අල්ලස හා දූෂණයේ වගකීමත් එක්සත් ජාතීන්ගේ විශේෂ මහසභා සැසියේදී මොහාන් පීරිස් මහජනතාව සහ සිවිල් සංවිධාන පිට දමයි !

අල්ලස හා දූෂණයේ වගකීමත් එක්සත් ජාතීන්ගේ විශේෂ මහසභා සැසියේදී මොහාන් පීරිස් මහජනතාව සහ සිවිල් සංවිධාන පිට දමයි !

12 June 2021 02:07 pm

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි  මහා සභා සමුළුව  සැසියේදී  (UNGASS) ශ්‍රී ලංකාව නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුවරයා, දූෂණය වැපිරීමේ චෝදනාව මහජනතාව සහ සිවිල් සමාජය වෙත එල්ල කර තිබේ. 

ජූනි 2 සිට 4 වැනිදා දක්වා පැවති මෙම විශේෂ සැසිය, දූෂණය ඉලක්ක කර  ගනිමින් ජගත් සංවිධානය විසින් පැවැත්වූ පළමු මහ සභා සැසිය වීම ද විශේෂත්වයකි. 

එහි අවසාන දිනයේදී සැසිය ඇමතූ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, "නීතිවිරෝධී ත්‍යාග හා වරප්‍රසාද ලබා දීම තුළින් නීතිවිරෝධී ලෙස වාසි අත්කර ගැනීම උදෙසා දූෂණ ක්‍රියාකාරකම් වලට යොමු වන්නේද, දූෂණය පිළිබඳව පැමිණිලි කරනු ලබන මහජනතාවම බව සඳහන් කළ යුතුයි" යනුවෙන් පවසා තිබේ.

"අමතක නොකළ යුතු යථාර්තය නම්, දීමට සූදානම් වූ පුද්ගලයින් සිටින තාක් ඒවා ඉතා කැමැත්තෙන් ලබා ගැනීමට පුද්ගලයින්ද සිටින බවයි. එහි සැබෑ යථාර්ථය එයයි. මම මුලින් සඳහන් කළ ලෙසටම, මෙම ලබා දෙන්නන් සහ ලබා ගන්නන් යන දෙපිරිසම සිටින්නේද, මේ සිවිල් සමාජය තුළ සහ සෑම දෙයක්ම සහ සෑම කෙනෙක්ම මිලදී ගත හැකි භාණ්ඩ බව විශ්වාස කරනු ලබන පෞද්ගලික ආයතන තුළයි".   යනුවෙන් ද ඔහු පැවසුවේය. 

මෙමගින් රටෙහි අල්ලස හා දූෂණය වළක්වාගෙන විනිවිදභාවය ඇති කිරීම සඳහා පවතින රාජ්‍ය වගකීම බැහැර කිරීමක් අදහස් වේ. 

දූෂණය කොරෝනා වෛරසයට සමාන බවත් එය රටේ සෑම තැනකම පැතිරී ඇති බවත් එයට සීමා මායිම් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

ලංකාවේ ‘‘අපරාධයන්ගෙන් උපයා ගන්නා දේපළ පිළිබඳ පනත් කෙටුම්පත‘‘  පිළිබඳව ද කතා කළ මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුවරයා, දූෂණය මැඩලීමේ වෑයමේදී  ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ජනමාධ්‍ය,සිවිල් සමාජය හා පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වැදගත් බව ද පැවසුවේය. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මහ බැංකුවේ‍ මුල්‍ය බුද්ධි අංශය සහ නීති බලාත්මක කරනු ලබන ආයතනද ඇතුළත්ව මෙම කෙටුම්පත අවසානාත්මක ව සකස් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ද ඔහු පැවසුවේය. 

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TISL) ආයතනය පවසා ඇත්තේ මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශයන්ගේ ගැටළු සහගත බවයි. අපරාධයකින් උපයා ගන්නා දේපළ පිළිබඳ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ  සහ ආයතන හිමිකාරීත්වයේ විනිවිදභාවය ශක්තිමත් කිරීමටත් රජය ක්‍රියා කළ  යුතු බව ඔවුහු අවධාරණය කරති. තවද මහා පරිමාණ දූෂණයන් සිදු වන්නේ ඉහළ තනතුරු දරන පුද්ගලයින්ට අයුතු ගෙවීම් ප්‍රදානය කිරීමට ඉදිරිපත් වන පුද්ගලයින් නිසා බව පෙන්වා දෙන ඔවුන්, පුරවැසියන් සහ පෞද්ගලික අංශය යන මේ දෙකටම අදාළව මෙම ප්‍රකාශය තරමක් දුරට සත්‍යයක් වුවද, නීති විරෝධී වාසි ලබා ගැනීම සඳහා සිය තනතුරු වලින් අයුතු ප්‍රයෝජන ගනිමින් සහ නිලධාරීවාදී ක්‍රමවේදය අවභාවිතා කරමින්, ඉහළ තනතුරුවල වැජඹෙන පුදගලයින් විසින් සිදුකරන දූෂණයන් පිළිබඳව ප්‍රමාණවත් ලෙස මෙම ප්‍රකාශය තුළින් මෙනෙහි කර නොමැති බව පෙන්වා දෙති.

නව දේශපාලන ප්‍රකාශනයක් 

සොරාගත් මහජන දේපළ සඟවනු ලබන ස්ථාන ලෝකයෙන් අතුගා දැමීමට සහ එවැනි දේපළ නැවත අදාළ රටවලට ලබා දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍ය බවට ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් මාස ගණනක් මුළුල්ලේ සිදුකළ සාකච්ඡාවලින් පසුව සම්මත කර ගත් දේශපාලන ප්‍රකාශයක් මෙම සැසියේ අවසාන ප්‍රතිඵලය බවට පත් විය. අර්ථලාභී හිමිකාරිත්වය එනම්, සමාගම්වල සැබෑ මානව හිමිකාරිත්වය, විනිවිදභාවය ඉහළ නැංවීම,මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කරන මෙම දේශපාලන ප්‍රකාශනය මගින්, සාමාජික රටවල වරදක් පිළිබදව තොරතුරු හෙළි කරන්නන් (whistleblowers)ගේ ආරක්ෂාවද සහතික කරමින්, දූෂණ ක්‍රියාවන් අපරාධ ගණයට ඇතුළත් කිරීමට සහ දූෂණ ක්‍රියාවන්ට විරුද්ධව නීතිය බලාත්මක කිරීමට ඇති සිය බැඳීම් තහවුරු කරයි. 

වත්කම් අහිමි වූ රටවල් වෙත එම වත්කම් කාර්යක්ෂමව අය කර ගැනීමේ ක්‍රියාවලීන්  ප්‍රවර්ධනයට සහ ඒවාට සහාය පළ කිරීමට මෙම ප්‍රකාශනයේ සාමාජික රටවල් බැඳී සිටියි. ‘සොරකම්කරන ලද ධනය නැවත එම රටවල් වෙත ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවය අවශ්‍ය බව මොහාන් පීරිස් මහතා ද සඳහන් කළේය. 

- අමාලි ජයවීර