ජාතික ව්‍යසනයකදීවත් එකඟතාවයකින් වැඩ කරන්න ආණ්ඩුව අසමත් - කරු ජයසූරිය

ජාතික ව්‍යසනයකදීවත් එකඟතාවයකින් වැඩ කරන්න ආණ්ඩුව අසමත් - කරු ජයසූරිය

17 May 2021 06:00 pm

කොවිඩ් වසංගතය වැනි ජාතික ව්‍යසනයක් ඇති අවස්ථාවක දේශපාලන පක්ෂ, වෘත්තීය සංවිධාන, වෙනත් බලවේග ඇතුළු සියලු දෙනා එක්ව, එකම වැඩපිළිවෙළක් ඔස්සේ ව්‍යසනයට මුහුණ දිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසනවා. කොරෝනා වසංගතය මෙතරම් උත්සන්න වීමට එවැනි සියලු දෙනා‍ එකඟ වූ, නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිකමද හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි සියලු පාර්ශ්ව සමග සම්බන්ධ‍ වූ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව පෙරමුණ ගත යුතු නමුත් වත්මන් ආණ්ඩුව ඒ සඳහා සූදානම් නොමැතිවීම රටේත් ජනතාවගේත් අවාසනාවක් බවද ජයසූරිය මහතා පවසනවා. අද (17) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම හරහා සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම හරහා උඩඟුභාවයට පත්ව ඇති වත්මන් පාලකයන්ගෙන් එවැනි සහයෝගීතාවයක්, එකඟතාවයක් බලාපොරොත්තු විය නොහැකි බව බොහෝ දෙනාගේ අදහස බවද කරු ජයසූරිය මහතා අවධාරණය කරනවා.

මෙම තත්ත්වය හමුවේ රටේ ආනගතය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විමසිය යුතු ප්‍රධාන කරුණු තුනක් තිබෙන බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ.

1. රට මුහුණ දී ඇති මෙම බිහිසුණු වසංගතය පරාජය කිරීම සඳහා රජය විපක්ෂයේ හා සිවිල් සමාජ සංවිධානයන්හි සහාය අපේක්ෂා කරන්නේද?
රජය ඊට ලබා දෙන පිළිතුර ඔව් යන්න නම් නැතහොත් එවැනි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා මෙම අභියෝගය ජය ගැනීම සඳහා රජය සූදානම් වන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයකට බාධා විය හැකි පටු දේශපාලන උපාය මාර්ග වෙනස් කර ගැනීමට රජය අවංක විය යුතුය. ප්‍රායෝගිකවම ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ඒ අනුව අප තුළ පවත්නා දෙවන හා තුන්වන ප්‍රශ්නයන්ටද රජය ලබාදෙන පිළිතුර ඉතා වැදගත්ය. එනම්,

2. දේශපාලන පළිගැනීම් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ඊනියා නිර්දේශ හා යෝජනා පදනම් කරගනිමින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරියේදී සම්මත කර ගන්නේද? ඒ මගින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා  නීතියේ ආධිපත්‍යයට බරපතළ විනාශයක් ඇති කරලිය හැකි පිළිවෙතකට රජය තවදුරටත් යොමුවන්නේ ද?

3. පටු දේශපාලන අරමුණු මත විවිධ චෝදනා  ඉදිරිපත් කරමින් බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින එහෙත් මේ දක්වා ම අධිකරණය හමුවේ පැහැදිලි ලෙස චෝදනා ගොනු කිරීමක් සිදුකර නැති දේශපාලඥයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි දේශපාලන සිරකරුවන්  සාධාරණත්වයේ හා මනුෂ්‍යත්වයේ නාමයෙන් මුදාහරින්නේ ද?

මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හා වත්මන් ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරක් බලා‍පොරොත්තු වන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරනවා.