මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවාද නැද්ද? අනුර, හකීම්, මනෝ සාකච්ජාවක

මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවාද නැද්ද? අනුර, හකීම්, මනෝ සාකච්ජාවක

30 June 2021 03:56 pm

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සංධානය අතර සාකච්ඡාවක් අද (30) ජවිපෙ මූලස්ථානයේදී  පවත්වා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රාහුෆ් හකීම්, නිෂාම් කාරියප්පර් දෙමළ ප්‍රගතිශීලි සංධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, එම්. උදයකුමාර්, වේලු කුමාර් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක, විජිත හේරත් මෙම සාකච්ජාවට සහභාගී වී ඇත.

මෙම සාකච්ජාව ගැන කරුණු දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසුවේ ආණ්ඩුව ජන්ද ක්‍රමය වෙනස් කිරීමට උත්සහ දරමින් සිටින අතර එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දිශාවෙන් පරිබාහිර උත්සහයක් බවයි.

එමෙන්ම සමානුපාතික ජන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදුවන්නේ නම් අනිවාර්ය ලෙස විධායක ජනධිපති ක්‍රමය අහෝසි විය යුතු බවට එකඟතාවකට පැමිණි බවද අනුර දිසානායක මහතා කියා සිටියේය.  

''වර්තමාන ආණ්ඩුව උත්සහ කරමින් තියෙනවා ජන්ද ක්‍රමය වෙනස් කරන්න. ජන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා දරන උත්සාහය ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දිශාවට තිබෙන වුවමනාවක් නොවන බව පැහැදිලියි. අපි අතර පැවති සාකච්ජාවේදී මූලිකව එකඟතාවකට පැමිණියා ප්‍රධාන වශයෙන් ගත්තොත් ජන්ද ක්‍රම අතර සමානුපාතික ජන්ද ක්‍රමය තමයි වඩාත් ප්‍රජාතන්තවාදී ක්‍රමය. මේ ජන්ද ක්‍රමය වෙනස් කරනවා නම් වෙනස් කළ යුතු වන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වෙන ජන්ද ක්‍රමයකට. මූලික ගති ලක්ෂණ විය යුතු වන්නේ ජනතාවගේ කැමැත්තෙ සාධාරණ පිළිබිඹුවක් එම ජනතා නියෝනිත ආයතන වල සිදු විය යුතුයි. යම් දේශපාලන ව්‍යාපාරයක යම් ජනතාවකගේ ප්‍රතිශතයක් කැමති නම් ඒ ප්‍රතිශතයට සාධාරණ නියෝජනයක් පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන තුළ ඇති විය යුතුයි. එහෙම නැතුව ජනතාවගේ කැමැත්තෙ විකෘති පිළිබිඹුවක් එම ආයතන තුළ සිදු නොවිය යුතුයි. ඒ වගේම අප සියලු දෙනාගේ ස්ථාවරය වුණේ සෑම ජන්දයකටම සමාන වටිනාකමක් හිමි විය යුතුයි. මොකද ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මය. එක ජන්දයකට වඩා අනෙක් ජන්දයකට වටිනාකමක් නිර්මාණය වෙන ජන්ද ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. ඒ වගේම අපේ ඊළඟ කරුණ බවට පත් වුණේ සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පළාත් සභා පැවැත්වීමට කටයුතු කළ යුතුයි. සමානුපාතික ජන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදු වෙනවා නම් අනිවාර්ය ලෙස විධායක ජනධිපති ක්‍රමය අහෝසි විය යුතුයි.''

මෙහිදී දෙමල ප්‍රගතිශීලි සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව සිය පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව ජන්ද ක්‍රමය වෙනස්  කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

කෙසේවෙතත් දැනට පවතින සමානුපාතික ජන්ද ක්‍රමය වෙනස් කිරීමට කටයුතු නොකරන ලෙස තමන් බලකරන බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කරන ලදී.

සෙසු සියලුම පක්ෂ එකතු වී මෙයට මුහුණ දිය යුතු අතර සාකච්ජාවේ දී අවධානයට ලක් වූ කරුණු ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දැනුවත් කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 ASK