අයුක්තියට එරෙහි වීමේ වගකීමෙන් මිදෙන්න සාහිත්‍යකරුවාට බැහැ ! - රශ්මික මණ්ඩාවල

අයුක්තියට එරෙහි වීමේ වගකීමෙන් මිදෙන්න සාහිත්‍යකරුවාට බැහැ ! - රශ්මික මණ්ඩාවල

12 May 2021 12:46 pm

පරිවර්තන සාහිත්‍යය කෙරෙහි වෙසෙස් ඇල්මක් දක්වන රශ්මික මණ්ඩාවල නූතන පරම්පරාවේ කැපී පෙනෙන සාහිත්‍යවේදියෙකි. මතු දැක්වෙන්නේ ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔහු සමඟ කළ කාලීන සංවාදයකි.

ඔබට අනුව සාහිත්‍ය පරිවර්තනය කියල කියන්නෙ මොකද්ද?

සාහිත්‍ය පරිවර්තනය මට නම් යම් කෘතියක් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමක් පමණක් නොවෙයි. පරිවර්තනය හරහා මම බලාපොරොත්තු වන්නේ යහපත් ලෝකයක් සඳහා වන යම් නිර්මාණයක් සමාජ ගත කිරීම. ඒ අයුරින් සාහිත්‍ය පරිවර්තනය කියන්නේ ලෝකය ගලවා ගැනීමේ වෑයමක්. ඉතිහාසයේ සිටම මිනිසා ආ ගමන් මග අද වන විට වඩාත් විෂම බවක් අරගෙන තියෙනවා. අධිපරිභෝනය නැතිනම් කෑදරකම නිසා අද මිනිසා ලෝකය විනාස කරමින් සිටිනවා. මේක අපේ රටට විතරක් අදාළ කාරණයක් නෙමේ. ලෝකය පුරා විවිධ සාහිත්‍යවේදීන් මේ කාරණය ඒත්තු ගන්වන්නට තමන්ගේ පෑන නිර්භයව භාවිතා කරනවා. ඔවුන්ගේ ඒ හඬට ලංකාව තුළ ඉඩ ලබාදීම මගේ සාහිත්‍ය පරිවර්තනයේ එක් ප්‍රමුඛ අරමුණක් වෙනවා.

වෙනත් භාෂාවක කෘතියක් සිංහලයට පරිවර්තනය කිරීම පුද්ගලිකව ඔබට මොන වගේ අභ්‍යාසයක් සහ අත්දැකීමක් වුණාද?

ඕනෑම පොතක් එක් බසකින් තවත් බසකට පෙරළීම අභියෝගයක්. විශේෂයෙන් මම මුලින් පරිවර්තනය කළ කෘතිය නොබෙල්, බුකර් සහ නයිකි වැනි ලෝකයේ ප්‍රමුඛ පෙළේ සම්මාන ලබාගත් පෝලන්ත සාහිත්‍යවේදිනියකගේ පොතක්. ඒ වගේම ඇයගේ පොතක් සිංහලට පරිවර්තනය වුණු ප්‍රථම අවස්ථාව.  එවැනි ප්‍රභල ලේඛිකාවකගේ පොතක් පරිවර්තනය කිරීම අසීරු කාර්යයක්. ඒ සංස්කෘතිය, ඒ යෙදුම්, ස්ථාන මේ සියල්ල ගැන පරීක්ෂා කර බැලිය යුතු වුණා. එමෙන්ම පොතක් පරිවර්තනයේදි සංකේත සහ රූපක ගැන අධ්‍යනය කළ යුතුයි. මේ සියල්ලම මට අලුත් දැනුමක් එකතු කළා සහ යම් විදියකට මා තුළ ද පරිවර්තනයක් කළා කියන්න පුළුවන්.

මෙතෙක් ඔබ සිදුකළ පරිවර්තන ගැන අපිට පොඩි සමාලෝචනයක් කරන්න කැමතිද?

පරිවර්තිත කෘති හැටියට ගත්තොත් පෝලන්ත ලේඛිකා ඔල්ගා තොකර්චුක්ගේ Drive your plow over the bones of the dead නම් කෘතිය තමයි 'මරණයේ රළ නැගුම' යනුවෙන් දැනට මුද්‍රණයෙන් නිකුත් වෙලා තියෙන්නේ විදර්ශන ප්‍රකාශනයක් ලෙස. මෙම කෘතිය 2019 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගයට සහ ඩබ්ලින් ජාත්‍යන්තර ත්‍යාගයට කෙටි ලැයිස්තු ගතවූ සහ The Guardian මගින් 21 වෙනි සියවසේ විශිෂ්ඨතම කෘති 100 අතරට ද නම් කළ කෘතියක්. ඊට අමතරව නුදුරු දිනකදී 2019 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ඔස්ට්‍රියානු ලේඛක පීටර් හන්ඩ්ක ගේ A sorrow beyond dreams නම් කෘතියේ පරිවර්තනය විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදකින්නට නියමිතයි. ඊට අමතරව හරුකි මුරකමිගේ කෙටි කතා තුනක් සහ ජෝර්ජ් ඔවෙල්ගේ කෙටි කතාවක් පරිවර්තනය කර සමාජ මාධ්‍ය හරහා පාඨකයන්ට ලබාදී තියෙනවා.

ලංකාව ඇතුළෙ ඔබව ප්‍රමෝදයට පත්කළ පරිවර්තකයන් කවුද?

බොහෝ දෙනෙක් සිටිනවා. පරිවර්තනය ගැන ස්වයං අධ්‍යනය කරද්දි මම ලංකාවේ විශිෂ්ට පරිවර්තකයන් කිහිප දෙනෙකුගේ කෘති, මුල් කෘති සමඟ සසඳා බැලුවා. ඒ අතරින් භාෂාව හැසිරවීමෙන් සහ නිරවද්‍යතාවයෙන් මාව ප්‍රමෝදයට පත් කළ පරිවර්තකයෙක් තමයි නිලූක කදුරුගමුව. ඒ වගේම කේ.ජී. කරුණාතිලක සහ ලියනගේ අමරකීර්ති යන අයගේ පරිවර්තනවලටත් කැමතියි.

මං කැමතියි පරිවර්තන ශානරයෙන් එළියට ඇවිත් පොදුවෙ සාහිත්‍ය සහ කලාව ගැනත් ඔබ එක්ක ටිකක් කතා කරන්න. ඇතැමුන් කියනවා සිංහල කවිය තවම සේකරගෙන් මෙහාට ඇවිල්ල නැහැ කියල. නවකතාව තාම වික්‍රමසිංහ ළඟ නැවතිලා කියනවා. මං කැමතියි මේ සමස්ත සාහිත්‍ය පරාසය ගැන ඔබේ අදහස දැනගන්න?

පිළිතුර නම් ටිකක් දිගයි. ඔය ප්‍රකාශයේ දෙපැත්තක් මම දකිනවා. ඔය කියන කාලයට වඩා වැඩි කෘති ප්‍රමාණයක් අද වන විට සිංහල සාහිත්‍යයට එකතු වෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් අපේ විචාර කලාව බිඳ වැටිලා. වික්‍රමසිංහයන්ගේ යථාර්වාදී නවකතා ශෛලියට වඩා වෙනස් ශානරයන්හී කෘති අද තරුණ සාහිත්‍යකරුවන් අතින් බිහිවෙනවා. ඒ වගේම සේකරයන්ට වඩා වෙනස් විදියේ කවි අද අපිට කියවන්න ලැබෙනවා. හැබැයි මේවා සමබර විචාරයකට ලක්වෙන බවක් පේන්න නැහැ. ඒක සැලකිය යුතු ප්‍රශ්නයක්. මෑත කාලීනව කෞෂල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය', සුදර්ශන සමරවීරගේ 'නම්', සුරත් ද මැල්ගේ 'තී හා තා', ප්‍රියන්ත ලියනගේගේ 'කොට තුවක්කු' ආදී නවකතා උදාහරණ ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම එරික් ඉලයප්ආරච්චි, කේ. කේ. සමන් කුමාර, මංජුල වෙඩිවර්ධන ආදී සිංහල සාහිත්‍යයට යම් වෙනස් දේවල් එකතු කළ නිර්මාණකරුවන් ඉන්නවා. කවිය ගැන මට ලොකු හැදෑරීමක් නැති නමුත්, දක්ෂ කවියෝ කිවිඳියෝ ඉන්නවා. ඒවා නිවරදි විචාරයකට බඳුන් වෙනවා නම් ඔවුන් ඔය කියූ දෙකම අතික්‍රමණය කළ හැකි අය. ඔය කතාව කියන අයගෙන් මම අහන්නේ නූතන සාහිත්‍ය ගැන ඒ අය කරලා තියෙන විචාර මොනවද කියලයි. පොදුවේ විශ්ව සාහිත්‍ය සමඟ සසඳන විට අපේ නවකතාවල දාර්ශනික එළඹුම්වල අඩුවක් සහ කතන්දරයක් පැවසීමේ ක්‍රියාවලියට සීමාවීමේ ප්‍රවණතාවයක් දකිනවා. ඒ වගේම කණගාටුවට කරුණ තමයි බොහෝ නූතන නිර්මාණකරුවන් ලෝකයේ විශිෂ්ට සාහිත්‍ය පරිහරණයෙන් ඈත් වීම. ඔය පැරණි ලේඛකයන් ගත්තහම ඒ අය විශ්ව සාහිත්‍ය සමඟ කොච්චර සම්මුඛ වෙලා තියෙනවද කියලා අපි කියවලා තියෙනවා. නමුත් මේ අතරේ ඉතාම දක්ෂ විදියට මේ සියල්ල සමඟ ගැටෙන ඉතාම තරුණ පරපුරකුත් දකිනවා. ඒ වගේම ප්‍රබන්ධ නොවන සාහිත්‍ය ලංකාවේ දැන් තමයි වැඩෙමින් යන්නේ. විශේෂයෙන් සංචාරක සාහිත්‍යය දියුණු විය යුතුයි.

කොවිඩ් තත්ත්වයත් එක්ක මුළු ලෝකෙම අවුලක. මේ තත්ත්වය එක්ක අපි දකිනවා ඉන්දියාවේ අරුන්දතී රෝයි වගේ චරිත එළිපිටම එරට දේශපාලන අධිකාරිය එක්ක හැප්පෙනවා. අපේ රටේ නම් සමාජ මාධ්‍ය මැදිහත්වීම් ටිකක් හැර එහෙම මොකුත් වෙන්නෙ නෑ. ඔබට අනුව මේ මොහොතෙ සාහිත්‍යයේ සහ කලාවේ කාර්යභාරය කුමක්ද?

මම දකින්නේ පුද්ගලයෙක් විදියට අසාධාරණයට, අයුක්තියට එරෙහි වීම අපි හැමෝගෙම වගකීමක්. ඒ වගකීමෙන් සාහිත්‍යකරුවා වුණත් මිදෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ලෝකයේ සාහිත්‍යකරුවන් තමන්ගේ සාහිත්‍ය හරහා සමාජ ප්‍රගමනයට දායක වෙනවා. හැබැයි ඒක ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ ක්‍රියාවක් නෙමෙයි. සාහිත්‍යකරුවෙකුට සමාජයෙන් ලැබෙන ගාමක බලය පාවිච්චි කරන්න පුළුවන් එවැනි ක්ෂණික අවස්ථා සඳහා. අරුන්දතී රෝයි ඒක කාලයක පටන් කරනවා. තවත් එවැනි සමාජ ක්‍රියාකාරීන් විදියට කටයුතු කරන ලේඛක, ලේඛිකාවන් ඉන්නවා. සාහිත්‍යය හෝ කලාවට ප්‍රචණ්ඩ වෙන්න බැහැ. ඒ වගේම සාහිත්‍ය කෘතියක් කියන්නේ පොතෙන් විප්ලවයක් කරලා අත පිහදගන්න වැඩක් නෙමෙයි. ඒක තියෙන්නේ මට හිතෙන විදියට විවෘත මනසක් සහිත මිනිසෙක් බිහිකරන්න. එහෙම මිනිස්සුන්ව අන්දන්න දේශපාලකයන්ට බැහැ. මේ මොහොතේ කලාවේ සහ සාහිත්‍යයේ අරමුණ විය යුත්තේ විවෘත මිනිසෙක් නිර්මාණය කිරීමේ දායකත්වය පොහොසත් කිරීම. ඒක කිසිම දේශපාලනයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේශපාලනය තනන්නේ අනුගාමිකයෝ. නිවැරදි සාහිත්‍ය තනන්නේ විවෘත මනසක් තියෙන මිනිස්සු.

සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් සයිබර් අවකාශය කියන්නෙ සීරියස් තැනක්ද?

සයිබර් අවකාශ කියන්නෙම කොහොමත් එහෙම සීරියස් තැන් නෙමෙයි. හැබැයි අපිට අවශ්‍ය නම් ඒවා සීරියස් තැන් කරන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත්, මම කාලෙක පටන් සමාජ මාධ්‍ය ජාලවල ලිව්වා. මටත් බොහෝ පෙර සිටම ලියපු අය හිටියා. මම ඒ ආමන්ත්‍රණයේදී සරලව අර්ථ සම්පාදනය කරන්න උත්සාහ කළා. මුලදී සම්බන්ධ වුණේ බොහොම සුළු පිරිසක්. හැබැයි කාලයත් එක්ක අද වෙන කොට ඒ ලිපි කියවන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස දවසින් දවස වැඩිවෙනවා. මෙම මාධ්‍ය හරහා තමයි මට පුවත්පත්වල, සඟරාවල ලිපි ලියන්න ඉඩ ලැබුණේ. අද වෙනකොට බොහෝ පිරිසක් මේවත් එක්ක එකතු වෙනවා, බෙදාහදා ගන්නවා. සයිබර් අවකාශය අපි අතෑරිය යුතු එකක් නෙමේ. මේක අනාගත ලෝකේ යතුර.

ලියන - කියවන නූතන පරම්පරාව ගැන ඔබේ තක්සේරුව කොහොමද?

මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. නූතන පරම්පරාවේ ඉතාම හොඳින් කියවන පිරිසක් සහ කියවන්නෙම නැති පිරිසක් ඉන්නවා. ඉතාම දක්ෂයෝ ඉන්නවා. අලුතින් ලියන, කියවන යොවුන් පිරිස් එක්ක මම නිතර වැඩ කරනවා. ගොඩක් දෙනෙක් උනන්දුයි. හැබැයි බොහෝ දෙනෙක්ට ක්ෂණික ප්‍රසිද්ධිය අවශ්‍යයි. ඒ නිසාම ටික කාලෙකින් ඔවුන් අඩපණ වෙලා පැත්තකට වෙනවා. හැබැයි මේ අතරෙම අනාගතය ගැන දීප්තිමත් අදහසක් තියාගන්න පුළුවන් අය හමුවෙලා තියෙනවා. ඒ අයට නිසි මගපෙන්වීමක් අවශ්‍යයි. මේක ඩිජිටල් යුගයක්. අද ටැබ් එකක් අතට ගත්තම ලෝකේ අලුත්ම කෘති කියවන්න පුළුවන්.

එතෙක් මෙතෙක් ලෝකයේ ඔබව විස්මයට පත්කළ පුද්ගලයා කවුද, ඔහු හෝ ඇය එහෙම කළේ කොහොමද?

මෑත කාලීනව මාව විශ්මයට පත් කළ පුද්ගලයා නම් පෝලන්ත ලේඛිකා ඔල්ගා තොකර්චුක්. ඇයගේ චරිතය දිහා බැලීමෙන් පමණක් අපිට ඉගෙනගත හැකි දේ බොහොමයි. ඇය කියන දේ කරන, යථාවාදී තතාකාරී චරිතයක්. මාව පුදුමයට පත් කලේ ඇගේ සාහිත්‍ය භාවිතය. සාමාන්‍යයෙන් මම යම් ප්‍රමාණයකට ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති කියවා තිබෙනවා. ඒ අතරින් මෙතරම් තදින් කෙනෙකුව කම්පනය කළ හැකි ලේඛිකාවක් විදියට මට නම් කළ හැක්කේ ඇයව පමණයි. ඇගේ නවකතා කියවන විට අපි දෘෂ්ටිවාදීව හෝ අදහස් අතින් ඉන්නා තැන නිවැරදිද යන්න ගැන නැවත නැවත හිතන්න වෙනවා. අපේ පාද යට තියෙන කොන්ක්‍රීට් තට්ටු හෙලවෙන්න අරන් අපිව පැද්දෙන්න ගන්නවා හරියට පළවෙනි පාරට ස්කේටිං සපත්තු දාපු කෙනෙක් වගේ. අන්න ඒ නිශ්චිත මොහොතේදී අපි නැවත ලෝකය දිහා වෙනම කෝණයකින් බලන්න පටන් ගන්නවා. එවැනි දක්ෂතාවයකින් හෙබි 21 වෙනි සියවසේ ලේඛිකාව ඇය කියලයි මට හිතෙන්නේ.

ඔබ කැමති ඕනෙම දෙයක් කියල අපේ මේ සංවාදය අවසන් කරන්න මම ඔබට අවස්ථාව දෙනවා?

අවසානයට කියන්න තියෙන්නේ අපි මේ එළඹිලා තියෙන්නේ නිශ්චිත මොහොතකට. අපි මේ ශිෂ්ඨාචාරය ගොඩනගලා තියෙන්නේ මළවුන්ගේ ඇටකටු මතින්. විලියම් බ්ලේක් කවියා කියපු විදියට "මළවුන්ගේ ඇටකටු මතින් ඔබේ නගුල පදවන්න". අපි මිනිස් වර්ගයාට විතරක් නෙමෙයි සත්තුන්ට හරි, නැත්නම් පරිසරයට හරි ප්‍රචණ්ඩ වෙලා තමයි ලෝකය ගොඩනගලා තියෙන්නේ. දැන් ඒ ප්‍රචණ්ඩත්වය අපේ පසුපස පාරා වළල්ලක් වෙලා එන බවක් පේනවා. ලෝකය පුරා කොරෝනා වෛරසයෙන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. අපි ඒවා ගණින්නේ ඇක්සිඩන්ට්වලින් හරි, පිළිකාවෙන් හරි මැරෙන ගාණට වඩා අඩුයි කියන ම්ලේච්ඡ තැනකින්. මේ නිසා අනාගත ලෝකය පරිකල්පනය කරන්න, ඒ ලෝකය සඳහා නිවරදි ක්‍රමවේදයන් හොයන්න කියලා ලෝකය විසින් බලකරන මොහොතක අපි ඉන්නේ. ඒ හඬට අපි සවන් දිය යුතුයි කියන පණිවිඩය තමයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ.

සංවාදය - කසුන් සමරතුංග