මට වාසනා Meropenem ම‍ට වාසනා - ඩොලර් මිලියනයේ කොමිස් එක !

මට වාසනා Meropenem ම‍ට වාසනා - ඩොලර් මිලියනයේ කොමිස් එක !

11 June 2021 01:43 pm

පසුගිය මැතිවරණයේදී පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වී රාජ්‍ය ඇමති තනතුරක්ද ලැබූ ජනතා නියෝජිතයෙක් පහුගිය කාලෙ ඇතුල් කෝට්ටෙන් අලුත්ම මාළිගාවක් සල්ලිවලට අරගෙන. ඒකෙ වටිනාකම නං තාම එළියට ඇවිල්ලා නෑ, හැබැයි ඒ මාළිගාව අළුත්වැඩියා කරන්න, මාළිගාවට අවශ්‍ය බඩු-මුට්ටු ගන්න විතරක්ම ලක්ෂ 205 කටත් වැඩිය රාජ්‍ය ඇමතිතුමාට වියදම් ගිහින්.

ඉතිං එතකොට හිතාගන්න පුලුවන් මේ මාළිගාව ගන්න කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද කියලා.

මේ ඇමතිතුමා හැබැයි පාරම්පරික ධනපතියෙක් නං නෙවෙයි. එහෙනං කොහොමද පාර්ලිමේන්තුවට ඇවිල්ලා, සොච්චං රාජ්‍ය ඇමතිකමක් අරගෙන අවුරුද්දක් යනකොට මෙහෙම මාළිගාවක් සල්ලි දීලා ගන්නෙ ?

රාජ්‍ය ඇමතිතුමාට මේ වාසනාව පෑදිලා තියෙන්නෙ ඖෂධ සමාගමකින් හම්බ වෙච්ච ලොකු කොමිස් කුට්ටියක් නිසා කියලා තමයි අපිට ආරංචි.

Meropenem කියන ඖෂධය ලංකාවට ගෙන්න ටෙන්ඩර් එක මේ ඇමතිතුමාගෙ මැදිහත්වීමෙන් පකිස්තානු සමාගමකට දීලා තියනවා. ඉතිං ඒ සමාගම ඇමරිකානු ඩොලර් මිලියනයක් වගේ පුංචි මුදලක් ඇමතිතුමාගෙ සාක්කුවට දාලා.

Meropenem ඖෂධය වෙනුවට ඊට කලින් ගෙන්නලා තියෙන්නෙ ඊට වඩා අඩු ගාණකට වෙනත් නමකින් නිෂ්පාදනය කරන ඖෂධයක් කියලත් ආරංචියි. ඒක නවත්තලා තමයි රුසියාවෙ නිෂ්පාදනය කරන Meropenem ඖෂධය ගෙන්නන්න ඇමතිතුමා මැදිහත්වෙලා තියෙන්නෙ.

ඇමතිතුමා නං කියන්නෙ මේවා කරන්නෙ ජනතාව වෙනුවෙන් කියලා. එයාගෙ දිස්ත්‍රික්කෙ එයාගෙම පක්ෂ‍ෙ ඉන්න දේශපාලන පවුල් එක්ක හැප්පෙන්න නං හොඳට සල්ලි තියෙන්න ඕනෙලු. ඒකෙත් ඉතිං ඇත්තක් නැත්තෙමත් නෑ. එයාගෙ දිස්ත්‍රික්කෙ සමහර දේශපාලන පවුල් එක්ක බැලුවම රාජ්‍ය ඇමතිතුමාට එයාලත් එක්ක හැප්පෙන එක ලේසි නෑ.

ඒ අතින් බැලුවම ඇමතිතුමා කරන්නෙ ඉතා පිරිසිදු මහජන සේවයක්, මේ සල්ලි ගන්නෙත් තමන්ගේ දිස්ත්‍රික්කෙ ජනතාව ගැන අනුකම්පාවෙන් නෙ. සමහර විට ඇතුල්කෝට්ටෙ මාළිගාව සල්ලිවලට ගන්න ඇත්තෙත් තමන්ගෙ දිස්ත්‍රික්කෙ මිනිස්සු කොළඹ ආවම නැවතිලා ඉන්න තැනක් තියෙන්න ඕන නේද කියලා හිතලා වෙන්න ඇත.

මෙහෙමවත් සල්ලි ටිකක් හොයාගත්තෙ නැත්තං, මොකෝ ඉතිං නාථ දෙයියො සල්ලි මලු ගෙනල්ලා දෙනවා කියලයැ.

ප.ලි.
මෙම පුවත පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අතර ඔවුන් අපෙන් අසා සිටින්නේ ඩොලර් මිලියන 1.77 ක ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියනයක කොමිස් කුට්ටියක් ලබාදීම පිළිගත හැකිදැයි කියාය. මෙම මිලියන 1.77 පළමු මිලදී ගැනීම සඳහා පමණක් වන අතර කොමිස් මුදල ලබා ගන්නේ සමස්ත ටෙන්ඩරය සඳහාය.

මේ පිළිබඳව තොරතුරු ඇතුළත් පූර්ණ අනාවරණයක් ඉදිරි දිනකදී සිදු කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු සූදානමින් සිටින අතර එම අනාවරණය පළකිරීමටද අපි සූදානමින් සිටිමු.