කොවිඩ් පාලනයට රජය රුපියල් බිලියන 262 ක් වැය කරලා

කොවිඩ් පාලනයට රජය රුපියල් බිලියන 262 ක් වැය කරලා

30 June 2021 07:00 pm

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262 ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.

මෙම රැස්වීමේදී භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා "අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා" මැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය. රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී ඒ මහතා සමාජ ආර්ථික බලපෑම් ඇති කරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලටද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේය‍.

මෙම අසීරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් කළ බව පෙන්වා දුන් හෙතෙම පිරිසිදු අයවැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423 ක හිඟ බිල්පත් ගෙවා දමමින් බවද සිහිපත් කළේය. මුදල් අමාත්‍යංශ දත්තවලට අනුව 2020 වර්ෂයේදී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117 ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53 ක් වැය කර තිබේ. අදාළ කාලය තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේය.

පොලී අනුපාත අඩු කරමින්ද ණය සහන ලබා දෙන අතර උද්ධමනය 04% - 06% ක පවත්වා ගෙන යාමට හැකි වූ බවත් පසුගිය මැයි මාසයේ එය 06.1% සිට 06.2% දක්වා ඉහළ ගියද එය නැවත අඩු කර ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද එස්.ආර්. ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විමධ්‍යගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11,000 ක් බවද මෙහි දී හෙළිදරව් විය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහිදී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වනවිට සිවු වතාවක් ප්‍රදානය කර ඇති බව ප්‍රකාශ කළේය. නිෂ්පාදන ගම්මාන 500 ක් ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළේය. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී හෙතෙම  2022 ජනවාරි මාසය වනවිට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය. 2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500 ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවද හෙතම කියා සිටියේය.

විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකි වී ඇතැයිද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බවද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන් මහතා මෙහිදී අවධාරණය කළේය.

ස්ථාන රැසක විසිරී තිබෙන මුදල් අමාත්‍යංශයේ ආයතන ජනතා පහසුව වෙනුවෙන් එක ම ගොඩනැගිල්ලකට ගෙන ඒමේ හැකියාව ගැන සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරු වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරුන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

UN