ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් රට විශාල අනතුරකට දැම්මා - වෛද්‍ය නිහාල් අබේසිංහ

ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් රට විශාල අනතුරකට දැම්මා - වෛද්‍ය නිහාල් අබේසිංහ

17 May 2021 10:59 pm

අසල්වැසි ඉන්දියාවේ ඉතාම බරපතල ව්‍යසනකාරී තත්වයක් නිර්මාණය වී තිබෙනු දැක දැකත් මෙරට රජය අවශ්‍ය මොහොතේ නිවැරදි තීන්දු තීරණය නොගත් නිසා ඉන්දියාවේ වැනි තත්වයක් මෙරට තුළද ඇතිවීමේ බරපතල අවදානමක් තිබෙන බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. වසංගත තත්වය කළමනාකරණය කිරීමේදී සෑම අංශයකින්ම අසමත් වී ඇති බවයි අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ.

'වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් මූලිකව බැලූවාම අදාල තීන්දු-තීරණ ගැනීම ඉතාමත් බරපතළ ලෙස ප්‍රමාදයි. අනික් පැත්තෙන් වසංගතය පාලනය කිරීමේ මූලික වගකීම කා සතුද මේ වගකීම ගන්නේ කවුද කියන එක ගැන කිසිම පැහැදිලිකමක් නැහැ. විවිධ අමාත්‍යවරු, විවිධ නිළධාරීන් විවිධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවල ඒකමතියක් පෙන්නේ නැහැ.'

බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් රටතුළ තිබියදී ඒ සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගතයුත්තේ සෞඛ්‍ය බළධාරීන් විසින් බවත් පෙන්වා දෙන නිහාල් අබේසිංහ මහතා පවසන්නේ එහි නිසි බළධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බවයි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ඔහු ගන්නා තීන්දු පවා වෙනස් කළ හැකි මට්ටමේ බලවේග ඔහුට උඩින් ක්‍රියාත්මක වෙමින් සිටින බවද අබේසිංහ මහතා පවසනවා.

ඉතිහාසය පුරා මහජන සෞඛ්‍යය හා වසංගත රෝග වැළැක්වීම සම්බන්ධයෙන් කීර්තිනාමයක් අත් කරගෙන තිබූ රටක් මෙවැනි තත්වයකට පත්වීම පිළිබඳව බරපතල කණගාටුවක් තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

'අපේ රටේ ඉතිහාසයේදී මේ වගේ වසංගතයන් පාලනය කළේ, වසංගත රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවකින්. ඒ උපදේශක කමිටුවේ මෙහෙයවීම මත සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා කටයුතු කළා. මේ වෙලාවේ ඒ කමිටුව අකර්මණ්‍ය කරලා හෝ අකර්මණ්‍ය වෙලා. ඒ නිසා තවදුරටත් ඒ කමිටුව කෙරෙහි විශ්වාසය තියන්න බැරිවෙනවා. මේ ගෝලීය අභියෝගයේ බැරෑරුම්කම ආණ්ඩුව තවමත් තේරුම් අරගෙන නැහැ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පැනවූවා, විශේෂඥ අවබෝධයක් සහිත කණ්ඩායමක් මගින් වසංගතය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගත යුතු බවට. ඒ අනුව නවදිල්ලිය ලොක්ඩවුන් කරලා. සිංගප්පූරුව මාසයක් රට ලොක්ඩවුන් කරලා. මේ වෙලාවේ අපේ කලාපය තුළ බී.11 ප්‍රභේදය සහ බී.167 කියන ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිඛෙනවා. ඒ නිසා අපේ රටට ඉතාමත් තීරණාත්මකයි.'

ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවද නිහාල් අබේසිංහ මහතා පවසනවා.

'දිනකට පී.සී.ආර්. පරීක‍ෂණ 25,000 කට සීමා වෙලා නිසා ආසාදිතයින් වැඩිවීම සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. පී.සී.ආර්. කරන ප්‍රමාණයට සාපේක‍ෂව ආසාදිතයින් හඳුනා ගන්නා ප්‍රමාණයේ ප්‍රතිශතය විතරයි ඉදිරියේදී දකින්න ලැඛෙන්නේ. දවසකට එක ආසාධිතයෙක් හඳුනා ගන්නකොට ඔහුගේ පවුලේ සහ සමීපතමයන් අනිවාර්යයෙන්ම අඩුම තරමෙන් දෙදෙනෙකුවත් ඉන්න ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 6,000 ක් ඉන්න තැනක හඳුනාගන්නේ 2,000 ක් වගේ සංඛ්‍යාවක් පමණයි. මේ අයගෙනුත් 80% ක් රෝග ලක‍ෂණ නොපෙන්වන ආසාධිතයෝ. 15% කට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5% කට රෝහල්ගත වෙන්න සිදුවෙනවා. ඒ වගේම 1% ක්වත් අඩුම තරමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න වෙනවා. මේ දැඩිසත්කාර ඒකක අවශ්‍යතාවය සැලකූවත් දිනකට 60 ක් විතර වෙනවා. මේ එක් අයෙක් අඩුම තරමින් දින 10 ක්වත් රෝහල් තුළ රැකබලාගන්න වෙනවා. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නෙ බරපතළ තත්වයක්. රෝහල්වලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා වෙලා. ඒ නිසා අපි හැමෝටම බලපාන තීරණාත්මක තත්වයකට රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ නිවැරදි පියවර නොගත්තොත් බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා.'

UN