නුවරඑළියේ මල් වගාකරුවන් සහ අලෙවිකරුවන් අන්ත අසරණ තත්තවයට පත්වෙයි

නුවරඑළියේ මල් වගාකරුවන් සහ අලෙවිකරුවන් අන්ත අසරණ තත්තවයට පත්වෙයි

12 June 2021 03:11 pm

 දැනට රට තුල පවතින සංචරණ සීමා  හේතුවෙන් මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ  මල් වගාකරුවන් හා මල් අළෙවි කිරීමේ යෙදී සිටින පිරිස්  අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මල් වගා කිරීමෙන් හා මල් අලෙවි  කිරීමෙන් තම දෛනික ජීවිතය රැගෙන ගිය  පිරිස්  මේ වනවිට   කිසිඳු  ආදායමක් නොමැතිව ජීවත්වීමේ දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.

නුවරඑළිය, නානුඔය, බ්ලැක්ෆුල්, මීපිළිමාන, සීතාඑළිය, අඹේවෙල, ශාන්තිපුර, ටොප්පාස්, කුඩාඔය, ලබුකැලේ ආදී ප්‍රදේශ රැසක මල් වගාකරුවන් හා මල් අළෙවිකරවන් මෙසේ දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට හා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත.

කොවිඩ් වසංගත  තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති දැඩි සංචරණ  සීමා හේතුවෙන්  දෙස් විදෙස් සංචාරකයන් නුවරඑළියට නොපැමණීම මෙන්ම  රට තුල කිසිඳු  උත්සවයක් නොපවැත්වීම   නිසා තමන්  මෙසේ දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව ඇතැයි ඔවුහු සඳහන් කරති.

රට තුල පවතින මෙම අර්බුධකාරී වටපිටාව හේතුවෙන් මංගල උත්සව හා අනෙකුත් කිසිඳු  උත්සවයක් මෙන්ම මල්වලින්   සැරසිලි  සිදු කරනු ලබන  උත්සවයන්  නොපැවත්වීම හේතුවෙන්   තමන්ට මෙසේ  සත පහක ආදායමක් නොලැබී කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට පත්ව ඇතැයි මල් වගා හා අලෙවිකරුවෝ පවසති.

එළවළු, පළතුරු වැනි  වෙනත් කෘෂි භෝග කුමන  හෝ මිළකට අලෙවි කර ගැනීමට එම වෙළෙඳාමේ නිරතවුවන්ට  හැකියාවක් ඇති බවත්, එහෙත්  මල් වගා හා අලෙවිකරුවන්ට එවැනි තත්ත්වයක් නොමැති කම හේතුවෙන් දැඩි අසරණභාවයට මෙන්ම දැඩි ආර්ථික  දුෂ්කරතාවයන්ට තමන් මේවනවිට ලක්ව සිටින බවද  ඔවුහු   පවසති.

තම පවුල් ඒකක පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවයකට ලක්ව සිටින තමන්ට රජය මැදිහත්ව යම් වැඩසටහනක් සංවිධානය කොට යමි කිසි සණයක් සළසාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නුවරඑළිය හා ඒ අවට මල් වගාකරුවන් හා මල් අළෙවිකරුවන් රජයේ වගකියුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

කේ.ක්‍රිෂාන්තන්