මානව පරිණාමයට කොවිඩ් වෛරසය බලපාන හැටි ගැන ...

මානව පරිණාමයට කොවිඩ් වෛරසය බලපාන හැටි ගැන ...

16 May 2021 08:25 am

කෝවිඩ් වෛරසය විකෘති වෙන ආකාරය සහ එහි පරිණාමය ගැන කලින් ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. මානව පරිණාමයට කොහොමද මේ අතිධාවනකාරි වෛරසය බලපාන්නෙ කියන එක ගැන ලෝකෙ මේ වෙද්දි ප්‍රෙඩික්ෂන් මොඩල කිහිපයක් තියෙනවා.  ගෝලීය වසංගතයක් වීමත්, වේගවත් පැතිරීම නිසාත් වෛරසය ලෝකේ සෑම ජනකොට්ඨාසයකටම බලපාලා තියෙන නිසා සෑහෙන කාලෙකට පස්සෙ මානව පරිණාමීය කාල අවකාශය තුල නිරීක්ෂණය කල හැකි ලෙස බලපාන තීරණාත්මක සාධකයක් බවට වෛරසය පත්වෙලා තියෙනවා. 

ඉහත කී ආකෘති අතරින් මුලින්ම තියෙන වැදගත්ම ආකෘතිය තමයි හෝමෝ සේපියානුවන්ගෙ සමාජීය හැසිරීම මෙතෙක් පැවති ආකාරයෙන් අපගමනය කිරීමට කෝවිඩ් සමත් වනු ඇති බව පවසන ආකෘතිය. SARS-CoV-2 වෛරසය දෙයාකාරයකින් මානවයන්ගෙ සමාජීය හැසිරීමට බලපෑම් ඇතිකරනු ඇති බවට පෙරැයීම් මෙහිදී සිදුකරනවා. පල⁣මු ආකාරය තමයි බෝවීමේ හැකියාව උච්චතම අවස්ථාවේදි (Peak transmissibilty) අසනීප ගතිය සඟවා ගැනීමට බලපෑම් ඇතිකිරීම. මෙතනදි වෛරසය සාර්ථක වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හේතුව ආසාධනය වීමෙන් පස්සෙ රෝග ලක්ෂන පෙන්නුම් කිරීමට ප්‍රථම බෝවීමේ හැකියාව උච්චස්ථානයක තිබීම.  වෛරස්වල සාර්ථක බව පවතින්නේ ආසාධිතයා/ ධාරකයා රෝග ලක්ෂන එකවර නොපෙන්වීම තුල. ආසාධිතයා/ධාරකයා රෝග ලක්ෂන නොපෙන්වද්දි අනෙක් අයට බෝවිමේ හැකියාව වැඩිවෙනවා. අපේ ඇඟ ඇතුලෙ තියෙන අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණය වගේම අපේ චර්යාමය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර (behavioral immune responses) පවතිනවා. රෝගී අයගෙන් ඈත්ව සිටීම, රෝග කාරකයක් හඳුනා ගැනීම, ඒවා මඟහැරීම අන්න ඒ ප්‍රතිචාර වලට අයිතියි. මේ ප්‍රතිචාර ඇතිවීමට රෝග ලක්ෂන යම් අයෙකු තුල පේන්න තියෙන්න ඕන. කෝවිඩ් වෛරසය මේ හඳුනා ගැනීමේ හැකියාව කියන ලක්ෂනය මඟහැරීමට වරණය වී තිබෙනවා. ඒක එහෙම වෙන්නෙ අපි විසින්ම රෝග ලක්ෂන යටපත් කිරීමට හැකියාව ලැබීම තුලින්. මේ ආකාරයෙන් නිහඬවම මානවයන් තුල පැතිරීමට වෛරසය හැඩගැහිලා තියෙනවා සහ මානවයන්ව හැඩගස්වන යාන්ත්‍රණයක් මේ වෛරසය තුල නිර්මාණයය වෙලා තියෙනවා. 

දෙවනි ආකාරය තමයි ආසාධනය වී බෝ වීමේ හැකියාව උච්චස්ථානයකට පත්වීමේදි මනෝභාවයට සිදුවෙන බලපෑම්. මූඩ් ඩිස්ඕඩර්ස් කියන ජාතියේ ඒවා. මේකෙන් වෙනවා කියන්නෙ ක්‍රියාකාරකම් ප්‍රමණය වැඩි කිරීමට බලපෑම් ඇති කිරීම. එහෙම වෙද්දි තවත් අයට ආසාධනය වීමට වෛරසයට ලැබෙන අවස්ථාව වැඩි වීම. මේක නිකන් වෙන්න බැරි වැඩක් වගේ වුනාට ඉන්ෆ්ලුවන්සා වෛරස්, HIV, බෝර්නා වෛරස් වගේ වෛරස් ආකාරවල මේ ලක්ෂන අධ්‍යනයට ලක්වෙලා තියෙනවා. 

සමාන්‍යායන් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත් කාර්යක් ඉටුකරනවා ඉන්ටර්ෆෙරොන් (IFN) ප්‍රෝටීන. ආසාධනය වෙලා තියෙන සෛල වලින් තමයි මේ ඉන්ටර්ෆෙරොන් මුදා හරින්නේ. ඉන්ටර්ෆෙරොන් මුදා හැරීමෙන් කරන්නෙ සරලවම ආසන්න තවමත් ආසාධිත නොවන සෛල වලට ආරක්ෂා වීමට පෙර දැනුම්දීමක්. ඒ සිග්නල් වලින් තමයි ප්‍රතිශක්තිකරණය ඇරඹීමට මග පාදන්නෙ.  SARS වගේ වෛරස වලින් මේ ඉ⁣න්ටෆෙරොන් මුදා හැරීම අඩපණ කරනවා. එතකොට සෛලවලට අනතුරු ඇඟවීම සිදුකරගන්න බෑ. IFN මුදා හැරීමත් එක්ක බැඳිලා තියෙන අනිත් කාරණය තමයි IFN මුදා හැරීමේදි විශාදය, සමාජයෙන් ඈත්ව සිටීමේ මනොභාවයන් ආදිය ප්‍රකාශ වීම. ඒ වගේ මනෝභාවයන් තුලින් ක්‍රියාකාරකම් සිදුකිරීමේ වේගය අඩාල වෙනවා. නමුත් අධ්‍යනයට ලක්කරලා තියෙන කාරණයක් තමයි SARS වගේ වෛරස මේ IFN මුදාහැරීම අඩපණ කරන බව. ප්‍රතිඵලය තමයි පෙරකී මනෝභාවයන් ඇති නොවීම. මේ තියරිය පොඩි කනෙක්ශන් එකක් කියනවා කෝවිඩ් වෛරසය විසින් IFN gamma නිපදවිම අඩපණ කිරීම වක්‍රාකාරයකින් සිදුකරන බවට (CD8 T සෛල වලට පහරදී අඩපණ කිරීම තුලින්) අන්න එහෙම අපේ ශරීරවල මනෝභාවයට බලපෑම් කිරීමට මේ වෛරස් සමත් වෙලා තියෙනවා කියලා මේ⁣ ආකෘතිය තුල සඳහන් වෙනවා. ඉතින් සමස්ථයක් වශයෙන් ගත්තම අපේ චර්යාමය ලක්ෂන වලට බලපෑම් ඇතිකිරීම තුලින් වෛරසය පැතිරීමේ යාන්ත්‍රණය සිදුකරගන්නවා. 

දෙවනි ආකෘතිය තමයි වසංගතය හේතුවෙන් මානව ගහනයේ සංසර්ග ක්‍රියාකාරකම් සඳහා ඇතිකර ඇති බලපෑම්. වර්ගයක් වශයෙන් ගත්තම විවිධාකාර සංසර්ග ක්‍රියාවලි දකින්න පුළුවන්. කෙටි කාලීන ලිංගික සබඳතා වගේම දීර්ඝකාලීන සහකරුවකු සමඟ ඇතිවන ලිංගික සබඳතා ලෙස ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා. කෝවිඩ් සෘජු බ
ලෙස මේ ආකාර ද්විත්වයටම බලපෑම් ඇතිකරනවා.  සංසර්ගය සඳහා කෙටි කාලීන උපායමාර්ග භාවිතා කිරීමේදි කෙටි කාලීන සහකරුවකු වෛරස් ආසාධිතයකු වීමට ඇති හැකියාව නිසා එකී උපායමාර්ග වෙනස් කිරීමට සිදුවෙනවා. 

දීර්ඝකාලීන සබඳතාවලට එල්ලවෙන බලපෑම තමයි එවැනි සබඳතා වලට එළඹීම සඳහා කෝවිඩ් තත්වය තුල ස්ථාවර වටපිටාවක් නොමැති වීම. ආර්ථීක ගැටලු වගේම කෝවිඩ් හුදෙකලා කරණයන් නිසා ඇතිවන මානසික තත්වයන් හේතුවෙන් මේ දීර්ඝකාලීන සබඳතාවලට වුනත් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතිනවා. අනෙක් කාරණය තමයි මේ කාලය තුල බොහෝ දෙනා දරුවන් සෑදීමට ඇති අකමැත්ත. ආර්ථීකය, වසංගත තත්වය හා වෙනත් ඒවාට සම්බන්ධ ගැටලු නිසා මේ කාලය තුල දරුවන් හදන්න අකමැති වෙනවා.  ගෝලීය වශයෙන් උපත් සංඛ්‍යාත්මක අඩුවක් දකින්න පුළුවන් වෙයි කියලා මේ අකෘතිය සඳහන් කරනවා.  

තෙවනි ආකෘතිය සඳහන් කරන්නෙ මානවයාගේ සහකම්පනය සහ අනුකම්පාව මේ ව්‍යසනය තුලදි අවම තත්වයට පත්වීම.  ඒකට හේතුව තමයි මින් පෙර ව්‍යසන තත්වයන් තුලදි (භූ කම්පන, සුනාමි, ගිනිකඳු , නායයෑම්) ඒවා ඉදිරියට පැමිණ එක්ව කටයුතු කිරීම සඳහා අවසර ලැබුනත් කෝවිඩ් තත්වය කියන්නෙ එසේ කිරීමට නොහැකි තත්වයක් නිසා. 

සිව්වෙනුව වර්ගයක් ලෙස අපි සාධනය කර තිබෙනවා දීර්ඝකාලීනව අපි බොරුවට/රැවටීමට ඇති කැමැත්ත පිළිබඳව.  මානව ශිෂ්ඨාචාරගතවීම් වලට ප්‍රථම යුගවල පරිණාමික අවකාශය සලකා බැලුවම කුඩා කණ්ඩායම් ලෙස බාහිර බලපෑම්වලින් මිදී කෙටිකාලීන සාර්ථකත්වයන් සොයා යන ඉතා කෙටි ආයු අපේක්ෂාවක් සහිත ජීවීන් කොට්ඨාසයක් තමයි මානවයන්. අපේ පරිණාමික ගමන්මඟ තුල දීර්ඝකාලීනව අපිට බලපෑ හැකි අවදානම් පිළිබඳව ගැඹුරු ලෙස කල්පනා කිරීමට ඒවාට සුදානම් වීමට අපි පරිණාමය වෙලා නෑ. ගෝලීය වසංගත තත්වයකට අපට මුහුණ දීමට සිදුවෙන බව, ඒ අවදානම පිළිබඳව දැනුම අප සතුව දැන් සියවසකට අධික කාලයක් මුළුල්ලේ පැවතුනා. නමුත් අපි අපිවම රවට්ට ගනිමින් ඒ පිළිබඳව ගෝලීය එකඟතාවකට පැමණීමටවත්, අවදානමට සුදානම් විය යුතු ආකාරය පිළිබඳවවත්, ඒ ගැන පෙර සැලැස්මක්වක් නිසියාකාරව නිර්මාණය කරේ නෑ. මේ දැනුම සතුවු පරම්පරාවන් කිසිම අවස්ථාවක මේ පෙර සුදානම සඳහා අවශ්‍ය කැප කිරීම් සිදු කිරීමට සුදානමක් තිබුනෙ නෑ. අනාගත පරම්පරාවන්, අනාගතයේ අපට සමීප නොමැති නාඳුනන පුද්ගලයන්ගෙ යහපැවැත්ම උදොස ක්‍රියාමාර්ග ගැනීමට අපට ඇති නොකැමැත්ත, නොපෙළඹවීම කෙටිකාලීන පැවැත්ම සරි කරගැනීම උදෙසා ජානගත සිතීමේ යාන්ත්‍රණය නිසා සිදුවන්නක් බව මේ ආකෘතිය තුලින් පැවසෙනවා. කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කිරීමට ඇති පෙළඹවීම සහ තමන් රැවටීමට ලක්වී අනෙක් අය රැවටීමට ලක් කිරීම මෙහි එක් පැතිකඩක්. යථාර්වාදී ලෙස නිගමන වලට එළඹීම මෙමඟින් බැහැර කරනවා. ශිෂ්ඨාචාරගත වීමට මත්තෙන් කුඩා කණ්ඩායම් ලෙස රැඳී සිටීමේදි මේ කුමන්ත්‍රණය න්‍යායන්, රැවටීම් ආදී කාරණා වාසිසහගත ලෙස මානවයාට උපකාරී වුනත් වර්තමානයේදි එය අවාසිසහගත තත්වයක්. ලෝකයේ තත්වය සැබෑ ලෙසම තේරුම් ගැනීමට පෙළඹෙන ලෙස මානව සිතීම් හැකියාව පරිණාමය වී නොමැති බව තවදුරටත් මේ ආකෘතිය තුලින් කියවෙනවා. මේ මේ කාරණා හේතුවෙන් අපි නැවත ⁣ගෝලීය වසංගත තත්වයට අවස්ථාව ලබාදී තිබෙනවා පමණක් නෙවෙයි එහි පැතිරීමටත් උපකාරී වෙනවා.

මේ ආකෘති කිහිපයක් පමණයි. තවත් සිත්ගන්නාසුළු ආකෘති කිහිපයක් පවතිනවා. ඒවා ගැන පස්සෙ වෙලා තිබුනොත් ලියන්නන්. මේ වසංගත තත්වය අතරතුර එදිනෙදා ජීවිතය ගෙවා ගැනීම සඳහා එක් එක් ජීවියකු වශයෙන් අපි  අරගලය ගෙන යද්දි අපි නොදැනුවත්ම අප අයත් වර්ගයේ එක් නිදර්ශකයක් බවටත් පත්වෙනවා. මේ ක්‍රියාකාරකම්වල සාමුහික එකතුවේ දිශානතිය තුලින් සමස්ථ වර්ගයාගේම පරිණාමික ගමන්මඟ තීරණය වීම සිදුවෙනවා. භෞතිකව සුක්ෂම මට්ටමින් සිදුවන පරිණාමික වෙනස්කම්, සාර්ව බලපෑම් වගේම සමාජීය සහ චර්යාත්මක වෙනස්කම්වල එකතුවක් විදියට මේක සලකා බැලිය යුතු වෙනවා.

- Don Supz