පූජාසනයට යන්න කලින් පොඩ්ඩක් නැවතිලා හැරිලා බලන්න ....

පූජාසනයට යන්න කලින් පොඩ්ඩක් නැවතිලා හැරිලා බලන්න ....

8 June 2021 08:34 am

මනුස්සයෙක්ට වෙන්න පුලුවන් නරකම දෙයක් තමයි තමන්ටම රැවටෙන එක. මේ ලෝකෙ අනිත් කාට රැවටුණත් නොවිය යුතු දෙයක් තමන්ට රැවටෙන එක.

 ගොඩක් වෙලාවට මේක වෙන්නෙ තමන් ගැන කරන වර්ණනා වලින් රැවටුණාම. අපි වටේ ඉන්න අය අපිව වර්ණනා කරනවා. විවිධ දේවල් ගැන. බාහිර ස්වරූපය ගැන වෙන්න පුලුවන්. හැසිරෙන විදිහ ගැන. ගතිගුණ ගැන. හැකියාවන් ගැන වගේ මේ ඕනම දෙයක්. 

 උදාහරණයක් විදිහට නළුවෙක් කියලා හිතන්න. චරිතෙක රඟපෑවම, පොඩ්ඩක් හිට්වුණාට පස්සෙ වටේ ඉන්න යාලු මිත්‍රයො මොකද කියන්නෙ. අම්මෝ මාරයි, ඒකනං නියමයි. ගාමිනී ෆොන්සේකා පරාදයි. බ්ලා බ්ලා.. ඊටපස්සෙ ප්‍රේක්ෂකයො, අනී අයියාහ් උයා මේමයි, මල්ලි වාව්හ්. මං ඔයාව බඳින්න කැමතියි. බ්ලා බ්ලා.. ඔහොම යද්දි අපිටම හිතෙන්න ගන්නවා ඔය කියන දේවල් ඇත්ත කියලා. අර අඳුරු හැඟීම් ආහාරයට අරන් ජීවත්වෙන ආත්මයක් වගේ ඒවා දිහා බල බල සතුටු වෙන්න පටන් ගන්නවා. තමන් ගැන අධි තක්සේරුවකට එනවා.
ඊළඟ පියවරේදි විරුද්ධ අදහසක් මතුවෙද්දි, මේ ඇක්ටිං නං අව්ල් කියලා කවුරුහරි කියපු ගමන් අර වර්ණනා කරන අය විවේචකයට බිම පෙරලගෙන ගහනවා. අඩෝ අපේ අයියට අරමයි මේමයි කියලා කවර් කරනවා.

දැන් අපි ස්වයං විනාශයේ බුබුළ ඇතුලෙ හිරවෙනවා. ඒ කියන්නෙ අපිම විශ්වාස කරන්න ගන්නවා මට සෙට් එකක් ඉන්නවා. උන් මං වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. ඒ සෙට් එක අවංකව මට ආදරෙයි, අර විවේචනය කරන්නෙ කුහක, ඉරිසියාකාර අඩුකුලේ ...ත්ත කියලා. 

එතනින් පස්සෙ අපි ජීවත්වෙන්නෙ ඔය බබල් එක ඇතුලෙ විතරයි. කිසිම දියුණුවක් වෙන්නෙ නැහ්. හිටිය විදිහටම වටේ අයව තෘප්තිමත් කර කර ඉන්නවා.වැරදි හදාගන්නෙ නැහැ. මොකද හදාගන්න වැරදි පේන්නෙ නෑ. වැරදි ඇහෙන්නෙත් නෑ. කියන්නත් කවුරුත් නෑ. කියන එකක් අහන්න ලෑස්තිත් නෑ. මම තමයි හොඳටම කරන්නෙ කියලා හිතාගෙන උඩට උඩටම යනවා. පාවි පාවිම ඉන්නවා.

නමුත් අපිට නොතේරෙන දේ තමයි ඔය වටේ ඉන්නෙ අපේ විශ්වයේ මොකක් හරි කුඩා අංශුවකට කැමතිවුණ පිරිසක් කියන එක. ඒක ඕනම වෙලාවක බිඳී යා හැකි බව. 

ඔය මොහොතෙදි අපි පටන් ගන්නවා අර දැන් මම මාලන් බ්‍රැන්ඩෝ වගේ කියලා හිතාගෙන බණ දේශනා පවත්වන්න. මම ශාස්තෲ අනෙක් අය මගේ අනුගාමිකයන් කියලා හිතන්න. අනිත් අය මට ගරු කරන්න ඕනෙ කියලා හිතන්න. අයියා සර් වෙන්න ඕනෙ කියලා හිතෙනවා. ඒක වෙනුවෙන් බැරි අමාරුවෙන් හරි ණයවෙලා හරි ස්ටේට්ස් මේන්ටේන් කරන්න ගන්නවා. 
ඔන්න ඔය තත්වයට ආවට පස්සෙ තමාර සමහර නළුවො ටීවී චැනල් වලට ඇවිල්ලා අනිත් අය _+බ්බයො වගේ කතා කියන්න ගන්නෙ. 

දැන් මොකද වෙන්නෙ.

සුළු දේකට තිබ්බ කැමැත්ත වැරදියට වටහාගෙන ශාස්තෲන් කෙනෙක්ට ඇඳගත්ත "පොර" ට, අම්මා මුත්තා මතක්කරලා බැනුං අහන්න වෙනවා.අර සියල්ල බැක්ෆයර් වෙන්න ගන්නවා. අර බැලුමක උඩට වෙලා පාවි පාවි ඉඳලා මේ තත්වය ගැන මෙලෝසංසාරයක් නොදැන හිටිය බබල් එක බිඳෙනවා. බිමට වැටෙනවා. අන්න එතකොට තමයි නහයෙන් අඬන්නෙ පූජාසනයෙ ඔබ හිඳුවා ඔබට පුදන ලොවමයි ආච්චිට හාල් ගරන්නෙ කියලා.

ෆැන්ටසිය කුඩු වෙලා, අන්තිමේ ලෝකෙට වැරද්ද දාලා නහයෙන් අඬනවා.
නමුත් අපි කවදාවත් අපෙන් අහන්නෑ ඇයි උඹ පූජාසනේට ගියේ කියලා.
අපිව අපේ අකමැත්තෙන් පූජාසනේට උස්සං යන්නෙ නෑ.
කැමැත්තෙන්මයි අපි යන්නෙ. ගිහින් රැවටිලා වැඳුම් පිදුම් අරන් පස්සෙ නහයෙන් අඬනවා.
ඇයි පූජාසනේට නැග්ගෙ ?

නළුවන්ව උදාහරණෙට ගත්තෙ තේරුම් ගන්න පහසු හින්දා.

තව උදාහරණයක් විදිහට දේසපාලඥයො අරන් බලන්න.

දේසපාලඥයො බලේට ආවම විනාස වෙන්න වැඩියෙන්ම හේතුවෙන්නෙ ළඟ ඉන්න වන්දිභට්ටයො ටික.

කියන කරන හැම හැලප වැඩේටම අම්මෝ ස මාරයි, අම්මෝ ස සෝක් කියලා අන්දනකොට අර මනුස්සයා බාහිර ලෝකෙන් වැහිලා ‍යනවා.

තමන්ගෙ ළඟට එහෙම ප්‍රසස්ති ගයන්නැති විවේචනය කරන, වැරදි පෙන්නන මිනිස්සුන්ව නොගන්න, ප්‍රසස්ති වලට නොරැවටී ජනතාව එක්ක සම්බන්ධය තියාගන්න බැරි අයට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. , 

සෙලිබ්‍රිටීස්ලට විතරක් නෙමෙයි. මේක අපි හැමෝටම එක වගේම අදාල දෙයක්. 

ඒ නිසා ප්‍රසස්ති ගයන අයට වගේම,  විවේචනය කරන, වැරදි ගැන කියන මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. බනින අයගෙ කතාත් අහන්න. 

ඒවා අපිට මතක් කරලා දෙනවා අපි කවුද සහ ඉන්නෙ කොතනද කියන එක.

මේ කියන්නෙ හැම එකාම කියන දේවල් අහ අහ උන්ට ඕන විදිහට නටන්න කියන එක නෙමෙයි. ප්‍රසස්ති පමණක් අසා පූජාසනයට යන්න කලින් නැවතිලා හැරිලා බලන්න කියන එක. රටේ ලෝකෙ හැම එකාගෙම බැනුං අහන්න නෙමෙයි. නමුත් වර්ණනා එද්දි දෙපාරක් හිතන්න කියන එක.

මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි මං ළඟින් ඇසුරු කරන අයගෙන් මං වැඩියෙන්ම කැමති සහ ආදරේ මට ඔහොම බනින අයට. ඒ කියන දේවල් තමන් අහනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒවා වලින් අපිට මතක් කරනවා අපි කවුද කියන එක. ඒ වගේමයි මං ආදරේ කරන මිනිස්සුන්ටත් මට හිතෙන දේ කියනවා. සමහරු තරහත් වෙනවා. ඒත් බොරුවට වර්ණනා කරලා වලේ දානවට වැඩිය ඇත්ත කියලා කලින් හිත රිද්දන එක හොඳයි. 

දිගටම වර්ණනා, ඇගයීම් වලින් උඩට යද්දි වහාම මතක් කරගතයුතුයි ඊළඟ මොහොත වඩා භයානක බව. මනුස්සයෙක් විනාස වෙන්න තියන හොඳම ක්‍රමේ තමයි වර්ණනා කරන එක. වර්ණනා අහන එක. 

පූජාසනයට යන්න කලින් නැවතිලා හැරිලා බලන්න.

- චමල් අකලංක පොල්වත්තගේ