IDAHOT දිනයට සමගාමීව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පිළිබඳ කෙටි චිත්‍රපටයක්

IDAHOT දිනයට සමගාමීව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පිළිබඳ කෙටි චිත්‍රපටයක්

17 May 2021 06:36 pm

සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය (International Day Against Homophobia, Transphobia and Biphobia: IDAHOT) අදට (17) යෙදී තිබේ.

ලොව පුරා වසන සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාවන් සිය ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව හා ප්‍රකාශනය පාදක කොටගත් වෛරය, ප්‍රචණ්ඩත්වය හා වෙනස්කොට සැලකීම් පිටුදැකීමේ අරමුණින් මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබයි.

සමරිසිභීතිකාව (Homophobia), සංක්‍රාන්ති සමාජභාවී භීතිකාව (Transphobia), ද්වීරිසි භීතිකාව (Biphobia) ඇතුළු අතාර්කික භීතිය පදනම් කොට ගත් සියළු අන්දමේ වෛරී සහගත ක්‍රියාවන් පිටු දැකීමත්, එවන් තත්ත්ව මත හට ගන්නා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමත්, LGBTIQ ප්‍රජාවට අනෙකුත් ප්‍රජා මෙන් මානව හිමිකම් සඳහා ඇති අයිතිය තහවුරු කිරීමත් මෙම දිනයේ අපේක්ෂාවයි.

IDAHOT දිනයට සමගාමීව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (Family Planning Association of Sri Lanka) කෙටි චිත්‍රපටයක් නිකුත් කර තිබේ. මෙම කෙටි චිත්‍රපටය ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ විකාශය වේ.

කෙටි චිත්‍රපටය නැරඹීමට පිවිසෙන්න

සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් දෙදෙනෙකු මුහුණ පෑ සත්‍ය සිදුවීම් දෙකක් ඇසුරින් නිර්මාණය වූ Breaking out from the Shadows නම් මෙම කෙටි චිත්‍රපටය මගින් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව සම්බන්ධයෙන් සමාජයේ ඇති භීතිකාවේ, වෛරයේ සහ නොදැනුවත්භාවයේ එක් පැතිකඩක් පෙන්නුම් කෙරේ.

සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව නිකුත් කළ මෙම කෙටි චිත්‍රපටය විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව සම්බන්ධයෙන් සමාජය තුළ ඇති පටු ආකල්ප යම් ප්‍රමාණයක් වෙනස් වේ යන අපේක්ෂාවෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබේ.