එළවලු ටික,පැන්ෂන් පඩිය,බෙහෙත් ටික නිවසට යවන්න නැති යාන්ත්‍රණය මත්පැන් බෙදාහරින්න සකස් වීමම ලැජ්ජාසහගතයි - GMOA

එළවලු ටික,පැන්ෂන් පඩිය,බෙහෙත් ටික නිවසට යවන්න නැති යාන්ත්‍රණය මත්පැන් බෙදාහරින්න සකස් වීමම ලැජ්ජාසහගතයි - GMOA

16 June 2021 01:52 pm

එළවලු ටික හරියට බෙදාහරින්න බැරි,විශ්‍රාම වැටුප,ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

අද (16) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ කොවිඩ් රෝගය නිසා දිනකට අසන්න වශයෙන් 50 දෙනෙකු පමණ මියයන, එමෙන්ම එක දිගට රෝගීන් වාර්තා වන තත්ත්වයක මෙම රෝගයේ වැළකී  සිටීම සඳහා ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ලෙස ජනතාවට උපදෙස් දෙන පරිසරයක  ප්‍රතිශක්තිකරණය හීන කරන මත් ද්‍රව්‍ය ඔන්ලයින් හරහා ජනතාව  අතට ලබා දීමට ගෙන ඇති තීරණය ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර රජය එවැනි දෙයකට සහය නොදැක්විය යුතු බවයි. 

මේ  ළ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය. 

ඒ අනුව පූජ්‍ය පක්ෂය ඇතුළු සියලු දෙනා මෙයට එරෙහි විය යුතු බවයි ඔහු පැවසුවේ. 

කොවිඩ් තත්ත්වය සමඟ මේ මොහොතේ සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙන බලපෑම හොඳටම ප්‍රමාණවත් බවත් මත්ද්‍රව්‍ය නිවෙස වෙතම ලබා දීමෙන් අනෙක් පැත්තෙන් ඒ හරහා ඇති වන රෝග නිසාද බලපෑම එල්ල වන්නේ සෞඛ්‍ය අංශ වෙත බවත් කොළඹගේ මහතා පෙන්වාදුන්නේය.

මෙය ගෘහස්ත හිංසනය වැඩි කරන කාරණයක් ද විය හැකි බවයි කොළඹගේ මහතා කියාසිටියේ.

මෙවැනි තීරණයක් ක්‍රියාත්මක වීමෙන් සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළුව මහජනතාවද දැඩි අපහසුතාවකට පත්වන බව ද හෙතෙම සඳහන් කරන ලදී.

ASK