්සේ අැතිවන හැටි ගැන විස්තර කර තිබෙනවා. සමේ පැහැය කියන්නෙත් මේ අපූරු පරිණාමික ක්‍රියාවලියේ එක් අතුරුඵලයක්.

හෝමෝ සේපියානුවන් අප්‍රිකානු මහද්වීපය තුල සම්භවය වී අදින් වසර 150,000 ඇතුලත කාලය තුල ඉන් පිටතට සංක්‍රමණය වෙමින් විවිධ පාරිසරික නිකේතන තමන්ගෙ අණසකට නතු කරගන්නවා. මධ්‍යම අප්‍රිකාව කියන්නෙ ලංකාව වගේම සමකාසන්න කලාපයක්. මකර නිවර්තනය සහ කර්කටක නිවර්තනය අතර පෘථෘවිය පුරා පටියක් මෙන් දිවෙන මේ සමකාසන්න කලාපයට තමයි සූර්යාලෝකය දැඩිලෙස පහර දෙන්නෙ. ආනතියකින් තොරව ලැබෙන මේ සූර්යාලෝකය නිසා සමකාසන්න පෙදෙස් ඉතාමත් සශ්‍රීක ජෛව විවිධත්වයෙන් අධික පෙදෙස්. මෙහෙම කලාපයක බිහිවෙන හෝමෝ සේපියානුවන්ගෙ සම අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා වීමට සැකසුන සමක්. Pigmented skin එහෙම නැත්තන් වර්ණය අධික සමක් තමයි මේ කලාපය තුල පිහිටන්නෙ. එලෙස වර්ණය අධික සමක් තිබුනෙ නැත්තන් දීර්ඝකාලීන සූර්යාලෝකයේ බලපෑම් නිසා සමේ පිළිකා තත්වයන් අැතිවෙන්න පුළුවන්. අධික හිරු එලියට නිරාවරණය වීමේ එක් ප්‍රතිඵලයක් තමයි ශරීරයේ ෆොලේට් ප්‍රමාණය බිඳ වැටීම. නමුත් වර්ණය අධික සමකින් මේ ෆෝලික් අම්ල නිපදවීමේ ක්‍රියාවලිය අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා කරදෙනවා.

ක්‍රමයෙන් හෝමෝ සේපියානුවන් ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට සංක්‍රමණය වන විට තත්වය වෙනස්. ඉහළ අක්ෂාංශ වලට හිරු එළිය ලැබෙන්නෙ යම් ආනතියක් සහිතව. එය සමකාසන්න කලාප තරම් ප්‍රබල නැහැ. නමුත් ඉහළ අක්ෂාංශ වලදි හෝමෝ සේපියානුවන්ගෙ සම වෙනත් ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි විටමින් D ඌණතාව. විටමින් D සෑදීමට හිරු එලිය අවශ්‍යයි. නමුත් ඉහළ අක්ෂාංශ වලදී හිරු එලිය ලැබෙන්නෙ අවමයක්. ඒ ලැබෙන හිරු එලියත් වර්ණය අධික සමකින් ආරක්ෂා වුනොත් සිදු වෙන්නෙ සමේ විටමින් D සංස්ලේෂණය ඇණහිටීම. විකල්පය තමයි පරිණාමිකව ඉහළ අක්ෂාංශ වල හෝමෝ සේපියානුවන්ගෙ සමේ වර්ණය අධික බව ක්‍රමයෙන් අඩු කිරීමකට ලක් කිරීම. එවිට ඉහල අක්ෂාංශ වල විටමින් D සංස්ලේෂණය සඳහා සමට අවශ්‍ය ප්‍රශස්ත තත්වයන් පවතිනවා.

මේ ක්‍රියාවලිය වසර දහස් ගනනක් තිස්සේ විවිධ කලාපවලට අනුගතවුන හෝමෝ සේපියානුවන්ට පරිණාමය විසින් දායාද කල උපක්‍රමයක්. දැන් අපි හිතමු වර්තමානයේදි සමකාසන්න රටක වෙසෙන ඔබ ඉහළ අක්ෂාංශ රටකට සංක්‍රමණය වුනාය කියා. එහෙනම් ඔබේ ශරීරයේ ෆෝලික් ඌණතාවක් ඇතිවීමට තිබෙන හැකියාව වැඩී. ඒ කාලාන්තරයක් තිස්සේ ඔබේ පූර්වජයන් අනුගත පරිසරයෙක් එකවර බැහැර වීම නිසා ඔබ අඩු සූර්යාලෝකය තිබෙන ප්‍රදේශයකට යන්නෙ වර්ණය අධික සමක් එක්ක. ඉන් ඉහළ අක්ෂාංශ වලදි ලැබෙන කුඩා සූර්යාලෝකයත් ඔබේ ශරීරයෙන් ඉවතලනවා. ඉහල අක්ෂාංශ වල කෙනෙක් සමකාසන්න කලාපයකට පැමිණියාම සමේ පිළිකා වගේම විටමින් D ඌණතාව අැතිවීමේ අවදානමෙන් පෙලෙනවා. ඒ පෙර කී සංසිද්ධියේම විලෝමය.

සමකාසන්න කලාපවල සිට ක්‍රමයෙන් ඉහල අක්ෂාංශ වලට යද්දි සමේ පාට ක්‍රමයෙන් අපගමනය වෙන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම ඉතාමත් සිත්ගන්නාසුළු වැඩක්. වර්ණය අධික සම සහිත අප වැනි කලාපයන්ගෙ සිට ක්‍රමයෙන් පාට පෙට්ටිටක වර්ණය අඩුවෙන අනුක්‍රමික රටාවට මෙය වෙනස් වෙනවා. ඉහලම අක්ෂාංශ වල ස්කැන්ඩිනේවියානුවන් ඉතාමත් පැහැපත් සමක් දරන්නෙ ඔවුන්ට තමයි අවම සුර්යාලෝකය ලැබෙන්නෙ. ඊට පහලින් මධ්‍යම යුරෝපීයයන්ගෙ සම ඊට වඩා වරුණය මඳක් වැඩී. ඊටත් පහලින් මධ්‍යධරණීය, මැදපෙරදිග කලාප ඊටත් වඩා වැඩි වර්ණයක්, ඊට පහලින් උතුරු ඉන්දීය පටිය තවත් වර්ණය වැඩී. ඊට පසු ක්‍රමිකව වර්ණය අධික මිනිසුන් අයත් කලාප. 

ඔබට දැන් වැටහෙන්න ඕන සමේ වර්ණය කියන දෙය වදකහ මඟින්වත්, ආලේපන මඟින්වත් වෙනස් වෙන දෙයක් නොව ඔබ ජීවත්වන කලාපයට අනුලෝමව සූර්යාලෝකයේ පතිත වීම සහ පතිත වීමේ ආනතිය මඟින් තීරණය වූ ස්වාභාවික ආරක්ෂක ක්‍රමවේදයක් බව. වඩාත් උචිත පැවැත්මක් සඳහා වසර ගනනාවක් තිස්සේ ඔබේ පූර්වජයන් අනුගතවු සංසිද්ධියක් එය. පින් පවු හෝ, වාසනාව අවාසනාව මත තීරණය වන දෙයක් හෝ ලැජ්ජාවට පත් වීමට, වෙනස් කරගැනීමට අවශ්‍ය දෙයක් නෙවෙයි ඔබේ සමේ පැහැය. 

දැන් මේක කියවන් යද්දි ගැටලුවක් ඇතිවිය යුතුයි එහෙනම් ලංකාවේ කොහොමද වර්ණය අධික සමක් සහ පැහැපත් යන අය දෙකොට්ඨාසයම සිටින්නේ කියා. මේකට හේතුව තමයි අවසන් වසර 5000 අතරතුර සිදුවු ජානමය සංකලනය. විවිධ ප්‍රදේශ වලින්, උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු, පර්ශියානු ආදී විවිධ ජාන සංකලනය වීම නිසා ඒවා ප්‍රමුඛ වීමෙන් තමයි මේ සංකලනය ඇතිවන්නෙ. අපි උපකල්පනය කරොත් තවත් වසර දස දහස් ගනනක් අද තියෙන තත්වයෙන්ම නැවත සංකලනය විමක් සිදු නොවී තිබුනොත් කියා, නැවත සිදුවන්නෙ වර්ණය අධික තත්වයට ක්‍රමයෙන් අනුගත වීම. 

සමේ වර්ණය ගැන ඔබට පැහැදිලිය කියා සිතනවා. පහත ඡායාරූපයේ තිබෙන්නෙ ප්‍රදේශය අනුව ලෝක ජනගහනයේ සමේ වර්ණය වෙනස් වන ආකාරය. 

- පරිණාමික දිනපොත