නීතිපති දප්පුල ද ලිවේරා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ නොවේද?

නීතිපති දප්පුල ද ලිවේරා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ නොවේද?

16 May 2021 12:45 pm

වත්මන් නීතිපති දප්පුල ද ලිවේර මහතා මහජනතාව වෙත දැනුම් දීමක් කරමින් පවසා සිටියේ සිය ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ,ඊට ආධාර අනුබල දුන්,ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ  එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව සිදුකරන විමර්ශන සම්පූර්ණ නොවී තිබීම ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණි.

ඒ අනුව මේ වන විට නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයට අදාළව පාස්කු විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත. 

පාස්කු ප්‍රහාරය වැනි ඉතා මිලේච්ජ නැවත හැරවිය නොහැකි අපරාධයක් හමුවේ යුක්තිය අපේක්ෂාවෙන් සිටින දහස් ගණනක් මිනිසුන් ඉදිරියේ මෙලෙස සිදුවීම් පෙළගැසෙන විට එකී යුක්තිය සම්බන්ධයෙන් අපට යම් යම් දෘෂ්ටිමය පුරෝකථනයන්ට එළඹීමට නොහැකි නොවේ.

එමෙන්ම නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ද මෙලෙස සිය ධුර කාලය අවසන් වන බව පවසමින් කර ඇර යා හැකිද? 

සැබෑ ලෙසම ලිවේරා මහතාගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ (එම ප්‍රහාරයට පෙර සිදු වූ ඇතැම් අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන්) හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන අවසන් කර තිබුණේ නැද්ද?  

මන්ද එම පාස්කු ප්‍රහාරයෙන් පසු ඊට පෙර සිදු වූ අපාරධමය සිදුවීම කිහිපයක් ඊට ඇඳී තිබුණේ පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට පෙර පූර්ව අනතුරු ඇඟවීම් ලෙසය. 

ලිවේරා මහතාගේ මතකයෙන් ගිලිහි ගොස් තිබෙන එම සිදුවීම හා ඒ හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන්ව තිබුණේද නැද්ද යන්න පිළිබද සිහි කැඳවීමක් කිරීමට  කැමැත්තෙමු.

ලිවේරා මහතාණෙනි, 

2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිධිය ගැන ඔබේ මතකයේ ඇති බවට සැකයක් නැත. සිදුවීම ආරම්භයේදීම එය LTTE ගිණුමට බැර වුවත් අවසානයේදී එය සහරාන් හෂිම්ලාගේ ඉස්ලාම් අන්තවාදයේ ප්‍රතිඵලයක් බව විමර්ශන තුළින් තහවුරු කරගෙන තිබුණි. 

ඒ අනුව එම සිදුවීමට අදාළව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව  විසින් 2019 සැප්තැම්බරය වන විට අවසාන කර නීතිපති වෙත භාර දී තිබුණි. 

අනෙක වනාතවිල්ලුව  අවි ගබඩාව සොයා ගැනීම සඳහා සහය දැක්වූ එවකට කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් තස්ලීම්ව  ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කර තිබුණි.

අප දන්නා පරිදි එම විමර්ශනයද අවසන් කර 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී නීතිපති වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. 

එයද සහරන්ලාගේ කල්ලියේ වැඩක් බවට දැන් රටම දනී. 

තවද 2018 දෙසැම්බර් 21,22 යන දිනවල මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද 2019 සැප්තැම්බර් මාසය වන විට විමර්ශන අවසාන කර ඔබ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. 

ඒවා එලෙස වන විට ඔය අතරම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විසින් විමර්ශන සිදුකරමින් පැවති අතර මැයි මාසය වන විට ඒ හා සම්බන්ධ බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනීමටද ඔවුන්ට හැකිව තිබුණි. ඒවා මාධ්‍යවල මුල් පුවත් ලෙස වාර්තා විය. 

ඒ අනුව 2019 අගෝස්තු මාසය වන විට විමර්ශන වාර්තා මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දීමටද එකී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. 

පාර්ලිමේන්තු කාරක සභාව, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යන ස්ථාන දෙකෙහිදීම අපි ඒවා ඇති තරම් කන් පිරෙන්න ආසගෙනද සිටියෙමු. මාධ්‍ය වාර්තා ද පළකළෙමු

මෙම තත්ත්වයන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ සිදුව තිබූ තවත් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණ නැති බව කීමට තරම් ලිවේරා මහතාණෙනි ඔබට යුක්ති සහගත අයිතියක් තිබේද? 

යුක්තියක් අපේක්ෂාවෙන් සිටින ජනතාවක් එලෙස නොමඟ යැවීමට ඔබට තිබෙන අයිතිය කුමක්ද?

තත්ත්වයන් එසේ වන විට අනෙක් පසින් ආණ්ඩු බලය වෙනස්  වූ පසු එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු විමර්ශන සිදුකළ නිලධාරීන් සී සී කඩ ස්ථාන මාරු කෙරුණි. 

එවන් පසුබිමක එතැනින් එහාට පාස්කු විමර්ශන ද විසිරී යාම ගැන අදහසක් ගත හැකිය.

ඒ අනුව සමස්ත විමර්ශනය භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 2019 නොවැම්බර් 21 වැනි දින ගාල්ලට ස්ථාන මාරුවක් ලබාදුන් අතර එම මාසයේම 27 වැනිදා සහකාර පොලිස් අධිකාරී  තිසේරා බදුල්ලට මාරු කෙරුණි. තිසේරා මහතා විමර්ශන කරමින් සිටියේ කොච්චිකඩේ පල්ලියේ පිපිරීම සම්බන්ධයෙනි. කිංස්බරි හෝටලයේ පිපිරීම ගැන විමර්ශන භාරව සිටි සහකාර පොලිස් අධිකාරී කලනසිරි මහතා ද බදුල්ලට මාරු කෙරුණු අතර දෙමටගොඩ නිවසේ පුපුරුවා ගැනීම සහ ශැංග්‍රිලා හෝටලයේ පිපිරීම ගැන විමර්ශන කරමින් සිටි සහකාර පොලිස් අධිකාරී ලොකුහෙට්ටිගේ මහතා ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කර තිබුණි. 

තවද දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ පිපිරිම සහ කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම ගැන පොලිස් අධිකාරී ජයසිංහ මහතා පොලිස් මුලස්ථානයට කැඳවීමට කටයුතු කෙරුණි. 

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ විමර්ශන භාරව සිටි පොලිස් අධිකාරී නුවන් අසංක මහතාව මුලස්ථානයටත් එතැනින් මිරිහාන පොලිස් ස්ථානයටත් මාරු කර යැවීය. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තාක්ෂණික පරීක්ෂණ කළ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට ස්ථාන මාරු කරන ලදී. 

ජාත්‍යන්තර විමර්ශන ආයතන සමඟ එම විමර්ශනවල නියැලී සිටි පොලිස් අධිකාරී රංජිත් වේදසිංහ මහතා පොලිස් මුලස්ථානයට ස්ථාන මාරු කර තිබුණි. 

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල සිටි  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් වන  හෙළඋඩගේ,දීපානි මැණිකේ,නිරෝෂනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කිර්තිසේන සහ ඇල්ලේපොළ යන නිලධාරීන් ද ස්ථාන මාරු කර තිබුණි. 

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන භාරව සිටි නිලධාරීන් ඉන් ඉවත් කර වෙනත් රාජකාරී සඳහා අනියුක්ත කිරීම තුළ පාස්කු විමර්ශන ඈලියාවට යාම හෝ වෙනත් මාර්ගයකට යොමුවීම වැළැක්විය හැකිද?

එම මිලේච්ජ ප්‍රහාරය සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන සාධාරණ විමර්ශනයකින් පසුව නීතිය සහසුද්දෙන්ම ඉටු කිරීමේ අරමුණක් නිසි බලධාරින්ට තිබුණේ නම් ආරම්භයේ සිටම විමර්ශනය කළ  මේ විමර්ශන කණ්ඩායම විසුරුවා හැරීමට ඇති වුවමනාව කුමක්ද? එයින් දෙන පණිවුඩය ගැන අස් පෙනෙන,කන් ඇසෙන,සිතන්නට හැකි කොයි කාටත් වටහා ගත හැකිය. 

තත්ත්වයන් එලෙස දෝලනය වන විට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෙන්ම   ඒවා පසුපස ඇති අරමුණු හඳුනා ගැනීමටත් එමෙන්ම රටේ ඉදිරි පෙළ රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් නීතිය ක්‍රියාත්මක වීම හා ක්‍රියාත්මක කරවීම ගැනත් මනා අවබෝධයක් ඇති ලිවේරා මහතා වැනි පුද්ගලයෙකුගේ පුංචි මොළයට වැටහිය යුතුය. 

නොවැටහෙනවා සේ සිටීම වෙනමම කාරණයකි. 

නීතිය,යුක්තිය,සාධාරණය ඉටුකිරීමට සිටින නිලධාරී ව්‍යුහය මෙලෙස ජනතාව ඇන්දවීමට උත්සහ ගන්නේ නම් මේ සියලු නැටුම් නටවන දේශපාලන අධිකාරිය ජනතාව අන්දන ඇන්දිල්ල ගැන අපි අපිම සිතා කිරා මැන බලාගත යුතුය. 

ලිවේරා මහතාණෙනි, බොහෝ දේ සිදුව තිබේ. සිදුවෙමින් තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව බලා හිඳින්නේ යුක්තියයි. සාධාරණයි. එමෙන්ම එය මෙහෙය වූ එවැනි අවශ්‍යතාවක් තිබූ මහ මොළය හෙළිදරව් කරගැනීමයි. 

එසේ නොකර කාගේ කාගේ හෝ ගැලවීමට කවුරු කවුරු හෝ බිලි දීම නොවෙයි. 

එහෙයින් ලිවේරා මහතාණෙනි, ලෙස්සා යාම හෝ ගැලවී යාම හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් පරිකල්පනය මෙහෙයවීම නොව හැකි නම් ඇත්ත යුක්තිය සමඟ ගණුදෙනුව තබාගන්නැයි ඉල්ලීමට කැමැත්තෙමු.