විත අස පත 27 - දුවන්න බැරි ලෝකයක ෆර්හාන්

විත අස පත 27 - දුවන්න බැරි ලෝකයක ෆර්හාන්

21 June 2021 07:44 am

ඉතා ගෞරවණීය සහ සුප්‍රකට ඉන්දියානු මලල ක්‍රීඩකයෙකු වූ මිල්කා සිං කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා මියගිය පුවත දැනගන්නට ලැබුණා. ඒ සමඟම මගේ මතකයට ආවෙ ෆර්හාන් අක්තාර්. ඉන්දියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙස නිසැකවම සඳහන් කළ හැකි මිල්කා සිංගේ ජීවිත කතාව අළලා 2013 වර්ෂයේදි 'බාග් මිල්කා බාග්' නමින් බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වුණා. ඒ චිත්‍රපටයෙ මිල්කා සිංගෙ චරිතය නිරූපණය කළේ ෆර්හාන් අක්තාර්. ඔහුට ඒ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානයත් පිරිනැමුණා.

අපේ පරම්පරාවෙ බොහෝ දෙනා කැමති ශාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි, රිතික් රෝෂන් ආදී බොලිවුඩ් තරුවලට. අපිට පසු පරම්පරාවල ගොඩක් දෙනා අතර කියැවෙන්නෙ රන්බීර් කපූර්, රන්වීර් සිං, අර්ජුන් කපූර්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරුන් ධවාන්, ටයිගර් ශරෝෆ් ආදී නම්. ෆර්හාන් අක්තාර් කියන්නෙ මේ කිසිම නාමාවලියක් අතරෙ ස්ථානගත වෙන නමක් නෙවෙයි. සමහර විට ඔහු අර නම් ලැයිස්තුවල නළුවො තරම් අධි ජනප්‍රිය නැති වෙන්නත් පුළුවන්. නමුත් ෆර්හාන්ට තියෙනව තමන්ටම අනන්‍ය වූ බොලිවුඩ් ප්‍රතිරූපයක් සහ හැඩයක්.

ෆර්හාන් සිනමාවට එන්නෙ ක්ෂේත්‍රයට යම් සම්බන්ධතා තියෙන පවුලකින් තමයි. ඔහුගේ පියා ජාවෙඩ් අක්තාර් ගීත රචකයෙක් සහ තිර රචකයෙක් විදියට බොලිවුඩ් සිනමාවෙ කැපී පෙනෙන චරිතයක්. නමුත් පවුල් පසුබිම කොහොම වුණත් බොලිවුඩ් වගේ අතිශය තරගකාරී කර්මාන්තයක් තුළ රැඳී ඉන්න ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. එන්න පුළුවන්. ඉන්න බෑ. ඉන්න නම් තමන්ටම විශේෂ වූ දක්ෂතා සහ හැකියා වර්ධනය කරගන්න ඕනෙ. ෆර්හාන් කියන්නෙ අන්න එහෙම චරිතයක්. කොටින්ම ඔහු මේ වන විට තමන්ගෙ පියාත් අබිබවා ගිහින් තමන්ටම සුවිශේෂී වූ සලකුණක් ඉන්දියානු සිනමාව මත තබපු කෙනෙක්.

ෆර්හාන් මුලින්ම සිනමාවට අත්පොත් තියෙන්නෙ නළුවෙක් විදියට නෙවෙයි. අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් විදියට. දිල් චාතා හේ, ලාක්ෂයා, ඩොන් ආදී ප්‍රකට හින්දි චිත්‍රපට ඔහුගේ අධ්‍යක්ෂණයන්. ඒ ඇතැම් චිත්‍රපටවල රචකයාත් ඔහුයි. මේ චිත්‍රපට බොහොමයක් ෆිල්ම්ෆෙයාර් ඇතුළු ඉන්දියාවෙ ජාතික මට්ටමේ සම්මාන උළෙලවල නිර්දේශයට සහ ඇගයීමට ලක්වුණා. ඒ සියලු අත්දැකීම් මිටින් අරගෙන තමයි ඔහු රංගන කාර්යයට අවතීර්ණ වෙන්නෙ.

ෆර්හාන්ගෙ මුල් කාලීන රංගනයන්ගෙන් මම කැමතිම ඔහු 'කාර්තික් කෝලින්ග් කාර්තික්' චිත්‍රපටයෙ දීපිකා පදුකෝන් එක්ක කරපු චරිතයට. ඔහු ඒකෙ නිරූපණය කරන්නෙ හීනමානය නිසා යම්කිසි මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා ඉන්න කාර්තික් නාරායන් නම් තරුණයාගෙ චරිතය. ඔහු ඒ චරිතය ගොඩනගන විදිය බලාගෙන ඉන්න ආසයි. චිත්‍රපටය නැරඹු අයට ඒ රඟපෑම මතක ඇති. ඒක අති සියුම් රංගනයක්. 'සිංදගී නා මිලෙන්ගී දොබාරා' චිත්‍රපටයෙ ඔහු නිරූපණය කරන ඉම්රාන්ගෙ චරිතයත් කදිමයි. විනෝදශීලී, සැහැල්ලු තරුණයෙක් යටින් ඉන්න තමන්ගෙ සැබෑ පියා සොයා යන හැඟීම්බර මානවකයෙක් ඔහු අපූරුවට තිරය උඩට ගේනව. 'බාග් මිල්කා බාග්' තමයි ෆර්හාන්ගෙ රංගනයෙ උච්ඡස්ථානය වෙන්නෙ. ඒ චරිතය වෙනුවෙන් ඔහු බොලිවුඩ් සිනමාවෙ ඉහළම සම්මානය දිනා ගන්නව. රංගනයට අමතරව ඔහු චිත්‍රපට පසුමිබ් ගායනයටත්, නිෂ්පාදනයටත් එකතු වෙනව. එහෙම බැලුවම ෆර්හාන් අක්තාර් කියල කියන්නෙ අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක්, තිර රචකයෙක්, නළුවෙක්, ගායකයෙක් ආදී වශයෙන් පරාස ගණනක් ආවරණය කළ විශිෂ්ටයෙක්.

ෆර්හාන් සාර්ථකත්වයේ හිණිපෙතට ළඟා කළ චරිතයේ සැබෑ හිමිකරු වූ මිල්කා සිං දැන් මේ ලෝකයෙන් නික්ම ගිහින්. නමුත් ෆර්හාන් අක්තාර් හෙටත් සිනමා තිරය ඉදිරිපිට තව නොයෙක් චරිත හරහා අපිව විස්මයට පත් කරයි. බාග් කියන හින්දි වචනෙ සිංහල තේරුම දුවන්න කියන එකයි. නමුත් අවාසනාවකට මේ මොහොත කියල කියන්නෙ මුළු ලෝකයම දුවන්න බැරිව එක තැන ගල් ගැහිල තියෙන වෙලාවක්.

- කසුන් සමරතුංග -