ලංකාවට නිදහස ලැබුනේ කවදාද ?

ලංකාවට නිදහස ලැබුනේ කවදාද ?

18 June 2021 07:12 pm

මා පලකල පෝස්ට් එකක එක් හිතවතෙක් ඉහත පැනය අසා තිබුණි. ඔහු බලාපොරොත්තු වන්නේ ඔහුගේ දේශපාලන දැක්මට අනුගත වූ අහිංසක පිළිතුරක් බව මට හැඟෙයි. ඔහුගේ අරමුණ කෙසේ වුවත් එම පැනය ඉතා රසවත් සාකච්ඡාවකට දොරගුළු විවර කරයි.

රටක් යනු යම් බිම් කඩකි. එවැන්නක් නිදහස් වීම යන්නෙහි අර්ථයක් ඇත්දැයි මට ගැටළුවක් ඇතිවෙයි. ඊටත් පෙර අප විමසා බැලිය යුත්තේ නිදහස යනු කුමක්ද කියාය. නිදහස අර්ථ දැක්වීමට නම් අප මානව ඉතිහාසයේ ඇරඹුමට යායුතුය. 

කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මානවයා සමුහයක් ලෙස ඒකරාශී වීමේදී ඔවුන්ට සාමුහික මග පෙන්වීමක අවශ්‍යතාවය දැනෙන්න ඇත. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ඔවුන් නායකත්වයක් සොයා ගැනීම ස්වභාවිකය. මේ නායකත්වය විසින් ලබා දුන් මගපෙන්වීම වෙනුවෙන් සමූහයට යම් ගෙවීමක් කිරීමට සිදුවිය. මරා ගත් සතාගේ හොඳම මස් කුට්ටිය, සමුහයේ සිටින රුමත්ම කාන්තාවන්, සමුහයේ ශ්‍රමය, ආදී වශයෙන් මෙම ගෙවීම කරන්න ඇත. නමුත් ඔවුන් විශාලම ගෙවීම කලේ එයින් නොවේ. ඒ ඔවුන්ට තනි තනිව සිටින විට හිමිව තිබූ සිතීමේ, කතා කිරීමේ සහ කටයුතු කෙරීමේ හැකියාවෙනුයි. මෙම සීමා කිරීම සමුහ පාලනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වූ අතර එක් එක් නායකයා මත මෙම සීමාවන්ගේ දිග පළල තීරණය විය. මා අර්ථ දක්වන ආකාරයට නිදහස යනු මෙම මානවයා සතු සිතීමේ, කතාකිරීමේ (භාෂණයේ) සහ කටයුතු කිරීමේ  හැකියාවයි. මනා සමුහ පාලනයක් සඳහා මෙම නිදහස සීමාකිරීම අත්‍යවශ්‍ය වෙයි. නමුත් එහි සීමා මායිම් මොනවාද? මෙය වැදගත් පැනයකි. 

ශිෂ්ඨාචාර ඉදිරියට ඇදෙද්දී නායකයා පාලකයා බවට පත්වෙමින් ඔහු වඩ වඩාත්  සමුහයේ නිදහස සීමා කර ඇති බව පෙනෙයි. මෙහිදී පාලකයා  තමාගේ කාර්යභාරයෙන් ඉවත්වී ස්වාර්ථය පිණිස කටයුතු කිරීම වැඩි කරන තරමට (අද වචනයෙන් නම් දූෂණය, භීෂණය, වංචාව වැඩි වන තරමට) ඔහු සමූහයේ නිදහස් සීමා කිරීම වැඩි කරන්න ඇති බව අපට නිගමනය කල හැක. 

යම් රටක පාලනය පවතින පාලන තන්ත්‍රය පරදා තම අනසකට නතු කරගැනීම එම බිම් කඩෙහි අයිතිය හුවමාරු කරගැනීමකි. මෙහිදී රටවැසියාගේ නිදහස අඩු වෙනවාද වැඩි වෙනවාද යන්න ඒ ඒ අවස්ථාව මත රඳා පවතී. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු එළාර රජුගෙන් බිම්කඩෙහි අයිතිය ලබා ගැනීම රටවැසියාගේ නිදහසට කෙසේ බලපාන්න ඇත්දැයි පුරාවිද්‍යා සාක්ෂි මත නිගමනය කල යුතු කරුණකි. සමහර විට මෙම සටනින් දුටුගැමුණු පැරදුනා නම් එළාර විසින් ලංකාවම අත්පත් කරගැනීමට ඉඩකඩ තිබුණි. එසේ නම් අද අප එළාර වීරයෙකු සහ දුටුගැමුණු දුෂ්ටයෙකු ලෙස නම් කරනු ඇත.

නිදහසේ සීමාවන් පිළිබඳව මානවයා තුල පවතින මිනුම් සලකුණු (benchmarks) විවිධාකාර වේ. සාමාන්‍යයෙන් වැසියන්ගේ නිදහස ක්‍රම ක්‍රමයෙන් කප්පාදු වන විට හෝ ඇතිකරන වෙනස යම් කාල සීමාවක් ඉක්මවා පවත්වාගෙන යනවිට ඔවුන්ට ඒ පිළිබඳව දැනීමක් නැතිවෙයි. මේ අනුව ඔවුන් කාලයෙන් කාලයට තම මිනුම් සලකුණ වෙනස් කරගනිමින් ඉතා කටුක තත්වයක් වුවද සාමාන්‍ය ස්වභාවය යයි සම්මතයක් ඇති කරගනියි. ඉතිහාසයෙන් මේ සඳහා ගත හැකි උදාහරණයක් නම් ඇමරිකාවේ සිටි වහලුන්ය. ඔවුන් බොහෝ දෙනෙක් තමන්ව වහල්බාවයෙන් මුදවාලනවාට කැමැත්තක් නොදැක්වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. වර්තමානයේ මේ සඳහා ගත හැකි හොඳම උදාහරණය චීන වැසියන්ය. බොහෝ සාර්ථක පාලකයෝ රටවැසියන්ගේ මේ මනෝභාවය පිළිබඳව හොඳින් අවබෝධ කරගත් අය වෙති.

මිනිසුන්ට තමන්ගේ නිදහස කප්පාදු කර ඇති බව හැඟෙන අවස්ථා තුනක් ඇත. ඉන් පළමුවැන්න කවරෙකු විසින් හෝ ඔවුන්ට ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට තරම් දක්ෂ වීමයි. මාටින් ලූතර් කිං, චේ ගවේරා, නෙල්සන් මැන්ඩෙලා ආදීන් මේ සඳහා උත්සහ ගත් චරිත කිහිපයකි. ඔවුන්ගේ බලපෑම ඉතා විශාල සමාජ පෙරලියක් කිරීමට පාදක විය හැකි බැවින් අදාළ රටේ පාලකයන් මෙම චරිත විනාශ කරදැමීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. 

මිනිසුන්ට තමන්ගේ නිදහස සීමා කර ඇති බව හැඟෙන ඊළඟ කාරණය නම් එකවර විශාල වෙනසක් වීමයි. හොංකොං රාජ්‍යයේ පසුගියදා සිදු වුයේ එවැනි වෙනසකි. එහෙත් අප කලින් දැක්වූ පරිදි මෙම වෙනසට කාලයත් සමග මිනිසුන් හුරුවෙයි. හොංකොං රාජ්‍යයේ මෙන්ම බුරුමයේද මේ වෙන විට සිදුවෙමින් පවතින රටවැසියාගේ මේ හුරුවීම අපට අධ්‍යනය කල හැක. 

මේ පිළිබඳව ඇති තෙවන කාරණය නම් පාලනය තමන්ගේ කෙනෙකුගෙන් පරිබාහිර පිටස්තර පුද්ගලයෙකු හෝ බලවේගයක් විසින් අත්පත් කරගැනීමයි. ඉස්ලාම් ආක්‍රමණිකයන් බටහිර ආසියාව හරහා ඉන්දියාවට පැමිණෙද්දී බොහෝ වැසියෝ ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුහ. එහෙත් පසු කලෙක ඒ කැරලි ගැසූ අයගේ පරම්පරාම ඉස්ලාම් ආක්‍රමණිකයන් බවට පත්විය. මේ ආකාරයටම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අත්පත් කරගනිද්දී ලාංකිකයා කැරලි ගැසීය. මෙහිදී ස්වදේශික රජුන් යටතේ රටවැසියාට තිබූ නිදහස තවදුරටත් කප්පාදු උනාද එසේ නැත්නම් වැඩි වුනාද කියා අධ්‍යයනයක් කිරීම වටින්නේය. මේ ආකාරයට තමාව පාලනය කරන පාලන තන්ත්‍රය පිටස්තර බලවේගයක් නතු කරගත් විට වැසියන් ඊට එරෙහි වන්නේ ඇත්තටම ඔවුන්ගේ නිදහස අඩුවන නිසාද නැත්නම් පිටස්තර පාලනයකට දක්වන අකමැත්ත නිසාද යන්න හැදෑරීම අපි මතුවට තබමු.

පාලකයන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ රටවැසියන් තමන් වෙනුවෙන් බොහෝ දේ කැප කිරීමයි. මෙය තමන්ගේ මාලිගා තැනීමේ සිට තමන් වෙනුවෙන් "සතුරන්" සමග සටන් කර දිවි පිදීම දක්වා දිව යයි. නමුත් සාමාන්‍යයෙන් මානවයා තවත් මානවයෙකුගේ අණ දීම් පිළිගැනීමට මැලි බවක් දක්වයි. මේ මානසික අවස්ථිතිය යටපත් කිරීමට පාලකයා විසින් ඉතා සාර්ථක උපක්‍රම තුනක් භාවිතා කරයි.

ඉන් පළමුවැන්න නම් අජීවී බිම් කඩකට සංකල්පීය ජීවයක් ලබා දීමයි. මෑතකදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම වැඩසටහනකදී දැන්වීම් සහ අලෙවිකරණ ආයතන ගැනුම්කරුවන්ගේ මනෝභාවයේ අති සංවේදී ස්ථාන කිතිකවන ආකාරය පිළිබඳව විස්තර කරන ලදී. මෙහිදී ඔවුන්ගේ ප්‍රධානම උපක්‍රමය "අම්මා" යන යෙදුම භාවිතා කිරීමයි. එය එළදෙනගේ සිට ගෑස් සිලින්ඩරය දක්වා ව්‍යාප්තවී ඇත. මෙම වෙළඳ උපක්‍රමය පාලකයා විසින් ප්‍රයෝජනයට ගන්නේ මීට සහශ්‍ර කිහිපයකට පෙරයි. මේ අනුව ඔවුන් අජීවී බිම් කඩක් වන රටකට මව ආදේශ කර "මව්බිම" තනා ගනී. ඉංග්‍රීසියෙන් "motherland" ලෙසද ලොව වෙනත් සියලුම භාෂාවලින්ද මෙලෙස බිම් කඩක් වෙනුවෙන් අම්මා අලෙවිකරයි. "මව්බිම නැත්නම් මරණය" ආදී සටන්පාඨ මෙහි ඇති අති සාර්ථක බව පෙන්නුම් කරයි.

දෙවැන්න ආගමයි. තවත් කෙනෙකුගේ අණ දීම් පිළිපැදීමට අකමැති මිනිසා තමන්ගේ පංචේන්ද්‍රියට ගෝචර නොවන බලවේගයන්ගේ අණපනත් වලට කිසිඳු පැකිලීමක් නොමැතිව කීකරු වෙයි. මේ අනුව පාලකයා විසින් තමන්ට අවැසි දේ මහජනතාව මත පැටවීම සඳහා දෙවියන් මවා ඇති බව පෙනෙයි. මෙහිදී පාලක-පූජක සංයෝගය ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ භෞතික නොවන බලවේගයන්ගේ අවශ්‍යතාවය කෙතරම් පාලකයාට අවශ්යවීද යත් එවන් ලෝ පාලක දෙවිවරුන් ප්‍රතික්ෂේප කල දහම් පිළිගන්නා රටවල පවා කෙසේ හෝ මිනිසාට අණ දීමට සමත් දෙවිවරුන් බිහිකරගෙන ඇත. සමහර අවස්ථාවලදී ගස්, කඳු හෝ පුජනීය ස්ථාන වලට අධිගෘහිත දෙවිවරුන් ලෙසද මේ බලවේග එළිදක්වා ඇත. 

තෙවැන්න ජාතියයි. ජාතියක් අර්ථ දක්වන්නේ යම් සමානතා ඇති සමුහයක් හැඳින්වීමටයි. නමුත් පාලකයා විසින් මෙම සංකල්පය ඊට වඩා බොහෝ සෙයින් තමාට පාලනය ගෙනයාම සඳහා උපකාරී වන්නාවූ කර්තව්‍යයකට යොදාගෙන ඇත. රටක පාලකයාට අමතරව ප්‍රාදේශීය නායකයන් තවත් උපකුලක රාශියක් පාලනයේ පහසුව සඳහා භාවිතා කරයි. කුලය, ගෝත්‍රය, වෘතිය මින් කිහිපයකි.  

දැන් අපි අපේ හිතවතාගේ පැනය දෙස බලමු. ලංකාව කෙසේ වෙතත් රටේ ජනතාවගේ නිදහස සාක්ෂාත් වූ අවස්ථා කිහිපයක් මෙරට ඉතිහාසයේ දකින්නට ලැබේ. 1948 පෙබරවාරි 4 වනදා මෙය සිදුවුනාද යන්න ප්‍රශ්නාර්ථයකි. මම දකින ආකාරයට මෑතකදී ජනතාවගේ නිදහස වැඩිවූ එකම අවස්ථාව 2009 මැයි මාසයයි. මෙහිදී නිදහසේ වැඩිම වර්ධනයක් සිදුවුයේ දෙමළ ජනතාවටයි. එය ලංකාවේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින දෙමල ජනතාවගේ නිදහසේ වැඩිවීමකි. ඔවුන්ට LTTE පාලන සමයේ තිබුනාට වඩා විශාල වශයෙන් සිතීමේ, භාෂණයේ සහ කටයුතු කිරීමේ නිදහස් හිමි විය. දකුණේ ජනතාවටද බියෙන් සැකෙන් තොරව ගමන් බිමන් යාමේ නිදහස හිමි විය. මෙය අප සැමගේ සතුටට කාරණයක් විය.

එහෙත් ඉන් වසර දොළහකට පසු මේ නිදහස පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? 

chandimagomes.blogspot.com

UN