’සොබාදහම; මාතාවක් හෝ සානුකම්පිත වස්තුවක් නොවේ’

’සොබාදහම; මාතාවක් හෝ සානුකම්පිත වස්තුවක් නොවේ’

11 June 2021 05:14 pm

වයිරසයකට නතුව හුදෙකලා මිනිසුන් වශයෙන් අප මේ ගෙවමින් සිටින මොහොත, ගෝලීයකරණය, තාක්ෂණවාදය, ධනේෂ්වරය, පාරිභෝගිකවාදය, වෙළඳපොළ යාන්ත්‍රණය, චීනකරණය, ජනප්‍රියවාදය ඔඩු දිවූ පසුබිමක රඳාපවතින්නේය. එහි යටිතලය ශූන්‍යතාවය, පලායාම, ආත්ම මූලිකත්වය, අතීත කාමය, රික්තක, නොහැකියාව, මිථ්‍යාව, අතීතකාමය, කෘෘරත්වය, විශ්වාස, මමායනය, රාජ්‍ය මර්දනය, පීඩනය, හිංසනය, අශ්ශීලත්වය, පුරුෂ මූලිකත්වය වඩා වඩා වපුරමින් සිටී. මේ හේතුවෙන්, වෙන කවරදාටත් වඩා අනාගතය අවිනිශ්චිතව ඇති අතර, වයිරසය මේ සියල්ලෙහි අන්තයක්, අවසානයක් අයැදිමින් සිටී. 

පරමත්වය හෝ පරිමිත යමක් කියා කිසිවක් නැති තලතයකදී, පරිසරය පවා තවදුරටත් සියල්ල උසුලන,  සොබාදහම් මාතාවක් වන්නේ නැත. එය එසේ වූයේ ද නැත. මේ අදහස වර්ධනය කරන ස්ලැවොයි  ජිජැක් ‘O earth! Pale mother’ මැයැති ලිපියේ සඳහන් කරන්නේ, මවක ලෙසින් වන බැ ඳීමක් ඔස්සේ තවදුරටත් පරිසර තත්වයන් මිනිස් සමාජය සමඟ අර්ථ දැක්විය නොහැකි බවයි. තාක්ෂණික ලෝකය විසින් ස්වභාව ධර්මයෙන් වෙන් වූ අනන්‍යතාවක් මිනිසාට ලබා දී ඇති බවය. මිනිසුන් වන අප නිතර ම පසුතැවිලි සහගත හැඟීමක් පරිසරය කෙරේ දනවන අතර, එය එසේ වන තරමට සොබාදහමේ ඕනෑකම මත අප සියල්ල රඳාපවත්වාගන්නා බවය. එහෙත් සංක්ෂ්පිතව ගතහොත්, සොබාදහම අප දෙස බලානොසිටින බවය. 

කෘතිය : මරණයේ රළ නැඟුම
 
එය එසේවද්දී, පාරිසරික හායනයට සහ වන සත්ව හිංසනයට එරෙහිව ස්ත්‍රී නියෝජනය ඉදිරිපත්වන්නේ, ස්ත්‍රීවාදයෙහි ම දිගුවක් සහ වෙනම ප්‍රවේශයක් ලෙසිනි. හුදෙක් පුරුෂයන් ප්‍රතික්ෂේප කරන බුර්ෂුවා ස්ත්‍රීවාදයක් ලෙසින් එය පැන නැගුණක් ලෙස පෙනෙන්නේ, පාලන තන්ත්‍රය පුරුෂමූලික වීම නිසාය. එක් අතකින් පෙර කී ස්වභාව ධර්මය පවා කාන්තාවක ලෙසින් පිළිගැනීමේ දෘෂ්ටිවාදය හේතුවෙන් තම වර්ගයේ ම අයෙකු වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත්වන බවක් ද අපට සිහිකරවයි. මෙසේ ඉදිරිපත්වන පිරිස අතර නෙන්කිමෝ මෙන් ගෝත්‍රිකයෝ ද, ග්‍රේටා මෙන් යෞවනියෝ ද, දේවානි වැනි පාරිසරික ක්‍රියාකාරිනියෝ ද වෙති. අනෙක් අතින්, එම මැදිහත්වීම් වැළැක්වීමට ප්‍රචාරය කෙරෙන මතවාද, මිථ්‍යා, මොළසේදීම්, අවධානය ලිහාදැමීම, මඩප්‍රචාර ඇතුළු පාලක යාන්ත්‍රණයේ අදිසි හස්තය වූ ආගමික සංස්ථා වෙයි. ඔවුන් කරනුයේ, වන විනාශයට හෝ සත්ව හිංසනයට තමන්ගේ ම කැමැත්තෙන් අනුමැතිය ලබාදෙන මට්ටමක් දක්වා අනුගාමිකයන්ගේ මොළසේදීමය. 

එබැවින්, එක්අතකින් පරිසරය කිසිසේත්, සානුකම්පිත වස්තුවක් නොවන්නා සේම, ඊට එදිරි පාලකයෝත් එසේ ම වේ. ගැටලුව වන්නේ, සොබාදහම වෙනුවෙන් ඉදිරිපත්වන්නන්ට ම පොදු සතුරෙකු ලෙස සොබාදහම ක්‍රියාකරන දෙබිඩි ස්වභාවයකට මිනිසා මැදිහත්වීමයි.

ඔල්ගා ටොකර්චුක්ගේ 'මරණයේ රළ නැගුම' අප කැඳවායන්නේ, මෙවැන්නක් පිළිබඳ ඉඟිකෙරෙන සමාජ පසුබිමකටය. අනාගතයකටය. ක්‍රිස්තියානි ප්‍රතිපක්ෂ, නිදහස් මතධාරී, විශ්‍රාමික ඉංජිනේරුවරියක සහ ගුරුවරියක වන වියපත් නමුත්, සූක්ෂ්ම කාන්තාවක දිවිගෙවන පෝලන්තයේ ගම්මානයක් වෙතය. පෝලන්තයේ ස්ත්‍රී සහ සත්ව හිංසනය වෙනුවෙන් වන අරගල සහ මැදිහත්වීම් සහ විරෝධය කෙරේ අප අවධානය යොමුකළ විට, කෘතියේ කෙරෙන කතාබහ උචිත යැයි සිතේ. අද්භූත සහ ත්‍රාසජනක යන ආකාර දරන පසුබිමකට උචිත උද්දීපන විභාව දනවන, සීත සමය, නිද්‍රාශීලී භාණ්ඩ අඩුවැඩිය, දැඩි හිම පතන, පාලු වනන්තර, පාලු ළිං, මුව අඩි සලකුණු, බර පා සලකුණු, වෙඩි ශබ්ද, හුදකලා සබඳතා, බොල් හඬින් පතිත වී ගල්ගැසෙන මළ සිරුරු ආදිය කෘතිය පුරා හුය දරයි. රළ නැගෙන්නේ එයිනි.

'කතුවරයාගේ දෘෂ්ටිය මුළු පොත පුරා ම විහිදී යන්නක් විනා අවසානයේදී දෙන සහතිකයක් නොවේ' යැයි කේ.ජයතිලක පවසයි. ඇතැම් සාහිත්‍ය කෘතියක පළමු වාක්‍ය, ඡේදය නැතහොත් පරිච්ඡේදය කියවා අවසන්වත්ම, කෘතියේ සමස්ථාර්ථය පිළිබඳව ඉඟියක්, සංඛේතයක් නොඑසේ නම් ඉවක් පෙරට අවුත්, පාඨකයා වෙවුලුම් ගන්වයි. මෙම කෘතිය ද එම ඉඟිය ලබාදෙන්නේ  ඉහත උධෘතයේ දක්වන කතුවරියගේ දෘෂ්ටිය විසිනැයි සිතීමට කරුණු තිබේ. 'මරණයේ රළ නැගුම' නවකතාවේ පරිවර්තක රශ්මික මණ්ඩාවලගේ බස ද ඊට සාධාරණය ඉටුකරයි. භාෂාව පසෙක තැබුවහොත්, එම ස්ථානය ගන්නේ පොත් කවරයයි. එහි, මීදුම්බර වනයක සිටින ගෝනාගේ සෘජු කය, ශාන්ත හියුබට්ට වනාන්තරයේදී හමුවුණු ගෝනා පිළිබඳ පුරාකතාව ද සංකේත ගන්වයි. අනෙක් අතින්, පාඨකයා තමාව ම ප්‍රශ්න කරවන වරදකාරී බවක් දනවයි. නොඑසේ නම්, නීතියේ දෙවඟනගේ ආධිපත්‍යය දරයි.

කතුවරිය: ඔල්ගා ටොකර්චුක්

මෙම ගම්මානයේ මාසයකට වරක් බැගින් සිදුකෙරෙන ඝාතන රැල්ලකි. තමන්ම මරාදැමීමට කැලෑවදින දඩයක්කරුවන් මරාදමන වනසත්තු මෙහි ඝාතකයෝ වෙති. අපට එසේ සිතෙන්නේ, කථා නායිකාව වන ඩුසෙජ්කෝ අපට එලෙසින් කියන නිසාය. කියා නොසිට කතාවසානය දක්වා ම ඒත්තු ගන්වන නිසාය. මිනිසාගෙන් පළිගැනීමට සතුන් රංචු ගැසෙමින් ඉදිරිපත්වීම අපට දනවන්නේ තිගැස්මකි. සතුන් දඩයම් කර මරා දමන දඩයක්කරුවන්, මෙහිදී පෙරළා සතුන්ගේ දඩයම් බවට පත්වේ. නමුත්, 'මරණයේ රළ නැගුමෙහි' ලොකුම තිගැස්ම ඇත්තේ, කතාවසානයේදීය. ඩුසෙජ්කෝගේ මත අතිශය විශ්වාසවන්තව පිළිගන්නා පාඨකයා,  උඩුයටිකුරු කරවන හැරවුම නොඑසේ නම්, ඇරිස්ටෝටල් පවසන භාවකම්පනය(කැතාසිස්) සිදුවන්නේ එතැනදීය. ඇය සිරගතවද්දී ඈ වෙනුවෙන් පෙනී සිටින පාඨකයා ම එම තීරණය ගැන පසුව තුෂ්නිම්භූත වන්නේ එතැනදීය. ඝාතකයා අන්අයෙකු නොව මෙතෙක් වෙලා පාඨක අනුකම්පාව දිනාගත්, තම කතාන්දරය 'මම' යන දෘෂ්ටිකෝණයෙන් ගෙන ආ කථා නායිකාව බව කියවන්නාත්, ඩුසෙජ්කෝගේ මිත්‍රපිරිසත් දැනගන්නේ එකම අවස්ථාවකදී වීම ද විශේෂයකි. මෙය පාරප්‍රබන්ධමය ලකුණකි. 

කතා නායිකාව රෝගාතුර වියපත් කතකි. මෙවැන්නක් කී විට පාඨකයාට නිද්‍රාශීලී එපාකරවනසුලු බවක් හිසට වද නොදෙන්නේ ද? එසේ වන්නේ, මේ වනවිට සමාජය අධිනිශ්චය වී ඇති, සතුට සැනසුම පිළිගැනුම අවධානය යන කරුණු ගළපාගත හැක්කේ තාරුණ්‍යය වටා පමණය ලෙසින් මතයක් ව්‍යාප්තවීම මතය. වියපත්, දික්කසාද වූ නිදහස් කාන්තාවක සමාජය නාමකරණය කර ඇත්තේ, විකෘති ජීවියෙකු ලෙසිනි. පොලිසියට සිය අවනඩුව කියමින් ලිපි ලියන, අසාධාරණය වෙනුවෙන් හඬ නගන, පල්ලියේ පූජකවරයාට ප්‍රසිද්ධියේම බැණවදින ඩුසෙජ්කෝ වෙත පාලක අවධානය යොමුනොවෙයි. නීතිය ක්‍රියාත්මක නොවන තැනදී, ඇය ස්වාධීන තීරණයක් ගනිමින් මිනීමරන්නේ, ඇගේ සුරතල් සුනඛයන් දෙදෙනා දඩයක්කරුවන් විසින් ඝාතනය කිරීමේ පළිය ගැනීමටයි. ඇය වැන්නියක කියන අදහසක් ඇසීමට බැලීමට නොව සානුකම්පාවක් දනවා දුරස්කර තැබීමට සමාජය කරන ප්‍රයත්නය ඔල්ගා ටොකර්චුක් කුඩුකර දමන්නේ පාඨකයා නිරුවත් කරමිනි.  කාන්තාවගේ චරිත නිරූපණය තාත්විකය. චරිතය, චිත්තය, ක්‍රියාව යන සියල්ල වටා කථා වින්‍යාසය ගොඩ නැගේ. මේ කෘතියේ සෙසු චරිත ඇඟිලිවලින් ගැණිය හැකිතරමිය. කතුවරිය විඥානධාරා රීතිය උචිත ලෙස භාවිතයට ගන්නා අතර, තියුණු සංවාද කථන, ලිපි ඇසුරින් ගෙන එයි. 

 පරිවර්තක: රශ්මික මණ්ඩාවල

සමස්ත කෘතියේ විශේෂත්වය නම්, කතුවරියගේ මතය එකඑල්ලේ මෙය යැයි ප්‍රකාශ නොකිරීමයි. නොඑසේනම්, පාඨකයාට නිශ්චිත දැනුම් පද්ධතියක් උරුම නොකිරීමයි. කෙටියෙන් කිවහොත්, පාඨකයාව අන්දුන් කුන්දුන් කරන, දෙබිඩි අදහස් එකම කෘතියේ යොදාතිබීමයි. පළමුව කී කරුණෙහි ම ප්‍රතිපක්ෂය කීමයි. උදාහරණයක් වශයෙන්, වනසතුන් මිනිසුන්ගෙන් පළිගන්නා බවට සහ ඒවාට මිනිසුන් දුන් නෛතික දඬුවම් පිළිබඳ ඉතිහාසය ඇය ලිපියකින් සඳහන් කර අවසානයේදී, මිනීමරුවා ඒ සතුන් නොව, තමා බව පවසයි. ජ්‍යෙතිෂ්‍ය කරුණු පෙන්වමින් සතුන්ට එරෙහිව සාක්ෂි තරකරන අතර ම, විලියම් බ්ලේක්ගේ කවි සෑමතැනක ම යොදමින්, ඊට ප්‍රතිමත ව්‍යංග්‍යාර්ථයෙන් සඳහන් කරයි. මෙකී වැනෙනසුලු ස්වභාවයෙන් සිදුවන්නේ, කියැවීමෙන් අප තුළ ම ගොඩනැගෙන අත්තිවාරම්වලට ඇය පොහොර දමා, ඇය විසින් ම ඒවා කඩා දමා, එයින් අප තුළ ආලෝක පුංජයක් දැල්වීමට ඉඩ ලබාදීමයි. හේගල්ගේ 'බස්සා' තටුසලනු අපට අවසානයේ දී දැනේ. අනාගතය පිළිබඳව අපට ලබාදිය හැකි හොඳ ම ඥාන පෙළඹුම එය  විය හැකිය.

ඩිල්ශානි චතුරිකා දාබරේ