වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම තහනම් !

වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම තහනම් !

17 May 2021 02:30 pm

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොල විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කිසිදු හේතුවක් මත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණය නිකුත් කළ මෙම නියෝගය මේ මස 24 වැනිදා දක්වා බලපැවැත්වේ.

මෙම අභියාචනාධිකරණ නියෝගය පිළිබඳව අද (17) දින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නිළ වශයෙන් දන්වා තිබෙනවා.

වෙලේ සුදා‍ගේ මව වන ආර්.ජී. මාලනී නමැති පෙත්සම්කාරිය විසින් ගොනුකළ රීට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ‍නීතිඥ ‍රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ හේතු මත පොලීසියේ පිටතට රැගෙන ගොස් මරාදැමීමේ ප්‍රවණතාවයක් තිබෙන හෙයින් තම සේවාදායිකාවගේ පුත්‍රයාටද මෙවැනි ඉරණමක් අත්වීමේ ඉඩක් තිබෙන බවයි. ඒ නිසා අදාල පුද්ගලයාට කිසිදු හේතුවක් මත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව සළකා බැලීම නම් නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි. ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නැයි නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදුරට විභාගය මැයි 24 වැනිදා දක්වා කල්තැබීමට කටයුතු කළේය.

UN