චින්න චින්න ආසෛ 09 - සාගර යාන්තමින් බේරෙයි.. පර්ල් අතුරුදන් !

චින්න චින්න ආසෛ 09 - සාගර යාන්තමින් බේරෙයි.. පර්ල් අතුරුදන් !

13 June 2021 04:08 pm

ලියන්න හිතුණා, සාගරගෙයි පර්ල්ගෙයි කතාව. මේක චිත්‍රපටයක තිබ්බ කතාවක් නොවුණත්, පොඩ්ඩක් කල්පනා කරල බැලුවම, චිත්‍රපටි කතාවක්ම  නේද කියලත් හිතෙනවා. වෙලාවකට ආදරණීයයි. තවත් වෙලාවකට අනුවේදනීයයි. සාගර සහ පර්ල් ජීවත්වුණේ එකම නගරයක දෙතැනක. ඇත්තම කියනවා නම්, පර්ල් දිවි ගෙව්වේ නගරය මැද තැනක. සාගරගේ නවාතැන තිබුණේ නගරයේ මායිමට වෙන්න.

ඒ දෙන්නා අතර මොන වගේ සම්බන්ධයක් රහසින් තිබුණද කියල දැනගෙන නොහිටියත්, ඒ දෙන්නම එකම ක්ෂේත්‍රයක් වෙනුවෙන් කැපවෙලා හිටියා කියල අපි දැනගෙන හිටියා. ඒ දෙන්නට දෙන්නා ආදරේ කෙරුවද කියල අපි දැනගෙන නොහිටියත්, ඒ දෙන්නටම ඒ නගරයේ සහ අවට ගොඩක් අය ආදරේ කළා. එහෙම ආදරේ කරන්න ලස්සන හේතුවක් තිබුණා. මම ඒක තව ටිකකින් කියන්නම්. රැඳී සිටින්න අප සමග..

ඒ දවස්වල සාගර සහ පර්ල් වෙන වෙනම බැබළෙන්න හදනවා වගේ දැනුනත්, අතීතය දිහා ආපහු හැරිලා බලනකොට තේරෙනව, ඒ සොඳුරු රණ්ඩුව නිසා දෙන්නම බැබළුණා නේද කියලා. ඒ කාලේ අපි ඔය දයලෙක්තිකය වගේ බර වචන දැනගෙන හිටියෙ නැහැ. හැබැයි දෙතැනක ඉඳන් වුණත් ඒ දෙන්නා එකිනෙකාට ආලෝකයක් වුණා. දෙන්නා අතර මොකක්දෝ තරගයක් තියෙනව වගේ වෙලාවකට දැනුණත්, ඒ තරගයම සුන්දර සම්බන්ධයක් බවට පත් වුණා.

මම මේ මාධ්‍යයට පළමු වතාවට කියන්නේ.. මේ ලියුම්කරුත් ඒ දෙන්නටම ආදරේ කළා. ඇත්තටම කියනවනම්, ඒක පටන් ගත්තේ රහස් ආලයක් විදිහට. එක දවසක පර්ල් හොයාගෙන යනවා. තවත් දවසක සාගර හොයාගෙන යනවා. සමහර දවස්වලට දවල් කාලෙ පර්ල්ට ළංවෙලා, හවස් වෙනකොට සාගර හොයාගෙනත් ගියා. අප්පා... මතක් කරනකොටත් සිනෙමායාවක් වගේ රමණීය ෆැන්ටසියක් ඒක.

හැබැයි ඉතින් ඒ රසය වින්දේ තමන් විතරක් නොවන බව මේ ලියුම්කරු සහසුද්දෙන් දැනගෙන හිටියා. ඒ රසය වෙනත් අය විඳිනවා මේ ලියුම්කරු අනන්ත අප්‍රමාණව දැකලත් තිබුණා. ඒත් ඒක හරි විවෘත මනෝභාවයක්. තමන් විඳින රසය වෙනත් කෙනෙක් විඳිනකොට කවදාවත් ඊර්ෂ්‍යාවක් හටගත්තෙ නැහැ. අන්න ඒක තමයි සංස්කෘතික සම්බන්ධයක තියෙන අසිරිමත් බව.

ඒ නගරයෙන් පිට වෙලා අග නගරයට පැමිණීමත් සමග මේ ලියුම්කරුට පර්ල් සහ සාගර මගහැරුණා. ඒත් ඒ දෙදෙනා සමග වෙන වෙනම වුවත් ගත කළ සොඳුරු හෝරා ගැන මතකයන් අතීත සිනමා පටයක සෙලෝලයිඩ් රූප රාමු පෙළක් වගේ මතක් කරලා දිග හැරගන්න පුළුවන්. ඔවුන්ගේ තුරුලේ අපි වෙනම ලොවකට පාවුණා. ඒ ලෝකයේ අපි මියුරු මිහිරක යා වුණා.

මීට වසර කීපයකට කලින්, අගනගරයේ සිට මුල නගරයට ගිය වෙලාවක මේ ලියුම්කරුගේ පපුව පත්තු වුණා. පර්ල් මිය ගිහින්. ඈ හිටපු තැනක්වත් නැහැ. ඇගේ නවාතැනේ එකදු බිත්තියකවත් ශේෂ නොවන පරිද්දෙන් සියල්ල සමතලා වන සේ ඩෝසර් කර දමා තිබුණා. කිසිදා පර්ල් නුදුටු සාගර, ඒ නගරයේ මායිමේ තනිවම වයසට ගොස් සිටියා. සාගර තවමත් ඉන්නවා. ඒත් ඉස්සර ජවය නැහැ.

ආ.. තව විශේෂ දෙයක්. ඒ කාලයේ ඔවුන් දෙදෙනා වෙත බොහෝ නළු නිළියන් පැමිණියා. පර්ල් වගේම සාගරත් ඒ හැමදෙනාවම තමන් සතු ධවල රෙදිකඩ මත සතපවාගත්තා. ඔවුන් එහි සැතපෙන නැළවෙන රඟ දෙන අයුරු බලන්නට සමහර දවස්වලට අපි පොරකෑවා. ඒ රැඟුම් බලන්නට කවුරුවත්ම නොඑන අවාසනාවන්ත දවස් නොතිබුණා නෙමෙයි. ඒ වගේ දවස්වලට පර්ල් සහ සාගර සුපුරුදු නිහඬ වතින් ඔහේ බලා සිටියා.

අතීතයේ මුතුවලට ප්‍රසිද්ධ යැයි ජනප්‍රවාදයක් තිබෙන නිසා `මුතුපුර` කියා දැනුත් සමහර වෙලාවට සාහිත්‍යයික නමකින් හලාවත නගරය ඇමතෙනවා. ඒ මුතු ඥාතීත්වය නිසාම වෙන්න ඇති ඒ නගරයේ තිබූ එක් සිනමා ශාලාවක නම `පර්ල්`. ඒ වගේම හලාවත මුහුදුබඩ නගරයක් නිසා එහි තිබූ අනෙක් සිනමා ශාලාව `සාගර`. මුතු තියෙන්නේ සාගරේ වුණාට සාගර තියෙන්නෙ කුරුණෑගල පාරේ.

රීගල් - කොළඹ, සැවෝයි - වැල්ලවත්ත, වෙම්බ්ලි - මහනුවර, ඊරෝස් - පාමංකඩ, ලිඩෝ - බොරැල්ල, ටාසන් - කෑගල්ල, මේඛලා - ගම්පහ ආදී අතීත සිනමාශාලා නාමාවලියේ මැද තැනක, සාගර - හලාවතටත්  පර්ල් - හලාවතටත් වෙන් වූ තැනක් තිබුණා. දශක ගණනක් තිස්සේ ඉතා ආදරයෙන් ඔවුන් සොයා එන සිනමා ප්‍රේක්ෂක සමූහයක් පර්ල් සහ සාගර සතු වුණා.

පර්ල් මිය ගොස් ඇත්තේ ඇගේ බදු ගිවිසුම කල් ඉකුත් වූ නිසාලු. මේ රටේ පාසල් වැහෙනවා. මිනිසුන් ඒ ගැන වදවෙනවා. එහෙම වෙන්න එපැයි. පන්සල් පල්ලි කෝවිල් නම් අලුතෙන් ඇරුණොත් මිසක් වැහෙන්නේ නැහැ. ඒත් සිනමා ශාලා - රංග ශාලා වැහෙනකොට කාටවත් ඒ ගැන ගානක් නැත්තේ ඇයි ? සංස්කෘතික ජීවිතය කියන එක අපේ අවශ්‍යතා ලැයිස්තුවේ පහළින්වත් තියෙනවද කියන එක සාධාරණ සැකයක්.. ස්වාමිනී !

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ තිබූ බීර අවන්හල මේ ලියුම්කරුට සිහිපත් වෙනවා. කලා සංස්කෘතික ක්‍රියාධරයන්ගේ අල්ලාප සල්ලාපයට වගේම අලුත් දේවල් කතාබහ කරන්න නිර්මාණය කරන්න තිඹිරි ගෙයක් වෙච්ච පුංචි ලස්සන තැනක්. එතැනට අත්වුණෙත් පර්ල්ගේ ඉරණම වෙන්නැති. රටපුරා කීයක් නම් එවැනි ඉරණම් උදාවී ඇද්ද ? පුරවැසි ජීවිතවල මහා හිස්තැන හැදෙන්නේ පුංචියට පෙනෙන මෙවැනි සිදුවීම්වලින් නෙමෙයිද ?

නාගරිකයන්ගේ සංස්කෘතික ජීවිතය තඹ සතේකට ගණන් නොගන්න - සමහරවිට එහෙම එකක් තියෙනවද කියලත් නොදන්න - නරක සභා - මහ නරක සභාවලින් මුතු ඇටයට අඩුවක් නැහැ. මිනිස් පොකුරකට විනෝදාස්වාදය දෙන බිම්කඩවල් අතුගාල දානකොට එයින් පසු ඇතිවෙන සංස්කෘතික හිස්තැන ගැන වදවෙන ජනතා නියෝජිතයෙක්...  ඔහ්, සමාවෙන්න. අවශ්‍ය වුණේ නැහැ මේ සටහනේ අන්තිමට, උපහාස සිනහවක් ඔබේ මුවට නංවන්න.  

සංස්කෘතික නෞකාව ගිලී ගියොත් - ජීවිත වෙරළබඩ ගල්මල් වෙනුවට ඇසිඩ් !

විමල් කැටිපෙආරච්චි