පර්ල් නෞකාවෙන් වැසුණු කතාන්දරය චිත්‍රාවලියකින් කියවමු

පර්ල් නෞකාවෙන් වැසුණු කතාන්දරය චිත්‍රාවලියකින් කියවමු

20 June 2021 03:23 pm

සති කිහිපයක් පුරා ගිනිගෙන විනාශ වූ, රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් සහිත 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව සයුරෙහි ගිල්වීමෙන් සිදුව ඇති පරිසර හානිය සහ සමාජ බලපෑම සම්බන්ධයෙන් සිතුවම් ශිල්පියෙකු වන දිලීප ජීවන්ත විසින් චිත්‍රාවලියක් පින්තාරු කර තිබේ. තෙල්සායමෙන් කැන්වසය මත ඇඳි මෙම චිත්‍ර මගින් ඔහු සමුද්‍ර විනාශය පිළිබඳව වන සිය මතය මුදාහැර ඇත. පහත දැක්වෙන්නේ, එම චිත්‍රාවලියෙන් තෝරාගත් සිතුවම් කිහිපයක් සමඟ ඒවායින් නිරූපණය වන යටිපෙළ කියැවුමකි. එහි අංක සිතුවම් ශිල්පියා යෙදූ අංක නොව, රචකයා විසින් යෙදූ ඒවා බව සලකන්න.

අංක 1 –

මෙය මළ කෑ නෞකාවක සෘජු, කෘෂ උඩුකයකි. එය කඳ෯ බඩ ඈරූ නූතන නෞකාවක් නොවේ. සුපසන් පැහැයෙන් වර්ණ ගන්වා නැතිමුත්, යම්බදු අතීතාඩම්බරයකින් එය දිලෙයි. එය පර්ල් නෞකාව වීමට ද නොවීමට ද පුළුවනි. (පර්ල් නෞකාව, 'ඉන්දීය සාගරයේ මුතුඇටය' ලෙස නම් කෙරෙන ලංකාවේ මුහුදු සීමාවේ ම ගිනි ගෙන විනාශ වීම වෙනම උත්ප්‍රාසයකි)කෙසේ හෝ, මුල්කාලීන පරිවර්තන කතාන්දරවලින් අප මනස වෙළාගත් මුහුදු මංකොල්ලකාර චරිත, අබිරහස් කතාන්දර, වීරයන්ගේ කඩුපහරින් දෙකඩ වුණු සේනා සිහිකරවන්නකි. ජී.බී.සේනානායකගේ 'රණරාළ' කෘතියට නව කංචුකයක් කළතොත්, මෙය ඉතා ම උචිත වනු ඇත.

මේ ඉපැරණි නෞකා සිතුවම දෙස හොඳින් බලතොත්, එයින් මුහුදු දිය බේරෙනු පෙනෙන්නට ගනී. නොඑසේනම්, මෙය මුහුදුබත් වී තිබී, යළි මුහුදු මත්තට පැමිණි එකකැයි කිවහැකිය. මුහුදේ කළු පැහැයට හුරු නිල් පැහැයත් රළ බිඳීමුත්, මෙම නෞකාව ඇත්තේ, ගැඹුරු මුහුදේ බව අපට පෙන්වයි. මෙම සිතුවමෙන් උපකල්පනය කළ හැකි දෙයක් නම්, පර්ල් නෞකාව පමණක් නොව තවත් නෞකා මේආකාරයෙන් සමුද්‍ර දූෂණයට ලක්වන සේ, අප වෙසෙන දිවයින වටා මුහුදේ ගිල්වා ඇති බවය. ඉන් එහා ගියහොත්, සයුරේ ගිල්වූ පර්ල් නෞකාව සමඟ යට යන සියලු කතාන්දර, නැව ගොඩගන්නේ නම් යළි මතුපිටට පැමිණිය හැකි බවයි.


අංක 2 –

පර්ල් නෞකාව ගිනි ගනී. එහි දුමාරයේ සිතුවමේ වම්පසට විසිරී යයි. කුඩා නැවකින් ඊට වතුර විද ගින්න මැඩලීමට තැත් කරනු පෙනේ. අහසත් මුහුදත් අඳුරු පැහැ ගනී. නැවෙන් ගලා ගිය රසායනික ද්‍රව්‍ය වෙරළ දක්වා ගලාවිත් ඇත. ඒ තෙල් අතරින් ගින්නේ දිස්නය පෙනේ. වෙරළ අවට කුඩා සුදු ප්ලාස්ටික් කැබලි විසිර තිබේ. ඒවා පෙනෙන්නේ, අර කී තෙල්වර්ග හේතුවෙන් මියගොස් මුහුදු තලය මතුපිටට පැමිණි කුඩා මත්ස්‍යයින් ලෙසින් වීමට ද පුලුවන. සිතුවමේ වැඩි ඉඩක් මුහුද වෙනුවෙන් වෙන්කර ඇති අතර, නෞකාව ඈත සිතිජය පෙනෙන තැන අවුරා රැඳී සිටී. 'මෙය හිරු බැසයාමක් නොවේ' යැයි චිත්‍රශිල්පියා සිතුවමේ සුදු පැහැ කොටසෙහි සටහන් කරයි. එය හිරු බැසීමක් නොවන බව නරඹන්නා ම දනී. නමුත්, මෙහිදී නිශේධනයක්(නැත යන අදහසක්) ඉදිරිපත් කිරීමෙන් නිරූපිත අර්ථය වඩාත් මතුකිරීමට චිත්‍රශිල්පියා සමත් වේ. එය, නෙගටිව් මාකටින් මෙනි.


අංක 3 -

කැස්බෑවා මළානික සෙයියාවකින් වෙරළේ වැතිර සිටී. නැතොත් ඌ මියගොසින් වෙරළට ගසාවිත් ඇත. නමුත්, මුහුණ අවට කහ පැහැයෙන් දිදුලන බව නිසා තවමත් යම් කිසි පණක් සිරුරේ ඇතැයි ද සිතිය හැකිය. එක්කෝ ඒ දිදුලන්නේ නැවෙන් හළ තෙල් තැවරී විය හැකිය. වෙරළ පුරා ප්ලාස්ටික් කැට විසිර තිබේ. උගේ පිටකටුවේ මදක් පමණ තැන දක්වා වර්ණගැන්වී ඇත. වර්ණ නොගැන්වී ඇති, සුදු පැහැ කොටස යටින් අපට නොපැහැදිලිව රතු පැහැය බොඳ වී පෙනේ. සිතුවම් ශිල්පියා ඒ සුදු පැහැති තැන් "පාට කරන්න" යි බලන්නාට කියයි. නොඑසේ නම්, "තම තම නැණ පමණින්, ඔබ කැමති ආකාරයකට, මේ සිදුවීම පාට කරගන්න" යි කියනා සෙයකි. අපට මෙහි උත්ප්‍රාසය වැටහෙන්නේ, එය දැනටමත් විවිධ පිරිස් විසින් ඔවුන්ගේ අභිමත පරිදි, පාට කර, පොදු මිනිසා අන්දවා ඇති හෙයිනි. එම වැකිය නිවැරදි කළොත්, පාට කර අන්දවා ඇතැයි ඔවුන් සිතන හෙයිනි.


අංක 4 –

මුහුදේ ගිල්වන ලද නැවෙන්, සයුර මතුපිටට පැමිණෙන දිය බුබුළු, දිය රැළි  ඈතින් දිස්වෙයි. එයින් ගලා යන රසායනික, මළකඩ, තෙල් තවදුරටත් මුහුදට මුසුවෙමින් පවතී. දැන් මුහුද තද නිල්ය. පෙර සිතුවමකදී මෙන් අඳුරු පැහැ නැත. දැන්, නෞකාවෙන් යට ගිය රහස්, නොකී කතා සඟවා අවසන් බැවින්, යළි මිනිසුන්ට තත්වය සාමාන්‍ය බව පෙන්වන්නාක් මෙනි.

'මෙය පර්ල් (නෞකාව/පබලු) නොවේ' යනුවෙන් සඳහන් කර මෙහිදී ද චිත්‍ර ශිල්පියා විරෝධාභාසයක් ගෙන එයි.  අහසත් මුහුදත් වැසී යන පරිද්දෙන්, කුඩා කෙටි සුදු ඉරි කැබලි සිතුවම පුරා විසිර තිබේ. මේවා නැවෙන් විසිරුණු ප්ලාස්ටික් කැබලිය. ඒවා කෙතරම් හානියක් කර ඇත්දැයි කිවහොත්, නරඹන්නාට සිතුවම බැලීමට සිදුව ඇත්තේ, එම ප්ලාස්ටික් කැබලි පිරුණු පසුබිම තුළිනි. ඒවා නොමැති කුඩා හිස්තැනක් හෝ නැත. නැව ගිල්වූ නමුත්, එහි ව්‍යසනයෙන් ගැලවිය නොහැකි බව සිත්තරාගේ ප්‍රකාශනය වූවා විය හැකිය.


අංක 5 -

නැවේ සිතුවම් මාලාව අවසානයේ,  ඇති සිතුවම මෙයයි. මේ සිටින්නේ නැව තිබූ මුහුද දෙසට නොව යලි දූපත දෙසටම හැරුණු මිනිසෙකි. දූපතෙන් එළිය දෙස ඔහු නොබලයි. දෑස් වසාගෙනය. එක්කෝ ඔහු නැව නොදැක, නැත්නම් ගණන් නොගෙන සිටී. එසේත් නැත්නම් ඔහු සිටින්නේ තමන් ඇතුළට, තමන් වෙතට ම නැවුණු මනෝභාවයකිනි. විවෘත වූ චරිතයක් නොවේ. ඒ කිමද? පිළිතුර ඔහුගේ හාව භාව ලීලා රැගත් මුහුණේ ලියැවී ඇත!

ඔහුගේ සමේ වර්ණය - නැවෙන් නිකුත් වූ තෙල් වලින් තඹ පැහැ වූ වෙරළේ පැහැයමය. එය මිනිසාට බලපාන බවට ඉන් ඉඟිකරයි. තෙල්වල දිස්නයක් එහි ඇත. දුක්බර, උත්ප්‍රාසජනක, හැකිළුණු, මුහුණකි. යම් ආත්මාර්ථයක් එය දනවයි. රතු තෙත තියුණු තොල් සඟලත්, පළල් නළල් තලයත්, හොඳින් පීරූ හිස කෙසුත් මතු නොව, ඔහු මුහුණෙන් අපට පෙන්වන 'වැදගත්' පෙනුමත් පැනයක් ඉතිරි කරයි. "මේ බුද්ධිමත් මුහුණ පෙන්වා ඔහු අපෙන් සඟවන්නේ කුමක්ද?"

පසුබිමෙන් රළ නැඟෙන මුහුදක් සහ අඳුරු වෙරළකි. මේ මිනිසාගේ සිතේ ඝෝෂාව මුහුදු රළවලින් නොපෙන්වන්නේ ද?

ඩිල්ශානි චතුරිකා දාබරේ