කළු ජූලියේ මතක ....

කළු ජූලියේ මතක ....

24 July 2021 05:26 pm

1983 වසරේ ජූලි මාසය යනු මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කළ මාසයක් ලෙස හඳුන්වා දිය හැකිය. මාගේ පවුලේ ඥාතීන් බොහෝ පිරිස් අපගේ පවුලෙන් වෙන් වීම සිදු වූයේ ද මේ මාසයේදීය. එය එක්තරා ඛේදවාචකයක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි. එහි ඉතිහාසය කවුරුත් දනියි. නමුත් ඒ ගැන කතා කිරීමෙන් ප්‍රයෝජනයකුත් නැත. මක් නිසාද එය සිදුව මේ වනවිට වසර 37ක් ගතවී තිබීම හේතුවෙන්ය. 

මෙම කාලය වනවිට මාගේ මව බම්බලපිටියෙහි නිවසක සේවය කරමින් සිටියා. කඳුකරයේ දුෂ්කර ජීවිත ගත කළ ඇය කොළඹ පිහිටි නිවසකට රැකියාවක් සඳහා පැමිණෙන්නේ පවුලේ බර අඩු කිරීමේ අරමුණින්ය. එය මුස්ලිම් ජාතිකයෙකු නිවසක් වන අතර ඔහු පොලිසියේ ඉහළ නිලයක් හෙබ වූ බව ඇය මා සමඟ දිනක් කියා සිටියාය. එම නිවස පිහිටා තිබුණේ, බම්බලපිටිය කෝවිලට ඉදිරිපසට වන්නටය. ජූලි මාසය යනු හින්දු භක්තිකයින්ට පූජනීය මාසයක් බැවින් එය උත්සවාකාරයෙන් බැබළෙමින් තිබුණි. තවත් මිනිත්තු කිහිපයකින් විශාල විනාශයක් ඇති වන්නට යන බව නොදත් වෙළෙඳුන් විසින් සිය කඩ විවෘත කර අලංකාර විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමට සූදානම්ව සිටියෝය. ගත වූයේ ස්වල්ප මොහොතකි. කඩු පොලු අතින් ගත් මැරයන් පැමිණි එහි සිටි පිරිස්වලට පහර දෙන්නට විය. තමන් විසින් දහදිය හෙළා හරිහම්බ කරගත් කඩය පවා අතහැර සිය ජීවිතය බේරාගැනීමේ අරමුණින් වෙළෙන්ඳුන් හිස හැරුණු අත දිව ගියෝය. පදික වෙළෙඳුන් සිය භාණ්ඩ අසල පිහිටි නිවෙස්වලට ලබාදී ජීවිතය බේරාගැනීමේ උත්සහයක නිරත වූවෝය. මේ සියල්ල මාගේ මව බැල්කනියට වී බලා සිටියාය. 

එලෙස පැමිණි සමහර වෙළෙඳුන් විසින් ගෙනැවිත් ලබා දුන් භාණ්ඩ නිවස තුළට ගැනීමටත් ඈ කටයුතු කළාය. එහි ප්‍රතිඵලය වූයේ පොලිස් නිලධාරීයාගෙන් බැනුම් ඇසීමටය. “ ඇයි මේවා ගත්තේ.. මුන්ගෙන් අපිටත් මැරුම් කන්න වෙයි..” ඒ වනවිට එම නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණි. එම නිසාම මැරයන්ගේ නිවසේ සිටි අයට පීඩාවක් එල්ල වූයේ නැත. තත්ත්වය පාලනය කරවීම සඳහා යොදා තිබු ආරක්ෂක අංශ පවා මැරයන්ට සහය වෙමින් පෙට්ට්‍රල් වැනි දෑ ලබා දීමට කටයුතු කළ අවස්ථා ද මාගේ මව සියැසින් දැක තිබුණාය.

එදින ඇසළ පුන් පොහෝය ඉතා අලංකාරවත් පායා තිබුණි. නමුත් එය පරයා කොළඹ ප්‍රදේශයේ නන්දෙසින් ඇවිලුණු ගිනි ජාලා නිසා ඇති වූ දුමාරය විසින් අලංකාවරත් චන්ද්‍රයා වසා දමණු ලැබිය. කොළඹ පිහිටා තිබු කඩපේළි කොල්ලකෑමට ලක්විය. කොළඹින් ආරම්භ වූ මෙම ප්‍රචණ්ඩත්වය කන්ද උඩරටටත් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණි. පසුදින දහවල් වනවිට සිංහල මැරයන් පිරිසක් විසින් දෙමළ ජාතිකයින්ව ඝාතනය කරන බවත්, බඩු භාණ්ඩ කොල්ලකමින් සිටින බවටත් වන ආරංචිය මාගේ ආච්චි ඇතුළු පවුලේ අය දැනුවත්වී සිටියහ. එබැවින් ඔවුන් නිවසේ තිබු වටිනා යැයි කියන භාණ්ඩ සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ආරක්ෂිත තැන තැබීමට කටයුතු කළෝය. 

දහවල් වනවිට මාගේ මාමා කෙනෙකුගේ මිතුරන් කිහිප දෙනෙකු නිවසට පැමිණිහ. ඒ අපගේ ඥාතීන්ව ආරක්ෂා කිරීමට නම් නොවේ. සිය දේශප්‍රේමීත්වය විදහා දැක්වීමටය. ඒ වනවිට මාගේ මාමාවරුන් තිදෙනා නිවසින් පැන ගොස් සැඟව සිටියහ. ඒ පැමිණෙන මැරයින් කාන්තාවන්ට හිංසා නොකරනු ඇති බවට ඔවුන් විසින් සිදු කළ උපකල්පනයකට අනුවය. කෙසේ වෙතත් එය එලෙස සිදු නොවිය. ප්‍රථමයෙන් ආච්චිටත්, අනතුරුව ගැබිණියකව සිටි නැන්දාටත් ඔවුන් පහර දුන්හ. අහවල් ඔරලෝසුව කොහේ ද, අහල භාජනය කොහේද යනුවෙන් විමසා පහරදී තිබේ. අපගේ මහගෙදර තිබු බඩු මුට්ටු පිළිබඳව ඔවුන් මනා ලෙස දැනුවත් සිටියහ. අවසානයේදී නිවසේ තිබු ලුණු පොල්කට්ට ඇතුළු සියලු භාණ්ඩ ඔවුන් විසින් රැගෙන යන ලදි. 

නිවසේ තිබු භාණ්ඩ රැගෙන යන අතරතුර ගවයින් 12 දෙනෙකු පමණ සිටි හරක් පට්ටියට ද ඔවුන් ගිනි තැබීමට අමතක කළේ නැත. ගමේ සිටි කොල්ලෝ කුරුට්ටෝ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ ද බොහෝ සතුන්ගේ ශරීර දැඩි ලෙස පිළිස්සුම් තුවාලවලට ලක් විය. මාසයක් ඇතුළත හරකුන් සියලු දෙනාගේ අවසන් කටයුතු පවුලේ අයට කරන්න සිදු විය. 

අවසානයේදී ආහාර උයාගෙන කෑමටත් නිවසෙහි වළඳක් නොවිය. දින කිහිපයකින් මෙම තත්ත්ව පහව ගිය අනතුරුව මාගේ මවත්, ඇය සේවය කරමින් සිටි නිවසේ උදවියත් මෙම ගම්මානයට පැමිණියේ එහි සිටි පිරිස් වෙත උදව් කිරීමේ අරමුණින්ය. ඒ වනවිට සිදු විය යුතු සියල්ල සිදුවී අවසන්ය. එම ගම්මානයේ පිරිස් විසින් එක්රැස් කර තිබු සියල්ලම කොල්ලකා තිබුණි. මින් මතුවට මෙරට තුළ ජීවත්වීමෙන් පළක් නැතැයි සිතු මාගේ මවගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සියලු දෙනා ඉන්දියව බලා පිටත්ව ගියහ. නගරයේ යම් වැඩක් පිණිස ගොස් සිටි මාගේ පියාගේ බාල සහෝදරයාගේ අවසන් ගමන එයම විය. සිංහල හා දෙමළ ගම්මාන දෙක අතර තිබු මිත්‍රත්වය එම සිද්ධියෙන් අනතුරුව බිඳි ගියේය. වසර ගණන් එකාමෙන් ආශ්‍රය කළ පිරිස් නැවත කිසි දිනක හමුවී කතාබහ නොකළහ. මා සිංහල පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මාගේ ආච්චි සිටියේ අසතුටින්ය. ඇය ඒ තරම් සිංහල ජාතිය වෛර කළාය. ඒ ඇයගේ දැනුමේ හැටියට යැයි මා සිතමි.

මෙම සිද්ධියට සම්බන්ධ වූයේ සීමිත පිරිසක් පමණය. තවත් සිංහල අය දෙමළ ජනතාව තම නිවස තුළ රඳවාගෙන ආරක්ෂා කළහ. නමුත් අවස්ථානයේදී පාලක පක්ෂය ප්‍රකාශ කළේ, “ යාපනේ කොටි ප්‍රහාරයට දකුණේ සිංහල ජනයා දැක්වූ ස්වභාවික ප්‍රතිචාරයක්” ලෙසය. සමස්ථ වරද සිංහලයන් වෙත පටවනු ලැබිය. මෙය සංවිධානාත්මක සිදු කළ ක්‍රියාවක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම ක්‍රියාවට සම්බන්ධ වූ පිරිස් සතුව දෙමළ ව්‍යාපාරිකයින්ගේ නම් ලැයිස්තු සහ ලිපිනයන් තිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් සිදු වූයේ සිංහල සහ දෙමළ යන බෙදුම් රේඛාව තවදුරටත් පුළුල් වීමය. මෙම ඝාතන රැල්ල කඳුකරයේ දේශපාලනයේ පතාක යෝධයෙකු ලෙස සැලකෙන සෞම්‍යමූර්ති තොණ්ඩමාන් හැඳින්වූයේ, “ඉරිදා සිල් අරං සඳුදාට ඝාතනය කිරීමක්” ලෙසිනි. 

1956, 1958, 1977 සහ 1981 යන ආදී වර්ෂවලදී දෙමළ ජනතාව මහ පරිමාණ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇතත්, ඒ සියල්ලට වඩා 1983 ජූලලි විනාශය දරුණු ගණයේ එකක් විය. දෙමළ ජාතිකයින් 400 ත් 3000 ත් අතර ප්‍රමාණයකගේ ජීවිත අහිමි විය. 150,000කට පමණ නිවාස අහිමි විය. කඩසාප්පු 5000 ක් සහ නිවාස 8000 ක් සම්පූර්ණයෙන් විනාශයට පත් කෙරුණි. මෙරට සිංහල සිනමා වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙයක් ඉටු කළ කේ. වෙන්කට් නමැති අධ්‍යක්ෂකවරයා ද ජාතිවාදීන් විසින් අළු කර දමණු ලැබිය. සිරිපතුල චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වන්නේ ද ඔහුයි. 

අවසන් වශයෙන් මෙලෙස සටහන් කරමි. ඉතිහාසය යනු අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉන් වර්තමානය සහ අනාගතය නිවැරදිව සකසා ගත යුතු යන්නය. එනමුදු කිසි දිනක අපට කළුජූලිය අමතක කර දැමීමට නොහැක. මෙය හරහා ඇති වූ බෙදුම් රේඛාව මේ වනවිට අඩුවෙමින් පැවතිය ද එය සම්පූර්ණයෙන්ම අවසන් වීමට කිසිදු දේශපාලනඥයෙකු ඉඩ ප්‍රස්තාව ලබා නොදෙනු ඇත. 

- ජෙගන් ගනේෂන්