විපක්ෂ නායකයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සජබයෙන් පැහැදිලි කිරීමක්

විපක්ෂ නායකයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සජබයෙන් පැහැදිලි කිරීමක්

17 May 2021 05:25 pm

 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙලිදරව් කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාධා පමුණුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතාබහට ලක්ව තිබෙනවා. අදාල මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බවට මන්ත්‍රී කණ්ඩායම තුළ යෝජනාවක්ද සම්මත කරගත් බවයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවා හෙලිදරව් කිරීමට සජබ මන්ත්‍රීවරුන් කටයුතු කළ බවත් එසේ තිබියදී සජබ නායකයාට මෙවැනි චෝදනා කිරීමට කිසිදු පදනමක් නොමැති බවත් එම පක්ෂය පවසනවා.
 
ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිකුත් කළ මාධ්‍ය නිවේදනය....
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව් කිරීමට විපක්ෂ නායකයා බාධා පමුණුවන බවට ඇතැම් මාධ්‍ය තුළ පලවන අසත්‍ය වාර්තා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (17) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් අතර අදාල වාර්තා සහමුලින්ම  අසත්‍ය බවට යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය.
සමගි ජනබලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න මහතාගේ සහ සහකාර ලේකම් අශෝක් අබේසිංහ මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් එය සම්මත විය.
ඒ පිළිබඳව විශේෂ නිවේදනය
මෑත ඉතිහාසය තුල මෙරට සිදුවූ මිලේච්ඡ සිදුවීම වූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයයි. එම ප්‍රහාරයේ බියකරු මතක මේ රටේ සියලු දෙනා තුළ තවමත් රැව් පිලිරැව් දෙමින් තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ඔවුන්ට උපරිම දඩුවම් ලබා දියයුතු බවත් අපි මුලසිටම ගත් ස්ථාවරය වන අතර එය කිසිම විටෙක නොවෙනස් ස්ථාවරය කි. එම ප්‍රහාරය දියත් කළවුන්ද ඊට අනුබල දුන් පිරිස්ද මිලේච්ඡ ත්‍රස්තවාදීන් ලෙස සෘජුවම ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව ඉදිපත් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තිය අපතුල දැඩිලෙස ඇති අතර, පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්තයින් සම්බන්ධයෙන්  අපේ ස්ථාවරය ඔවුන්ට මරණ දඩුවම දියයුතු බව ය. ඒ තරමටම එම බියගුළු ප්‍රහාරය සහ ඊට සම්බන්ධ වූවන් පිළිබඳව පිළිකුලක් අපතුල වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති බොහෝ තොරතුරු හෙලිදරව් කිරීමට සහ ඒවා පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් කතා කිරීමට අප කිසිවිටෙක පසුබට නොවූ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව කතා කිරීමේ පූර්ණ නිදහස,සහ ආශිර්වාදය අප ලබා දී ඇත.
ඒ බව එම මන්ත්‍රීවරු පවා සාක්ෂි දරන අතර එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ සියලු දෙනාගේ නාමයෙන් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතුය.
අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරමු.
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම වැනි අයිතීන්  පිළිබඳව ද නිදහසක් සමගි ජනබලවේගය  පූර්ණ වශයෙන්ම ලබාදී ඇති අතර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පූර්වාදර්ශ ලබාගත හැකි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතක් සමගි ජනබලවේගය තුල වෙයි.
කෙසේ වෙතත්,
උදාර පරමාර්ථයන් සාක්ශාත් කරගැනීම උදෙසා අප යන ගමනේදී ඊට අකුල් හෙලන යමෙක් වෙත්නම් ඒ තුලින් ගම්‍ය වන්නේ එවැන්නන් තුල ඇති දුෂ්ඨ අපේක්ෂාවන් සහ කුමන්ත්‍රණකාරී බලාපොරොත්තු ය.
එකී දුෂ්ඨ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඇති අයෙක් වෙත්නම් අපේ පිළිකුල ඔවුන්ට පල කරමු.සිය ප්‍රාථමික අපේක්ෂාවන් වෙනුවෙන් කිසියම් පුද්ගල කණ්ඩායමක් කටයුතු කරනවානම් අප ඊට එරෙහි අතර සමගි ජනබලවේගයේ සමස්ත මහජන නියෝජිතයින් ද එම තීන්දුවට එකගවනු ඇත.
මේ මොහොතේත් රට පුරා ජනතාව බලවත් පීඩාවකින් සිටින අතර ආණ්ඩුවේ අසාර්ථකත්වය මොහොතින් මොහොත උද්ගත වෙමින් තිබේ.මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජනබලවේගය ඩීල් සහ පටු ලාබ අපේක්ෂා වෙනුවට මහජන සේවය උදෙසා නිරන්තරයෙන්ම කැපවෙන අතර එකී අපේක්ෂාවන්ට එරෙහිව යන පිරිස් කෙරෙහි අපි අනුකම්පා කරමු .පිළිකුල ප්‍රකාශ කරමු.
පිරිසිදු අරමුණු සහිතව අප යන ගමන මානසික උද්දච්ච බවින් පිරුණු අපරිණිත අවස්ථාවාදීන්ට ආපසු හැරවිය නොහැකි අතර බොරුව සහ මුලාව ජනගත කිරීමත්,වොයිස්කට් දේශපාලනයත්  ඔවුන්ගේ ප්‍රමුඛ සිහිනය වන අතර අපට ඇත්තේ ජනතාව සමග් අත් නොහරින වගකීම් සහගත සමාජ පරිවර්තනය කි.
එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු අරභයා සත්‍ය හෙලිදරව් වනතුරු අප අරගල කරමු.
සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය