PCR පොසිටිව් හැමෝටම රෝගීන් කියන්නෙ කොහොමද ? - නලින් ද සිල්වාගේ දැවන ප්‍රශ්නය

PCR පොසිටිව් හැමෝටම රෝගීන් කියන්නෙ කොහොමද ? - නලින් ද සිල්වාගේ දැවන ප්‍රශ්නය

17 May 2021 03:00 pm

මේ වනවිට මෙරට තුළ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 150,000 ආසන්නයට පැමිණ තිබෙනවා. බොහෝදුරට ඉදිරි දින 03 තුළදී එම ප්‍රමාණය ඉක්මවා යනු ඇත. ඔවුන්ගෙන් බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් ‍නොපෙන්වූ අය වන අතර ‍මේ නිසා විශේෂ ප්‍රතිකාර ඔවුන්ට අවශ්‍ය නොවීය.

කෙසේ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔවුන්ගෙන් වෙනත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙන හෙයින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබීම හෝ හුදෙකලා කර තැබීම සිදු කෙරේ. ඒ අනුව සමස්තයක් ලෙස‍ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ + හෙවත් පොසිටිව් වන පුද්ගලයන් සියලු දෙනා රෝගීන් ලෙස හඳුන්වයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වූ වකවානුවේ සිටම, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතාට කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තිබෙන බරපතලම ගැටලුව PCR පොසිටිව් වන සියලු දෙනා රෝගීන් ලෙස සැළකීමයි. එසේ සැළකීම හා සංඛ්‍ය‍ාලේඛන සකස් කිරීම බරපතල වැරැද්දක් බවත්, ඒ අනුව කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමට පවා බටහිර වෙදකම අමත් බවත් මහාචාර්යවරයා පවසනවා.

ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා සියලු දෙනා රෝගීන් ලෙස සැළකීම සිදු කරන්නේ, ඔවුන්ගෙන් වෙනත් අයට වෛරසය ආසාදනය වී වෙනත් පුද්ගලයන් රෝගී වීමේ හා මරණයට පත් වීමේ බරපතල අවදානමක්ද තිබෙන හෙයිනි. ඒ නිසා රෝග ලක්ෂණ පහළ නොවූ පුද්ගලයන්‍ රෝගීන් ලෙස නොසළකා ඊට අඩු තක්සේරුවකින් කටයුතු කිරීම තවත් කෙනෙකුට මාරාන්තික ප්‍රතිඵලයක් ලඟාකර දෙන්නක් විය හැකිය.

කොවිඩ් ආසාදිතයෙකු රෝගියෙකු ලෙස සැළකීමෙන් ඔහුට හෝ ඔහුගෙන් සමාජයට හෝ සිදුවන අයහපතක් නොමැත. කෙසේ නමුත් එය අනෙක් පැත්තට සිදු වුවහොත්, ඔහු රෝගියෙකු නොවේ යැයි සළකා සැහැල්ලුවෙන් කටයුතු කළහොත් එය සමස්ත සමාජයටම මාරාන්තික ගැටලුවක් විය හැකිය.

මීට කලින් කෑගල්ලේ ධනපාල බාස්ගේ පැණිය වෙනුවෙන් පෙනී සිටි නලින් ද සිල්වා මහතා අද ඒ පිළිබඳව කිසිවක් කතා නොකරයි. කොවිඩ් නසන හෙළ වෙදකම ගැන පාරම් බෑ මහාචාර්යවරයා අද කියන්නේ එන්නත්කරණය පිළිවෙලට කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

කොවිඩ් 19 වසංගතය ලංකාවේ තරමක් බරපතළ වෙලා. පළමු අවස්ථා දෙකේ දී ම යම් පමණකට හරි කොවිඩ් පාලනය කරන්න අපට පුළුවන් වුණා. දෙවැනි අවස්ථාවේ යම් යම් ප්‍රශ්න නොතිබුණා නො වෙයි. එහෙත් අවුරුද්දකට පමණ ඉස්සර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක්. එදා තිබූ අද නැති සාධක මොනවා ද? එදා නොතිබූ අද ඇති සාධක මොනවා ද? මා ඒ ගැන  ලියා ඇති බැවින් නැවතත් ලියන්න අදහස් කරන්නේ නැහැ. එහෙත් නොකියා ම බැරි කරුණ තමයි එකල තිබූ දේශීය දැනුම් හා ආධ්‍යාත්මික නැඹුරුව අද නොමැති වීම හා අද බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු වීම. තවමත් ආයුර්වේද රෝහළේ ඇඳන් රෝගීන් ඉල්ලමින් උඩ බලන් ඉන්නවා.

කොවිඩ් සම්බන්ධයෙන් එයට අමතර ව එහෙමත් නැත්නම් ඒ හා අනුබද්ධ තවත් සාධක තුනක් තියෙනවා. අප දැන් වැඩ කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එයට යටවෙලා. ඒත් අපට බටහිර රටවල් මෙන් කටයුතු කරන්න බැහැ. අප ධනය අතින් දුප්පත්. එන්නත් ලබා ගැනීමත් අපට ප්‍රශ්නයක් වෙලා. ඒ මිළ නිසාමත් නොවෙයි. අද හැම රටකට ම එන්නත අවශ්‍යයි. ඒ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ දී දුප්පත් රටවල් ඉන්නේ ලැයිස්තුවේ අග.  අපට බටහිරයන්ට මෙන් ඕන ඕන විධියට රට වහන්න බැහැ. අප රටේ එදිනෙදා වැඩක් පළක් කරල ජීවත් වෙන ප්‍රමාණය අධිකයි. ඔවුන් ගැන ගොවීන් ගැන ධීවරයන් ගැන හොයන්න ඕන. රට වහලා ඔවුන්ට දීමනාවක් දෙන්නට තරම් අප පොහොසත් නැහැ.

අපට ඇති දෙවැනි ප්‍රශ්නය බටහිර වෙදකම හා සම්බන්ධයි. සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරීන් පවා තවමත් හිතන්නේ යමකු පීසීආර් + නම් ඒ රෝගීයකු  කියා. ඒ මතය ජනතාව අතරට යෑම ගැන ජනමාධ්‍ය මෙන් ම බටහිර වෙදකමට සම්බන්ධ බොහෝ දෙනා ද වග කියන්න ඕන. කොවිඩ් රෝගියකු හඳුනාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද තියෙනවා. ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැති නිසා පීසීආර් + නම් රෝගියකු කියන්න පුරුදු වෙලා. පීසීආර් + අයට කොවිඩ් 19 වැළඳීමට ඉඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඇතැමුන් පීසීආර් + අය නිවෙස්වල තබා ගැනීමට විරුද්ධ වන්නේ පීසීආර්+ නම් රෝගී කියන්න මුල ඉඳන් ම අපි පුරුදු වුණ නිසා. පීසීආර් + බව දින කිහිපයකින් පීසීආර් - වෙන්න පුළුවන්. අද බටහිර රෝහල්වල ඊනියා ප්‍රතිකාර ලබ සුව වී ගෙදර යනවා කියන්නේ කිසිම ප්‍රතිකාරයක් නැතිව පීසිආර් + පීසීආර් - වුණු අය. ඔවුන්ට සුව වෙන්න රෝගයක් තිබුණෙ නැහැ.

පීසීආර් + අය ගැන අප පමණක් නොව සියලු දෙනා ගැන ම අප විමසිල්ලෙන් ඉන්න ඕන. අද පීසීආර් - අයකු හෙට පීසීආර් + වෙන්න පුළුවන්. අනිද්දා රෝගියකු වෙන්න පුළුවන්. රෝගියකු හඳුනාගැනීම සඳහා සරල නිර්ණායක කිහිපයක් කියන්න පුළුවන් ද? මට තේරෙන විධියට කොවිඩ් සෙම කිපීමෙන් ඇති වන රෝගයක්. සෙම කිපීමෙන් සිරුරේ තුන්දොස් අතර ඇති සමබර බව බිඳෙනවා. ප්‍රතිකාර අවශ්‍ය ඒ සමනය කර ගැනීමට. අපට මෙය අවශ්‍ය නම් සමතුලිතබව නැති වීම කියන්න පුළුවන්. එහි ස්වභාවය අනුව ඒ ගතික සමතුලිතතාවක්.

මෙය ප්‍රතිශක්තිකරණය නැති වීම හා වර්ධනය කිරීම ලෙසත් කියන්න පුළුවන්. එහෙත් එය සංකල්ප පටලවා ගැනීමක් ලෙසයි මට හිතෙන්නෙ. අපි අර තුන්දොස් කිපීමට හා සමනය කිරීමට සීමා වෙමු. අවශ්‍ය ම නම් ගතික සමතුලිතතා කතාව යොදා ගනිමු. නාඩි ශාස්ත්‍රයෙන් මේ තුන්දොස් කිපීම දැන ගන්න පුළුවන්. එහෙත් අපේ වෙදකම නාඩි ශාස්ත්‍රයට පමණක් සීමා නොවූ බවත් කියන්න ඕන. අපේ වෙද මහතුන් හරි රෝගීන් හඳුනාගැනීම සඳහා සරල ලක්‍ෂණ කිහිපයක් කියනවා නම් හොඳයි.

බටහිර එන්නත ප්‍රතිකාරයක් නො වෙයි. එය රෝගය වැළඳීම වැළැක්වීම සඳහා කරන උපායක්. ඒ උපාය ඒ ආකාරයෙන් ම නූණත් භාරතයේත් තිබුණා. සමහර විට උපාය රෝගය වැළඳුණු අයට ප්‍රතිකාරයක් වෙන්නත් පුළුවන්. ධම්මික වෙද මහතාගේ පැනිය එවැන්නක් කියා හිතෙනවා. පැනිය ගැන කියන විට අපට අපේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධාරියකු වූ රියැදුරු මහතකු සෞඛ්‍යයට හොඳය කියා ඉස්ම සහිත ඉඟුරු ගෙනත් දුන් බව කියන්න ඕන. අර පැනියෙ තිබුණෙත් ඉඟුරු ගම්මිරිස් සාදික්කා ආදිය. මියන්මාහි කොවිඩ් එතරම් පැතිරීමක් නැහැ.

අද කළ යුත්තේ පීසීආර් + වුවත් නිවසේ තබා ගැනීම හා රෝග ලක්‍ෂණ පහළ වුණොත් බටහිර රෝහලකට හරි ආයුර්වේද රෝහලකට හරි ගෙන යෑම. ඒ අතර තමන් කැමති නම් අද  ඇති විවිධ දේශීය ප්‍රතිකාරත් ගන්න පුළුවන්. එය වළක්වන්න බටහිර වෙදකමට හරි බටහිර වෙද මහතුන්ට හරි සෞඛ්‍ය අමාත්‍යංශයට හරි බලයක් නැහැ.

අපට කොවිඩ් සම්බන්ධයෙන් ඇති තුන්වැනි ප්‍රශ්නය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නය. අපත් වෙනත් බොහෝ ආසියාතික රටවලුත් අතරමං වූ පිරිස්. අපට අපේ ලොවත් නැහැ, බටහිර ලොවත් නැහැ. කළමනාකරණය පිළිබඳ බොහෝ දේ කියන්න තියෙනවා. අද අපට අපේ කළමනාකරණය අහිමි වෙලා. එය තවමත් පවතින්නේ පන්සලේ හා පෙරහැරේ පමණයි. නුවර පෙරහැර සංවිධානය කරන එක ලෙහෙසි පහසු වැඩක් නො වෙයි. පන්සලේ පින්කම් දාන මාන අපි පිළිවෙළට කරනවා. ඒත් අපට පිළිවෙළකට කොවිඩ් එන්නත ලබා දෙන්න බැහැ. රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම පිළිවෙළකට කරන්න බැහැ. ඒ කියන්නේ අපට බටහිර පිළිවෙළ නැහැ කියන එකයි.

එංගලන්තයේ කොවිඩ් එන්නත ලබා දෙන අපුරුව පිළිබඳ අපට කියන්න පුළුවන්. අපට බටහිර පිළිවෙළ අනුගමනය කරන්න බැහැ. මෙය සංස්කෘතික ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් දැනුම් පද්ධති අතර ප්‍රශ්නයක්. කොවිඩ් එන්නත පිළිවෙළකට කරන්න නිලධාරීන්වත් සාමාන්‍ය ජනයාවත් එකතු වන්නේ නැහැ. පැය හයක් පෝලිමේ ඉන්නෙ නැතිව එන්නත ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. එයට ඇති එක ම ක්‍රමය විද්‍යුත් මෙහෙයුමක් නො වෙයි.

බටහිර වෙදකම සඳහා 1870 මෙරට වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවූයේ එංගලන්තයෙන් වෙදකම් කිරීම සඳහා බටහිර වෙද මහත්වරු ගෙන්වා ගැනීම වියදම් අධික දෙයක් නිසා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ සාමාන්‍ය ලෙඩකට බෙහෙතක් දෙන්න පුළුවන් බලපත්‍රලාභීන් පිරිසක් බිහි කර ගැනීමයි. මා මේ දිනවල ආනන්ද ඩයස් ජයසිංහ මහතා රිච්මන්ඩ් විදුහලේ අමතක වූ ඉතිහාසය මැයෙන් ලියා ඇති පොතක් කියවනවා. රිච්මන්ඩ් ඉතිහාසය 1814 දක්වා දිව යන බව එහි සාක්‍ෂි සහිත ව පෙන්වනවා. එය රිච්මන්ඩ් ඉතිහාසය ගැන මෙන් ම මෙරට අධ්‍යාපනය හා සමාජ පසුබිම ගැන ද ලියැවුණු පොතක්.  එහි සඳහන් එක් කරුණක් නම් ඉංගිරිසින් මෙරට ඉංගිරිසි මාධ්‍ය පාසල් පිහිටුවූයේ එංගලන්තයෙන් අධික වියදමක් දරා පිරිස් ගෙන්වන්නෙ නැතිව රජයේ වැඩ කර ගැනීමට අවශ්‍ය සුලු නිලධාරීන් මෙහි දී ම බිහි කර ගැනීමට බව. මේ සුලු නිලධාරීන් සුලු වෙද මහතුන් බිහි කිරීමට ගත් පියවර පසු කලෙක මැකෝලි ඉන්දියාවෙ දි ආකල්පමය වෙනසකට භාජනය කිරීමට උත්සාහ කළා. ඔහුට අවශ්‍ය වූයේ හමෙන් දුඹුරු වුවත් ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමට.

එහෙත් මැකෝලි අසමත් වෙලා. අපට ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. අප තවමත් ඉංගිරිසින්ගෙ සුලු නිලධාරීන් හා සුලු වෙද මහතුන් පමණයි. මෙරට අද කළමනාකරණ පීඨ රාශියක් තියෙනවා. එහෙත් ඒ එකකටවත් ඉංගිරිසින් මෙන් කළමනාකරණය කළ හැකි අයකු බිහි කර ගන්න බැහැ. අපට ඉන්නෙ පඬිනැට්ටන් පමණයි. මැකෝලි නැට්ටන් කිවුවත් කමක් නැහැ. 

- Kalaya