ඉන්ධන මිල ඉහළ යාමෙන් තෙල් සංස්ථාව අභිබවා IOC සමාගමට දෙගුණයක ලාභයක්!

ඉන්ධන මිල ඉහළ යාමෙන් තෙල් සංස්ථාව අභිබවා IOC සමාගමට දෙගුණයක ලාභයක්!

12 June 2021 03:35 pm

ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව මහ පාරට ඇද දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ අද (12) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයත් සමඟ පාරිභෝගික භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යන බවයි ඔහු කියා සිටියේ. 

මෙලෙස ඉන්ධන මිල වැඩි කළේ ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් බව පැවසුවද ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වන අවස්ථාවල එම සහනය ජනතාවට ලැබී නැති බවද ඔහු සඳහන් කරන ලදී. 

''ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගන්න තෙල් මිල ඉහළ දමන බව ප්‍රකාශ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන හැම වෙලාවෙම ඒ සහනය ජනතාවට දීලත් නැහැ, තෙල් සංස්ථාවේ පාඩුව පියවලත් නැහැ. අමතර ලාභය මහා භාණ්ඩාගාරයට අරගෙන තිබෙනවා. පහුගිය කාලයේ තෙල් බැරල් එකක මිල ඩොලර් 40ට විතර අඩුවුණු වෙලාවේ ඒ සහනය ලබා නොදී ඉදිරියේදී තෙල් මිල වැඩිවූ අවස්ථාවල සහනය ලබාදීම වෙනුවෙන් අරමුදලක් හදන බව කීවා. මහ බැංකු වාර්තාවේම සඳහන් කර තිබෙන්නේ “වෙළඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන ඛනිජ තෙල් මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබමින් මාස 06ක් තුළ බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබේ” කියලා. ඉන්ධන මිල ස්ථාවරය පවත්වාගෙන යෑමේ අරමුදල මිල අඩුවුණු වෙලාවේ පිහිටවූවා. දැන් ඒ අරමුදලට මොකද වුණේ? 

අද ඒ අරමුදල ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. හැබැයි 2020 මහ බැංකු වාර්තාවෙන් තවත් තොරතුරු හෙළි වෙනවා. “ගෝලීය තෙල් මිල සාපේක්‍ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල දේශීය මිල මට්ටම නොවෙනස්ව පවත්වාගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය 2020 වසරේදී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව ඛනිජ තෙල් නීිතිගත සංස්ථාව පසුගිය වසරේ රු. බිලයන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේදී 2020 වසරේ බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී ඇත” මාස කිහිපයකට කලින් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් තිබුණා නම් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවේදී, අනික් පැත්තෙන් කෝටි 20,000ක අරමුදලක් හැදුවා නම් ජනතාවට දෙනවා කියූ සහනය දැන් දෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරලා තියෙන්නේ ජනතාවට පාරට බහින්න බැරි කරලා කොරෝනා වසංගතය පිට දාලා තවත් බර පටවමින් ඉන්නවා.''

ඒ අනුව මෙයට රටක් ලෙස විරෝධය දැක්විය යුතු බවයි හදුන්නෙත්ති මහතා පැවසුවේ.

''මේ මිල වැඩිකිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් රු. 157 දක්වා ගෙනත් තිබෙනවා. ගොඩබෑමේ වියදම රු.97.70යි. සැකසුම් වියදම් හැටියට 10.60ක්. එකතු කරනවා. මූල්‍ය පිරිවැය රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් එකතු කර තිබෙනවා. ඒවගේම රු.39.33ක බද්දක් එකතුකර තිබෙනවා. රු. 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. මේ තුළ තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රු. 6.44ක ලාභයක් තෙල් සංස්ථාව ලබනවා. මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඊට අමතරව සැකසුම් පිරිවැය හැටියට එකතු කර තිබෙන 10.60ක මුදලත් අයි.ඕ.සී. එකේ ලාභයක් හැටියට එකතු වෙනවා. 92 පෙට්‍රල් කාණ්ඩයෙන් විතරක් මේ ආකාරයේ අමතර ලාභයක් ලබාගන්නවා. තෙල් සංස්ථාව මිලදී ගන්නේ ණයවර ලිපි නිකුත් කිරීමෙන්. ඒ වෙනුවෙන් අමතර මුදලක් වියදම් වෙනවා. බැංකු ණය වෙනුවෙන්ද සංස්ථාව අමතර මුදලක් එකතු කරනවා. මේ වගේ අමතර විදයම් කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාවට දරන්න වෙනවා. හැබැයි අයි.ඕ.සී. සමාගමට මේ වියදම් අදාල වෙන්නේ නැහැ. මේ අනුව මිල වැඩි කිරිමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84ක අමතර ලාභයක් ලබනවා.''

මෙම මිල වැඩි වීම හරහා තෙල් සංස්ථාවට වඩා අයි.ඕ.සී. සමාගම දෙගුණයක ලාභයක් උපයන බවයි හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.