සිනමාරූපී රචනා පිළිබඳ පසු කියැවීමක්

සිනමාරූපී රචනා පිළිබඳ පසු කියැවීමක්

8 June 2021 02:12 pm

ප්‍රවේශය
 
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් දශක දෙකක කාලයක් පුරා විවිධ සඟරා, පුවත්පත් උදෙසා ලියන ලද ලිපි සහ පර්යේෂණ පත්‍රිකා එකතුවකින් සුසැදුණු 'සිනමාරූපී රචනා' කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසේ. කෘතිය සම්බන්ධයෙන්, කේබුක්ස් සාමූහිකය විසින් සංවිධානය කරන ලද සාහිත්‍ය කතිකාවේදී අපි ඉදිරිපත් කරන්නට යෙදුණු කෙටි දෙසුම මෙහි සවිස්තරාත්මකව ඇතුළත් වේ. කෘතියෙන් නිරූපිත භාෂාව, අන්තර්ගතය සහ තාරුණ්‍යය අපේක්ෂා කිරීම යනු කරුණු ඔස්සේ ලිපිය දිගහැරේ. 
 
සිනමා විචාරකයන් වර්ග
 
නූතන කලා විචාරකයන් අධ්‍යයනයේ පහසුව වෙනුවෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. මෙය සිනමා විෂයෙහි යොදා විමසන්නේ නම්,
 
1) සිනමාව විෂයක් ලෙස නොහදාරන, එයින් බැහැරව සිටිමින්, යම් සිනමාපටයක් පිළිබඳව අදහස් සහ සිතැඟි ඉදිරිපත් කරමින්, පදනමකින් තොරව, දත්ත පද්ධති වශයෙන් කරුණු ගෙනහැර දක්වන පිරිස
 
2) සිනමාව හදාරමින්, ඒ සම්බන්ධ සියලු කුදුමහත් අවස්ථාවන්හි පෙනී සිටිමින්, මැදිහත්වෙමින්, යම් න්‍යායික මතවාදයක් ඔස්සේ පවත්නා හෝ පැවති සමාජ-දේශපාලන තත්වය විචාරයකින් ඉදිරියට ගෙන එන පිරිස
 
සුනිල් මිහිඳුකුල විසින් 1998දී ලියූ කෘතියක සඳහන් කරන ලද්දේ, එකල භාවිත විචාරය සිනමා විචාරයට යෝග්‍ය වුවද, නූතනයේ එය සංඥාර්ථ විද්‍යාව, පශ්චාත් නව්‍යවාදය, ව්‍යුහවාදය, ස්ත්‍රීවාදය වැනි විචාරවාද ඇසුරෙහි සංකීර්ණ වී ඇති බවය. මෙය වඩා සංවර්ධිත ආකාරයකින් සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ විසින් ඉදිරිපත් කරන ලද්දේ, සෞන්ධර්යාත්මක විචාරය සහ මතවාදීමය/දේශපාලනික විචාරය වශයෙනි. කෙසේවෙතත් මේ ලක්ෂණ දෙකම අඩංගු වන විචාර ද වෙයි.
 
'සිනමාරූපී රචනා' කෘතියේදී මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, සිනමා විචාරකයන් පිළිබඳව රචනා කර ඇති ලිපියේදී විස්තර කරනුයේ, ඔවුන් කාණ්ඩ 5කට වර්ග කර දක්වමිනි. ඒ, පූර්ණකාලීන විචාරකයන්, අර්ධකාලීන(විශේෂ) විචාරකයන්, සංස්කෘතික කණ්ඩායම්, 70 පරපුර සහ පුවත්පත් කලාවේදී විචාරකයන් වශයෙනි. මෙම කෘතියේ ලිපි සියල්ල අවුරුදු 20ක් තරම් කාලයක් තිස්සේ ලියන ලද ලිපි බැවින්, නූතන විචාරකයන්ගේ මෙම වර්ගීකරණය මේ වනවිට තරමක වෙනස්ව ඇත. නමුත්, විචාරකයන් කවර ආකාරයේ ලක්ෂණ ඉසිලුවේද යන්න ගැන දැනගැනීමටත්, ලිපිය ලියනවිට ඔවුන්ව ස්ථානගත කළහැකි වූයේ කවර ලෙසකින්ද යන්න දැනගැනීමටත් එය වැදගත්ය.
 
සුනිල් සෙනෙවිගේ විචාරක ආස්ථානය
 
හිනිඳුම සුනිල් සෙනෙවි, මෙම විචාර ලිපි එකතුව පළකිරීමට ඉහත දී ද සිනමාව අළලා සක්‍රීය දායකත්වය දැක්වූවෙකි. ඔහු 'තාක්ෂණ ධනවාදය හා චිත්‍රපට' නම් කෘතියේදී මෙරටට සිනමාපට පැමිණි ආකාරය සහ විකාශනය පිළිබඳව විස්තර දැක්වීය. 'සුසමාදර්ශ මාරුවේ'දී සිනමා අධ්‍යක්ෂකවරුන් වූ ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ සිනමා භාවිතයන් වෙත අවධානයට යොමුකළ අතර, එයින් දෙවනුව කී අධ්‍යක්ෂවරයාගේ සිනමාපට කෙරේ වැඩි නැඹුරුවක් දක්වමින්, ලාංකේය සිනමාවේ ඔහුගේ භූමිකාව ස්ථානගත කළේය. මෙරට විශ්වවිද්‍යාලවල සිංහල අංශවල මහාචාර්යවරුන්ගෙන් පොදු කලා ක්ෂේත්‍රයට නිසි වැඩක් සිදුනොවෙමින් පවතින කාලයකදී මෙම විචාර ලිපි එකතුවක් ලෙස ගැනීම අගය කටයුත්තකි. 
 
ඉහත පළමුව දැක්වූ වර්ගකිරීමට අනුව සලකතොත්, හිනිඳුම සුනිල් සෙනෙවි අර්ථ දැක්විය හැක්කේ ඒ දෙලක්ෂණ ම අඩුවැඩි වශයෙන් ඇති විචාරකයකු වශයෙනි. ඔහුගේ විචාර ලිපි හුදු දත්ත පද්ධති ම නොවේ. ඒවායේ ඒ ඒ සිනමාපට පිළිබඳ රසාස්වාදයක්ථ ද, මතවාදයක් ද යන ද්වයම ඇතුළත්ය. ඇතැම් ලිපි ශාස්ත්‍රීය ලිපි ආකෘතිය දරයි.
 
සිනමාරූපී රචනා අන්තර්ගතය
 
වසර 20ක පමණ කාලයක් තුළ සුනිල් සෙනෙවි රචනා කළ, සිනමා විෂයයික විචාර ලිපි සහ පර්යේෂණ පත්‍රිකා 17ක් මෙහි ඇතුළත් වෙයි. ඒවායේ අන්තර්ගතය සිනමා; කර්මාන්තය, තාක්ෂණය, විචාරය, අධ්‍යක්ෂණය, තිර රචනය, ශානර යන ඉසව් කරා ව්‍යාප්තව ඇති අතර, සිනමාරූප, සිනමා භාෂාව ඔස්සේ තත්කාලීන සමාජ, දේශපාලන තතු විවරණය කිරීම ද සිදුවේ. 
 
චාලි චැප්ලින්
 
මෙම ලිපි එකතුවේ දීර්ඝ හැදෑරීමක් කර, පළ කළ ලිපි අතරට චාලි චැප්ලින් පිළිබඳව සඳහන් කෙරෙන ලිපිය ද ඇතුළත් වේ. සිනමාලෝලීන් නැරඹිය යුතු මූලික අඩිතාලම සපයන අත්‍යවශ්‍ය සිනමා නිර්මාණ ලෙස සැලකිය හැකි 'චැප්ලින්ගේ චිත්‍රපට ගැන සිතීම යනු චිත්‍රපට ගැන සිතීම' කැයි එහි සඳහන් වේ.
 
කතුවරයා චැප්ලින් නාමකරණය කළ යුතු ආකාරය වටහාගැනීමට අපට යෝජනා කරන්නේ, ඉංග්‍රීසි යෙදුම් සඳහා අනුරූපී සිංහල යෙදුම් ගෙන විමසා බලමිනි. චැප්ලින්, විකටයකු, විහිලුකාරයකු (Joker, Clown, Buffon)නොව, පාදඩයෙකු නොහොත් උත්ප්‍රාස නළුවෙකු(Tramp, Comedian) බවට තර්ක කරයි. හුදෙක් විකටයකු ලෙස හැඳින්විය නොහෙන ඔහු සිනමාපටවලදී උත්ප්‍රාස නළුවාගේ භූමිකාවටත් වඩා පාදඩයකුගේ භූමිකාව නිරූපණය කරන ආකාරය පැහැදිලිය. 
 
චැප්ලිගේ ජීවිතය, සිනමාපට මෙන්ම ඔහුගේ ගමන් රටාව ද කතුවරයාගේ අවධානයට යොමු වේ. චැප්ලින්ගේ ගමන් රටාව ඒකාකාරී එකක් නොවීය. ඔහු තම කකුලේ ප්‍රමාණයට වඩා ලොකු සපත්තු පැළඳ පෙන්ගුයින් කෙනෙකු මෙන් ඇවිදී. බේබදු මිනිසෙකු ලෙස ද ඇවිදී. නට නටා ඇවිදියි. සාමාන්‍ය පරිද්දෙන් ඇවිදී. මේ ගමන් ආකාර, ජෝකර්(2019) සිනමාපටයේ ජෝකර් සමඟ විමසා බැලිය හැකිය. චැප්ලින් සහ ජෝකර් නර්ථනයේ යෙදෙන ආකාර, දිව යන ආකාර, ඇවිදින ආකාර ඔවුන් මුහුණ දුන් සහ ඔවුන් වෙසෙන සමාජවල ඛේදවාචකයන්ගේ එක්තරා නිරූපණයක් විය හැකිය.
 
චැප්ලින්ගේ චරිතය බොලිවුඩ් නළු රාජ් කපූර්ට බලපෑ ආකාරය, චැප්ලින්ගේ චිත්‍රපටවල නාමාවලියේ සිට සිනමාව කියවාගන්නා ආකාරය, The Great Dictator වැනි චිත්‍රපටයකදී ළමුන් සුරතල් කරවන පාලකයන් නූතනයට සමීප වන ආකාරය  පිළිබඳව සිනමාලෝලී පාඨකයන්ට කියවා පෝෂණය විය හැකි තැන් කිහිපයකි.
 
 තරුණ කවි රැල්ල
 
''සාම උදාවෙන් පසු මෙතෙක් සීමා වී තිබූ විනෝදයක් වන 'යාපනේ යාම' සිංහලයන් අතර සුලබ විය. 'රියෝ අයිස්ක්‍රීම් කඩය හෝ හොඳ තල් සූකිරි ටිකක් සොයාගැනීම' වැනි යාපනයේ විනෝද ගමන් ගිය සිංහලයන්ගේ 'දැවෙන ප්‍රශ්න' චිත්‍රපටකරුවා අමතක කර නැත''
 
මෙම ලිපි එකතුවහි එන 'යුද සිනමාව' සහ 'ඉනිඅවන්' ලිපිවලදී කතුවරයා අවධාරණය කරන කරුණු සමකාලීන සහ නූතන තාරුණ්‍යය ඔස්සේ විමසා බලන්නේ නම්, ඊට අවශ්‍ය කාරණා ද මෙයින් ගළපාගත හැකිය. යුද්ධය අවසන් වීමෙන් පසු, උතුරේ සංවර්ධනය බලනු රිසියෙන් යන්නෙමුයි කියා, වීරත්වය නංවාගනු වස්, රණවිරුවන් උතුරට පහරදීමේ සන්තුෂ්ටියේ නෂ්ටාවශේෂ දෙස බලා, අපි එකම සහෝදරයන්ය කියමින් සානුකම්පිත හදක් පෙන්වමින් එහි විනෝද චාරිකා යාම සහ ඔවුන් ගැන හැඟුම්බර කවි ලිවීමේ රැල්ලක් යුද්ධයෙන් පසු ඇතිවිය. ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් මෙම 'බොරුව' අනාවරණය කරමින්, බූන්දියට මැයැති කවියක් ද ලියන ලදී. කතුවරයාගේ උත්ප්‍රාසය හිමිවන්නේ මේ සියල්ල ම වෙතය.
 
මර්දනය
 
රාජ්‍යය විසින් ඔවුන්ගේ බලය උදෙසා උප පාලක ඒකක රටක් තුළ පවත්වාගෙන යනු ලබයි. අප ඔවුන් හඳුනාගන්නේ, කලාවට ප්‍රතිපක්ෂව තම බලය පෝෂණය කරවීමට සාදාගත් යාන්ත්‍රණයක් ලෙසිනි. තමන්ට අනුගත නොවන තැන්වලදී කලා නිර්මාපකයා වෙත රජය පනවන මර්දනය, තර්ජනය, උපදෙස් සැපයීම වැනි දෑ සම්බන්ධ අතීත කරුණු සුනිල් සෙනෙවිගේ ලිපි කිහිපයක හමුවේ. ''අලි පැටියෝ ඔයයි මමයි' වැනි චිත්‍රපට නිෂ්පාදනය කළා නම් ප්‍රශ්නයක් නැහැනේ' ලෙසින් රාජ්‍ය අමාත්‍යවරු උපදෙස් ලබාදුන් සැටි, සිනමා අධ්‍යක්ෂකවරුන් සැවොම ජාතක කතා මගින් සිනමාපට සකසන තත්වයක් වෙනුවෙන් ඇතැම් ප්‍රේක්ෂකයන් බලා හිඳිනා ආකාරය මතු නොව ඇතැම් අධ්‍යක්ෂකවරුන් එල්ලා මරාදැමිය යුතු යැයි පවසන හමුදා ප්‍රධානීන් ගැන මෙහි එන ලිපි සිහිකැඳවයි. මෙය දූපත් රාජ්‍යයකට අරුම පුදුම දෙයක් නොවේ.
 
භාෂාව
 
හිනිඳුම සුනිල් සෙනෙවිගේ භාෂාව විටෙක ශාස්ත්‍රීය ලිපියක ස්වභාවය ගනී. තවත් විටෙක සුචරිත ගම්ලත් අනුදත් සෞන්ධර්යප්‍රිය වර්ණනාමය බසට නැඹුරු වෙයි. කෙටි වැකි මෙන්ම දිගු වැකිවලදී ද එය පොදුවේ. පහත දැක්වෙන්නේ චැප්ලින්ගේ ලිපියෙන් උපුටාගත්තකි.
 
'ඔහු රිදී තිරයේ කුඩා මිනිසෙකි. ලෝක සිනමාවේ යෝධයෙකි. රිදී තිරයේ පාදඩයෙකි. ලෝක සිනමාවේ පීතෘවරයෙකි. ඔහු රිදී තිරයේදී හිමකතරේ කුසගින්න දරාගත නොහැකිව සපත්තුවක් තම්බාගෙන අනුභව කළ අයෙකි. දිවි සිනමාවේ දී නම් රටරටවල මන්දිර තිබූ ශාන්තිකර මිනිසෙකි'
 
සිනමාරූපී රචනා සඳහා කතුවරයා භාවිත කරන භාෂාව ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් ද මතුකරන්නකි. ඔහු එවැන්නක් අරමුණු නොකර ලිවූවද, එම භාෂාව සියුම්ව අධ්‍යයනය කරනවිට එම ලකුණු පෙනේ. යුද සිනමාව පිළිබඳව සඳහන් කෙරෙන සඳහනකදී ඇතැම් අධ්‍යක්ෂකවරුන්ට යම් ගරුත්වයකින් ද, තවත් පිරිසකට සාමාන්‍ය පරිද්දෙන් ද අමතනු ඇතැම් වැකිවල ආඛ්‍යාතය විමසීමෙන් පැහැදිලිව පෙනේ.
 
'ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව, විමුක්ති ජයසුන්දර, සුමිත් රෝහණ තිත්තවැල්ගල...ප්‍රතිනිර්මාණය කළෝ වෙති.
තුෂාර පීරිස්, චන්ද්‍රන් රත්නම්, බෙනට් රත්නායක, සංජය ලීලාරත්න, සරත් වීරසේකර, බූඩි කීර්තිසේන...අධ්‍යක්ෂණය කළහ.
ජැක්සන් ඇන්තනී, සනත් අබේසේකර, සුනිල් ආරියරත්න, සුගත් සමරකෝන්, ජයන්ත චන්ද්‍රසිරි...අධ්‍යක්ෂකවරු වෙති'
 
මෙය සෞන්ධර්යාත්මකව වර්ණනාන්විත භාෂා රටාවක් විය හැකි යැයි සිතිය හැකි වුවත්, මෙම ලකුණු ලිපි කිහිපයක දී ම දැකගන්නට ලැබිණි.
 
රචකයා උත්ප්‍රාසවත්ව බස භාවිත කරන අවස්ථා ද වෙයි. රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නළු භූමිකාව සැබෑ ජීවිතයේ ඔහුගේ දේශපාලනික ආස්ථානය හා සමපාත වන ආකාරය සූක්ෂ්ම ප්‍රහාරයකින් ඉදිරිපත් කරන සුනිල් සෙනෙවි ගෝලයක් රැස් කරයි.
 
''සංස්කෘතිය රැකගන්න නම් අපි ඒක විකුණන හැටි දැනගන්න ඕන' මේ වැකිය ඇන්තනී මහතා උච්චාරණය කළේ ගරිල්ලා මාර්කටින්හි ග්‍රෙගරි අධිකාරම වෙමිනි. නව සුසමාදර්ශය තුළ අසිරියක් සිදුවී ඇත. එනම් නළුවා සහ චරිතය අතර දුර අතුරුදන් වීමයි''
 
ශාස්ත්‍රීය රචනයක, විචාරයකදී ආධුනික විචාරකයන් අනුගමනය කළ යුතු වාග්කෝෂයක් ද මෙයින් හඳුනාගත හැකිය. විචාරාභාස ඝෝෂකයෝ, දැනුම් ත්‍රස්තවාදය, ලෝකාන්වේක්ෂණය වැනි වදන් ඊට උදාහරණ කිහිපයකි. 
 
 
විවේචන සහ යෝජනා
 
සුනිල් සෙනෙවි, මෙම ලිපිවලදී බොහෝවිට අවශ්‍ය ඉංග්‍රීසි සහ සිංහල පොත්පත්, ලිපි, සඟරාවල උචිත උපුටාගැනීම් පළකර තිබෙන අතර, එය වැදගත් වුවත්, ඇතැම් තැනකදී උපුටාගැනීම් ගණනාවක් එක පෙළට ඉදිරිපත් කරමින් වියමන ගොඩනගනු පෙනේ. එවන් තැනකදී ඔහුගේ අදහස මතුවීම පරයා ඉස්මතු වනුයේ අර කී උපුටනවල අදහසයි. ශාස්ත්‍රීය රචනයකදී උපුටාගැනීම් යෙදීම සාධාරණ වුවද, විචාරයකදී ඒවා නිතර නිතර සෑමතැනක ම යෙදීමේදී ඇතැම් ගැටලු මතුවන බව අපගේ අදහසයි.
 
මෙම ලිපි කිහිපයක අවස්ථා තුනක දී පමණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හැඳින්වීම සඳහා ලෙස්ටර් ජේම්ස් 'පීරිසුන්' වැන්නක් යොදාතිබෙනු දක්නට ලැබිණි. අධ්‍යක්ෂකවරයා පිළිබඳ ගෞරවයකින් ඔහු එම වදන යොදා තිබෙනු පැහැදිලි වුවද, රචකයා නියෝජනය කරන, පෙනී සිටින, සමාජ දේශපාලන ඉසව් අනුව බලතොත්, කලාව නිර්ප්‍රභූත්වයට ගැනීම සම්බන්ධව ඔහු අදහසක් දරමින් සිටින බැවින් එහි පරස්පරයක් මතුවෙයි. මෙතැනදී අධ්‍යක්ෂවරයා කෞතුක වස්තුවක් නොකළ යුතුය යන්න අපගේ අදහසයි. කෙසේවෙතත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාව සම්බන්ධයෙන් ඔහු කරන සඳහනෙහි ගැටලුවක් නොමැත.
 
විචාරකයන් පිළිබඳව කෙරෙන වර්ගීකරණය යාවත්කාලීන කළ යුතුය යන්න අපගේ අනෙක් යෝජනාවයි. එනම්, මෙහි ලිපි වසර 20ක කාලයක් තුළ රචනා වී ඇති බැවින් ඒ ඒ කාලයට අනුව සැලකීමේදී සාධාරණීය වුවද, නූතනයේදී එය තවත් සංකීර්ණ වී තිබේ. මෙයට ම කාන්තා විචාරකයන්ගේ නාම ද ඇතුළත් වූයේ නම් සටහන තවත් සමබර වනු ඇත. මෙහි සඳහන් නොවන නමුත් විචාර සඳහා සක්‍රීය දායකත්වය දක්වන ප්‍රභා මනුරත්න, අරුණි සමරකෝන්, උපේක්ෂා නුවන්ශ්‍රීනි ඇතුළු පිරිසගේ නම් ඇතුළත් විය යුතුය. කෙසේවෙතත්, මෙහි අනෝමා රාජකරුණා සහ තරංගා රණසිංහගේ නාම සඳහන්ව තිබේ.
 
 සිනමාරූපී කෘතියේ කංචුකය
 
මෙම කෘතියේ කංචුකය නිර්මාණය කරන ලද්දේ, විකුම් ජිතේන්ද්‍ර විසිනි. එයින් නිරූපණය වන්නේ, අන්ද්‍රෙයි තර්කොවුස්කිගේ 'මිරර්'(1975) සිනමාපටයේ දර්ශනයකි. මෙය යොදාගැනීමට හේතුව විමසූ අවස්ථාවක ජිතේන්ද්‍ර පවසා සිටියේ, එය ලෝක සිනමාවේ වැදගත් සිනමාපටයක් වන අතර, එම සිනමාපටයේ ඔහුගේ මෙන් ම රචකයාගේ ප්‍රියතම දර්ශනය වූ බැවින් එය භාවිත කළ බවයි. ඇලෙක්සිගේ මව වන මාරියා වැටක් මත වාඩි වී ඈත බලා සිටින අවස්ථාවේදී ඇගේ මුහුණ කංචුකයේ දැක්වේ.
 
නිගමනය
 
සිනමාරූපී රචනා එකතුව, සිනමාව ප්‍රියකරන, හදාරන පිරිසට ඒ සම්බන්ධව කරුණු උගතහැකි, විමසා බැලිය හැකි, රචනා ශිල්පක්‍රම විධික්‍රම දැනගත හැකි විචාර ලිපි සමුච්චයකි. යාවත්කාලීන කළ යුතු තැන් සහ යළි කියවා සංස්කරණය කළ යුතු තැන් සකසා ගතයුතුව ඇත. හිනිදුම සුනිල් සෙනෙවිගේ විචාරක ආස්ථානය මෙවැනි කෘතිවලින් වඩා තහවුරු වේවා!
 
ඩිල්ශානි චතුරිකා දාබරේ