’මිත්‍යාව හා විද්‍යාව’’ - නව කියවීමක්

’මිත්‍යාව හා විද්‍යාව’’ - නව කියවීමක්

24 July 2021 04:45 pm

විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පළකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේණික වූ මතයන්ද මෙහිදී පළකරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්ජා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස්වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා. 

විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව සංකීර්ණ වන්නේ මේ වචන දෙකෙන් එක් එක් අය අදහස් කරන්නේ වෙනස් වෙනස් සංකල්පයන් නිසයි. ඒ ඒ සංකල්පයන්ට අනුව විද්‍යාව යන්න කුමක්ද, මිත්‍යාව යන්න කුමක්දැයි එක් එක් අය වෙන වෙන දේ හඳුන්වා දෙනවා. එනිසා අයෙක් මිත්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් විද්‍යාව යයිද, අයෙක් විද්‍යාව යයි සඳහන් කරනදේ තවත් අයෙක් මිත්‍යාව යයිද පවසනවා. එමනිසා මේ මාතෘකාව ආරම්භයේදීම මෙම වචන ගැන මා දෙන විග්‍රහය කියන්නම්.

සයන්ස් යනු විද්‍යාවද?

විද්‍යාව යන වචනයෙහි අරුත විග්‍රහ කිරීමෙහිදි මුලික ගැටලුවක් මතුවෙනවා. අද සිංහල බසින් පොදුවේ ''විද්‍යාව'' යයි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් ''සයන්ස්'' යන අරුත දෙන වචනයයි. සයන්ස් යනු යමක් අවබෝධ කරගැනීමේ ක්‍රමවේදයක්. ''සයන්ස්'' යන ක්‍රමවේදය ඇතිවුයේ බටහිරයි. එය හා බැඳුනු ''සයෙන්ටිෆික් මෙතඩ්''නම් වචනයක් තිබෙනවා. මෙය සයන්ස් වල සඳහන් යමක සත්‍ය අසත්‍යභාවය මැන ගැනීමේ ක්‍රම වේදයයි. මෙයට අපි සිංහල බසින් විද්‍යාත්මක ක්‍රමය කියා කියනවා. මෙහිදී පළමුව යම් උපකල්පනයක් කෙරනවා. ඉන්පසු එම උපකල්පනය සත්‍යය දැයි සෙවීමට පර්යේෂණයන් සිදුකොට නිරීක්ෂණයන් කරනවා. 

ඉන් පසු ලැබුණු තොරතුරු විග්‍රහයක් කෙරෙනවා. එම විග්‍රහය අනුව මුලින් ඇතිවූ මතය හෝ උපකල්පනය සත්‍යය හෝ අසත්‍යයි සොයා බලනවා. ඉන්පසුව නිගමනයන්ට එනවා. මෙම නිගමනය තුලින් බොහෝවිට අලුත් උපකල්පනයක් කරනවා. නැවත විද්‍යාත්මක ක්‍රමය ඇරඹෙනවා.මෙය නොනැවතෙන ක්‍රියාවලියක්.

විවිධාකාර විද්‍යාවන් තිබෙනවා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,මානව විද්‍යාව,වාග් විද්‍යාව,පුරා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී සිය ගණන් විද්‍යා තිබෙනවා. මෙම විද්‍යාවන් බටහිරට පමණක් සීමාවුවන් නොවේ. දැන් ආයුර්වේදයටද විද්‍යාව යන වචනය යොදනවා. අප පුරාණ පෙරදිග විද්‍යාවන් ගැන කියනවා. චීනයට ආවේනික විද්‍යාවක් තිබුන බව සඳහන් කරනවා. පොදුවේ මේ විද්‍යාවන්හි ඇති ලක්ෂණයන් මොනවාද?

මේ සියලු විද්‍යාවන්ගේ පළමු ලක්ෂණය නම් මේවායේ පංචේන්ද්‍රියන් (ඇස,කණ ,නාසය,සම,දිව) ඇසුරෙන් නිරීක්ෂණය කරන ''දෙයක්''තිබෙනවා. මේ දේ වලට අපි භෞතික දේ හෝ ප්‍රපංචයන් යැයි පවසනවා. ඇතැම්විට මෙම නිරීක්ෂණයන් සිදු කිරීමට උපකරණ පාවිච්චි කරනවා. පංචේන්ද්‍රියන්ට 
කෙලින්ම හසු නොවන දේ පංචේන්ද්‍රියන්ට හසු කර ගැනීම තමයි මේ උපකරණ වලින් කරන්නේ. මෙවන් උපකරණ තැනීමත් නවීන විද්‍යාවන්හි කාර්යයක්. ඇතැම්විට වෙනස් වෙනස් උපකරණ වලින්,වෙනස් වෙනස් පුද්ගලයන් කරන නිරීක්ෂණයන්හි වෙනස්කම් තිබිය හැකියි. නමුත් හැමවිටම විද්‍යාවේ යම්
නිගමනයක් කෙරෙන්නේ නිරීක්ෂණයන් ඇසුරෙනුයි.ඊළඟට මෙම නිරීක්ෂණයන් ගැන විමසා බැලීමක් කෙරෙනවා. 

මෙම විමසා බැලීම සඳහා යම් අයෙකුට හෝ යම් පිරිසකට බුද්ධියක්,නුවණක් සහ පෙර ඇති දැනුමක් අවශ්‍යවෙනවා. මෙම විමසා බැලීමටද විවිධ ක්‍රමවේදයන් යොදනවා. ගණනය කිරීම්,සංඛ්‍යාන ක්‍රමවේද, පරිගණක පමණක් නොව විමසා බලන කරුණ පිළිබඳව මේ දක්වා ඇති දැනුමද මෙම
විමසා බැලීමේදී වැදගත් වනවා. පෙර ඇති අත්දැකීම්, නිරීක්ෂණයන් මෙම විමසා බැලීමට ප්‍රයෝජනවත් විය හැකියි.මෙම විමසා බැලීමට කෙටිකලක් හෝ දිගු කලක් ගතවිය හැකියි. මෙම විමසා බැලීමෙන් අනතුරුව යම් නිගමනයන්ට, මතයන්ට එනවා.

දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි වැනි ''කලා ධාරාවේ'' විද්‍යාවන්හි දීද නිරීක්ෂණයන් කෙරෙනවා. එහිදී නිරීක්ෂණය කෙරෙන දේ මනුෂ්‍ය සමාජයයි. මෙම කලා ධාරාවේ විද්‍යාවන් හිදී නිගමනයන්ට පැමිණීමේදී නිරීක්ශණ සිදුකලත්, විමසා බැලීම හා විග්‍රහය එයට වඩා ප්‍රධාන තැනක් ගන්නවා.

මේ විද්‍යාවන් හිදී එළඹෙන නිගමනය බොහෝවිට සෙමෙන් වන්නක් විය හැකි නමුත් ඇතැම්විට මෙම නිගමනය සියලු කරුණු මත පදනම්ව හදිසියේ යමෙකුගේ මනස තුල ඇතිවන්නක් විය හැකියි. මෙම ක්‍රියාවලිය ඇරඹෙන මුලික උපකල්පනය හෝ එළඹෙන නිගමන හදිසියේ ඇතිවුවහොත් එය අදෘශමාන
බලවේගයන් විසින් ඇති කරන්නේ යැයි සමහරු වැරදි ලෙස සිතනවා. එනමුත් උපකල්පනය, පරීක්ෂණය,නිරීක්ෂණය, විග්‍රහය සහ නිගමනය යන ක්‍රියාවලිය යමක් තුල සිදුවන්නේ නම් එය විද්‍යාත්මක ක්‍රමයයි. ''සයන්ස්''නමින් හැඳින්වෙන ක්‍රියාවලියේදී දැනුම ඇතිවන්නේ මෙම විද්‍යාත්මක ක්‍රමය
තුලයි.

පංචේන්ද්‍රියන් මත පදනම්ව පමණක් විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුවන්නේ යැයි විශ්වාස කිරීම ''එම්පිරිසම්'' ලෙස හදුන්වනවා. මුලින් යම් මතයක් ඇතිකර ගෙන එය තර්කානුකුලව විග්‍රහ කිරීම ''රැශනලිසම්''ලෙස හදුන්වනවා.මෙහිදී සංකල්පය ඇතිවන්නේ මනසිනුයි. රැශනලිස්ම් වලදී පළමු නිරීක්ෂණය කෙරෙන්නේ මනසිනුයි.මනසින් කෙරෙන එම නිරීක්ෂණය උපකල්පනයක් බවට පත්වෙනවා.

මා සිතන අකාරයට මෙහිදී මනස සයවෙනි ඉන්ද්‍රිය ලෙස ක්‍රියා කරනවා. ඉන් පසුව කරුණ විග්‍රහ කෙරෙනවා. ඉන් පසු නිගමනයන්ට එනවා. එවැන් අවස්ථාවක පවා පෙර දැනුම මත පදනම්ව එම මතයට එළඹි අයුරු අන් අයට වටහා ගත හැක. එසේම මෙම මතය නිසැකවම සත්‍යදැයි සොයාගැනීමට
විද්‍යාත්මක ක්‍රමයට භාජනය කලයුතුයි. මෙම ''එම්පිරිසම්'' හා ''රැශනලිසම්'' ලෙස හදුන්වනවා දෙන වචන දෙකට හරියටම ගැලපෙන සිංහල වචන නැහැ. නමුත් මේ ක්‍රම දෙකම විද්‍යාව (සයන්ස් ) විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මෙම විද්‍යාත්මක (සයන්ටෆික්) ක්‍රමවේදයේ ඇති අනෙක් වැදගත් ලක්ෂණය නම් එය අන් අයට වටහා ගැනීමට, ඇතැම් විට තමන්ම සිදුකර බැලීමට ඇති හැකියාවයි. නිගමනයට එළඹී ක්‍රියාව අතීතයේ සිදුවූවක් නම් එය නැවත සිදුකර බැලීමේ හැකියාවක් නැහැ. මෙවැනි අවස්ථාවක දී වැදගත් වන්නේ පිළිගත හැකි සාක්ෂියි. මෙම සාක්ෂිද පංචේන්ද්‍රියන්ට ගෝචර වන ඒවායි. පුරාවිද්‍යාව හා ඉතිහාසය මෙවන් විද්‍යාවන්ට උදාහරණයි. කෙසේ නමුත් මෙම සාක්ෂිද දෙදෙනෙකුට හෝ වැඩි පිරිසකට නිරීක්ෂණය කළ  හැකියි.

සයන්ස් සහ විද්‍යාව අතර ඇති වෙනස කුමක්ද?

මීළඟට අප පෙරදිග භාෂාවන්හි විද්‍යාව යන වචනය යෙදී ඇති අයුරුත්, අද අප විද්‍යාව(සයන්ස්) යන්න භාවිතා කරන සංකල්පයත් අතර වෙනස වටහා ගත යුතුයි ඉන්දු ආර්ය භාෂාවන්හි විද්‍යාව හෝ ''විජ්ජා'' යන්නෙන් සත්‍යය හා සත්‍ය අවබෝධයද අදහස් වෙනවා. බොහෝවිට මෙයින් අදහස් වන්නේ පරම
සත්‍යයද වියහැකියි පෙරදිග ආගම හෝ දර්ශනයන්ට අනුව මෙම විද්‍යාව යමෙකුගේ සිත තුළ පහළ  වන්නක්.මෙම විද්‍යාව අවබෝධකර ගැනීමදී අද පවතින විද්‍යාත්මක ක්‍රමය භාවිතා නොවේ. එසේම මෙම විද්‍යාවේදී අවබෝධකර ගන්නා ''දෙය'' භෞතික දේ නොවේ. නිර්වාණය, කර්මය, පුනුරුත්පත්තිය,
බ්‍රහ්මන්, ආත්මන් මෙවන් විද්‍යා යන වචනයෙන් හඳුන්වන සංකල්පයන්. සයන්ස් වලදී එක් විටක විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන්නේ එක් ප්‍රශ්නයකටයි. එනමුත් පෙරදිග විද්‍යාව යන සංකල්පයෙන් එයට වඩා පුළුල් පරාසයක දේ ගැන කෙරෙන විග්‍රහයක් තිබෙනවා.

ඊළඟට මතුවන ප්‍රශ්නය මේ කියන දැනට අප විද්‍යාවන් ලෙස හදුන්වන එනම් සයන්ස්වල නිගමනයන් අවසාන,පරම සත්‍යයද යන්නයි. විද්‍යාව (සයන්ස්) ගැන හොදින් දන්නා කිසිදු විද්‍යාඥයෙක් එසේ කියන්නේ නැහැ. එසේ සිතන්නේ නැහැ. එසේ සිතනවානම් නැවත නැවත පරීක්ෂණයන් සිදු කරන්නේ
කුමටද? ඔවුන් යම් කරුණක් ගැන අවසාන,පරම සත්‍යය සොයා ගත්තේ යයි කියා ඉදිරි පර්යේෂණයන් නවත්වනු ඇත. තමන් යම් කරුණක් ගැන පරම සත්‍යය සොයාගත්තේ යයි කියන්නේ මොන විද්‍යාඥයාද?

එසේ පවසන්නෙක් අනෙක් විද්‍යාඥයන් විසින් සලකනු ඇත්තේ උන්මත්තකයෙකු ලෙසිනි. විද්‍යාත්මක ක්‍රමය තුළින් අප සොයන්නේ එය ක්‍රියාත්මක කිරීම තුළින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලබාගත හැකිද යන්නයි. සැබෑ විද්‍යාඥයන් තමන්ට එම ප්‍රතිපලය ලබා ගත නොහැකි වුයේ නම් ඒ බව
පවසනවා.

පෙරදිග ආගම් හා දර්ශනයන්හිදී යමකු තුළ විද්‍යාව ඇතිවුයේයයි පවසන විට සත්‍යය පසක් කරගෙන අවසන්. බුදුදහමේ පැවසෙන විජ්ජා යන වචනයේ අරුතත් සයන්ස් යන වචනයේ එකක් නොවේ යැයි ඔබ‍ට තේරුම් යන්නට ඇති. මෙම අරුත් පටලැවිල්ල හඳුනා නොගෙන බුදුදහමේ විද්‍යාව මෙන් නොව අනෙක් විද්‍යාවන් සදාතනික නොවන බවත්, විටින්විට මතයන් වෙනස් කරන බවත්, එමනිසා ප්‍රවාදයන් බවත්,පවසන අය සිටිනවා.

මතයන් වෙනස් කිරීම එම සයන්ස් නම් විද්‍යාවන්ගේ ස්වභාවයයි. ඒ මත වෙනස් කෙරෙන්නේ අලුතින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව,අලුත් දැනුම ලබා ගෙන, ඒ අලුත් දැනුම අවබෝධ කරගෙන, ඒ පිළිබඳව තම බුද්ධිය මෙහෙයවා ගෙනය. මෙම ක්‍රමවේදයේ කිසිම ගුප්ත ස්වභාවයක් නොමැත. තමන් සොයාගත් දේ සදාතනික සත්‍යයක් නොවීම ගැන සැබෑ විද්‍යාඥයන් මනා අවබෝධයකින් සිටී. සයන්ස් යන විද්‍යාව මිනිසුන්ට සහ ලොවට බලපාන විවිධ දේ ගැන සැමදා සොයමින් සිටියි. මෙම සොයාගැනීම් බොහෝ විට ලොවට හිතකර වන අතර ඇතැම්විට අහිතකර වේ. පරමාණු බෝම්බය මෙයට උදාහරණයක්. එනමුත් බොහෝ සොයාගැනීම් ලොවට හිතකරයි. විද්‍යාවේ මෙම අලුත්වන ස්වභාවය සහ හොඳ නරක දෙකම ඇති ස්වභාවය ගැන බුද්ධියක් ඇති සියලු දෙනා අවබෝධයෙන් සිටියි.මෙම ස්වභාවය සයන්ස් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එය එසේ නොවේයැයි කිසිවෙකුට කිව නොහැකියි. 

එම අවබෝධය නැත්තේ කරුණු සහ වචන පටලවා ගත් අයටයි. මෙම පටලැවිල්ල ලිහීමට නම් අප සයන්ස් වලට විද්‍යාව යැයි නොකියා වෙනත් වචනයක් සොයා ගත යුතුයි.

පෙරදිග පැවති විද්‍යාවන්ගෙන් අද ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්පයකි. එයින් ආයුර්වේදය අදටත් ජීවමානව පවතින විද්‍යාවකි. චීන වෛද්‍ය ක්‍රමයද එවැන්නකි මේවායේ රෝගීන්ට ප්‍රතිකාර කෙරන්නේ රෝග ලක්ෂණ නිරීක්ෂනයෙනි. බෙහෙත් තෝරන්නේද ඖෂධ වල ලක්ෂණයන් ගැන කල නිරීක්ෂණයන් ගෙනි.
ආයුර්වේදයද අප විද්‍යාවක් ලෙස හදුන්වන්නේ මේ නිසාය. මෙම ක්‍රමයන් අන් අයට ඉගැන්විය හැකිය. අන් අයටද අනුගමනය කර ප්‍රතිඵල අත්කර ගත හැකිය.මෙහි කිසිදු ගුප්ත ස්වභාවයක් නැත.

මිත්‍යාව යනු කුමක්ද?

මීළඟට අප මිත්‍යාව දෙසට හැරෙමු. ''මිත්'' යන බටහිර වචනයත් මිත්‍යාව යන වචනයත් අතර වෙනසක් තිබේ. ඉන්දු ආර්ය භාෂාවල මිත්‍යා, මිච්චා යන වචනයෙන් අසත්‍යයන් පමණක් නොව සෑම ආකාරයක වැරදි ක්‍රියාවන් අදහසවේ. මිච්චා ආජිව යනු වැරදි දිවි පැවැත්මයි. මෙතැනදී එම වචනයෙන් යමක්
සත්‍යය හෝ අසත්‍යදැයි අදහස් නොවේ. ඉංග්‍රීසි බසින් මිත් යන්නෙන් අසත්‍යය පමණක් නොව වැරදි විශ්වාස, දේවකතා ආදියද හැදින්වේ. මෙම වචන වල අරුත් වෙනසද බොහෝ පැටලවිලි වලට මග පාදා තිබේ. මෙම ප්‍රශ්නය සම්බන්ධව ඇති අවුල් ලිහා ගැනීමට නම් පළමුව වචන අතර ඇති අවුල් ලිහාගත
යුතුවේ.

ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි සියලු දේ මිත්‍යාවන් යයි පවසන අය බොහෝය.මම එම මතය ප්‍රතික්ෂේප කරනවා. එය ඇත්තක් නම් පංචේන්ද්‍රියන් ඇසුරින් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කල නොහැකි, මැනිය නොහැකි, තවත් අයෙකුට ඒ අයුරින්ම වටහා ගත නොහැකි දෙදෙනක් අතර ඇතිවන ආදරයද මිත්‍යාවක්. 

ආදරය, ගෞරවය, කෝපය වැනි දේ අපගේ මනස තුල සිදුවන සංසිද්ධීන්ය.අප තුල හා සමාජය තුළ ඇති විශ්වාසයන් ද එවැනිය. ආගමික සංකල්ප, මානසික අවස්ථා, විශ්වාසයන් හා ඇදහිලි ඇත්තේ අප මනස තුළයි. ඒවා අන් අයට නිරීක්ෂනය කල නොහැකි අතර නිරීක්ෂණය කල හැක්කේ විශ්වාස මත පදනම්වූ
වතාවත් පමණයි. අන් අයට ඉන්ද්‍රියයන් ඇසුරෙන් කෙරෙන නිරීක්ෂණ මත පදනම්ව සිදුකිරීමට නිගමනය කළ නොහැකිවූ පමණින් මෙවැනි දේ මිත්‍යා ගණයට අයත් වනවා නම් ආදරය යන සංකල්පයත් මිත්‍යාවක්. එය එසේ වන්නේ නැහැ.මානසික සංකල්පයන් වන ආගමික විශ්වාසයන් මත පදනම්වූ ආගමික පුද පූජා හා වතාවත් වලට මිත්‍යා ක්‍රියා යැයි පවසන්නේ නම් මානසික සංකල්පයක් වන ආදරය මත පදනම්ව තෑග්ගක් දීමත් මිත්‍යා ක්‍රියාවක්. 

එය එසේ නොවන බව පැහැදිලියි.

විශ්වාසයන් අතර පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට හිතකර,අහිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන් හා ඇදහිලි තිබෙනවා. මිනිසකු මරාදමුවහොත් අපාගත වේ යැයි යන විශ්වාසය යහපත් විශ්වාසයක්. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍ය බව විද්‍යාවෙන් (සයන්ස් )
මගින් තහවුරු කල නොහැකියි. එසේ කිරිමට යාම උමතු ක්‍රියාවක්. එහෙත් එම විශ්වාසය සමාජයේ මිනීමැරුම් අඩු කරයි. යහපත් විශ්වාසයන් ගැන උදාහරණ දහස් ගණනකි.ඇතැම් විශ්වාසයන්ගේ ප්‍රතිපල ඍජුව නොපෙනේ. 

තම වෙළඳසැලට දිනපතා කහවතුර ඉසුවහොත් වෙළඳාම වැඩිවේ යයි යන විශ්වාසය එවැන්නක්. එයින් වෙළඳ මහතාට ආත්ම ශක්තියක් ලැබෙයි. එම ක්‍රියාවෙන් කිසිවෙකුට හානියක් සිදු නොවේ. එසේම ඇතැම් විශ්වාසයන් පුද්ගලයන්ට, සමාජයට සහ පොදුවේ ලොවට අහිතකර වේ. තමන් අදහන ආගම හැරුණු කොට අන් ආගම් අදහන්නන් අදහන්නන් මරා දැමුවහොත් දෙව්ලොව යාහැකි යයි යන විශ්වාසය එබන්දකි.මෙවන් අයහපත් විශ්වාසයන් ගැනද උදාහරණ දහස් ගණනකි. ඇතැම් විට හිතකර හා හිතකර හෝ අහිතකර ගනයට නොවැටෙන විශ්වාසයන්ද අයහපත් ප්‍රතිපල ලබාදෙන අවස්ථා තිබේ. ඒ බොහෝවිට යම් විශ්වාසයකට ඇබ්බැහිවී ඒ සඳහාම කාලය මරමින් ගත කිරීම නිසාය.ධනය ඒවාට වියදම් කිරීම නිසාය.

මිත්‍යාවන් ඇති වන්නේ කෙසේද ?

මේ මානසික සංකල්පයන්, විශ්වාසයන් හා ඇදහිලි මිත්‍යාවන් බවට පත් වන්නේ කුමන විටද? මෙය කිහිප අයුරකින් සිදුවිය හකියි. පලමුව ඇදහිලි හා විශ්වාසයන් ඇසුරින් මැනිය හැකි, නිරීක්ෂණය කළ හැකි භෞතික සංසිද්ධියක් වුයේ හෝ වන්නේ යයි, එය අදහන්නන් පවසන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවක ''විද්‍යාව'' එනම් සයන්ස් ඉදිරියට පැමිණ එහි ක්‍රමවේදයන් යොදා එම සංසිද්ධිය වුයේ හෝ වන්නේ යයි කීම සත්‍යයක්ද, අසත්‍යයක්ද යැයි පවසනු ඇත. අසත්‍යයන් වන එවැන් සංසිද්ධීන් මිත්‍යාවන් ලෙස සැමවිටම හැදින්වේ. A ට වඩා B ට යමෙක් ආදරෙයි කිවහොත් එය මැනිය නොහැකි නිසා අසත්‍යයක් හෝ මිත්‍යාවක් යැයි කියන්නා උන්මත්තකයෙකි. එනමුත් එම ආදරයේ වෙනස ශරීරයේ ඇති එන්ඩොෆින් ප්‍රමාණයෙන් මැනිය හැකියැයි කිවහොත් විද්‍යාව ඉදිරියට පැමිණ එම උපකල්පනය හරි හෝ වැරදි යැයි පවසනු ඇත.

යමක් වැරදි යයි සයන්ටිෆික් ක්‍රමය මගින් සොයාගත් පසුවද තම මතය අතනොහරින්නා මිත්‍යා මතයක එල්බ සිටින්නේ යැයි අපි පවසමු. අයුරින්ම විද්‍යාව මගින් නිරීක්ෂණය කොට,විග්‍රහ කොට නිගමනයන්ට එළඹුණු කරුණු පසකට දමා විශ්වාසයන් මත පමණක් පදනම්ව ක්‍රියා කිරීම මිත්‍යා
ගනයට වැවෙනවා. පෘතුවිය වටා සුර්යයා බ්‍රමණය වේ යැයි පැවසීම එවැනි දෙයක්. එසේම යම් ක්‍රියාමාර්ගයක් තුලින් අප බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබී නැතිවිටදී එය ලැබී ඇතැයි පැවසීමද,එවන් විශ්වාසයක එලබගෙන සිටීමද මිත්‍යාවක්. එපමණක් නොව එය අසත්‍යයක් බවටද පත් වනවා.

එසේම යම් ක්‍රියාවක් තුලින් අප බලාපොරොත්තුවන ප්‍රතිපලය ලබාගත නොහැකියැයි සක්සුදක් සේ පෙනෙන විටදී එහි නිවැරදි භාවය ගැන විශ්වාසයක් තිබීමද, මිත්‍යාවක් වනවා. අවසාන වශයෙන් යමක් සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් යෙදිය හැකි විටදී එසේ නොයොදා නොපෙනන දේ පසුපස යාමද මිත්‍යවක්. උදාහරනයක් ලෙස යම් දේශපාලන තීරණයකට එළඹීමට ප්‍රථම දේශපාලන විද්‍යාව පමණක් නොව ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විවිධ විද්‍යා එක්කොට විද්‍යාත්මක විග්‍රහයක් කල යුතුයි. ඇතැමුන්ට මෙම විවිධ දේ එක්ව විග්‍රහ කිරීමේ ශක්තිය මැනවින් පිහිටා තිබෙනවා. මේ සියල්ල පසෙක තබා ගුප්ත විද්‍යා උපදෙස් අනුව දේශපාලන තීරණ ගැණීම මිත්‍යාවට අනුව කටයුතු කිරීමක්. එය අවිද්‍යාත්මකයි. වඩාත් නිවැරදිව පවසන්නේනම් එවැන්නක් ''සයන්ටිෆික්''නොවේ.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
(සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් කරන ලද දේශණයක් ඇසුරින් සකස් ගං වතුරට හසුව තිබෙන බවයි දැක්වෙන්නේ. කරණ ලද්දේ සුජීව සෙනරත් විසිනි)