කොරෝනා උවදුර දුරු කිරීමට පිටරැටියන්ට බැරි දේ ලාංකිකයන්ට කරන්න බැරි යැයි සිතන මානසිකත්වයෙන් මිදිය යුතුය

කොරෝනා උවදුර දුරු කිරීමට පිටරැටියන්ට බැරි දේ ලාංකිකයන්ට කරන්න බැරි යැයි සිතන මානසිකත්වයෙන් මිදිය යුතුය

7 May 2021 07:03 pm

මේ වනවිට (2021 මැයි) කොරෝනා උවදුරින් ලංකාව ඉතාමත් අසීරුතාවයට මුහුණ පා ඇත. රටේ ආර්ථිකය වැටී, පිටරටින් එන පොහොර පවා ගෙන්වීම විදේශ විනිමය හිග තත්වයකට මුහුණ පා, රසායනික පොහොර තහනම් කිරීමට රජයට සිදු වී ඇත. මේ වනවිට අසල්වැසි ඉන්දියාවද වසංගතය පාලනය කළ නොහැකි තත්වයකට පත් වී ඇත. ජනගහනය අනුව ලංකාවේ රෝගීන්ගේ ප්‍රතිශතය දැන් ඉන්දියාවේ රෝගීන්ගේ ප්‍රතිශතය මෙන් භාගයක් පමණ වී ඇත. වැඩිකල් නොගොස් ලංකාවේද ප්‍රතිශතය එවැනි තත්වයකට මුහුණපෑමට සිදුවිය හැකි බව දැනට දිනකට දහස් ගණනින් හමුවන රෝගීන් සංඛ්‍යා‍වෙන් පෙන්නුම් කෙරේ.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට ලක් රජයද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය නිළධාරීන්ද හමුදාව හා පොලීසියද මේ වනවිට අසමත් වී ඇත. හුදෙකලා කරන ගම් නගර දිනෙන් දිනම වැඩි වීගෙන යයි. අධ්‍යාපන ක්ෂේත්‍රයද අඩපන වී ඇත. මෙපමණ කල් සෞඛ්‍ය නිළධාරීන් ගත් පියවර රජය අනුමත කළද එයින් වසංගතය මුලදී යම්කිසි පාලනයක් ඇති වුවද දැන් එම ක්‍රමය තුළින් කොරෝනා දිගින් දිගටම පැතිරී යන තත්වයක් මතු වී ඇත.

මෙය වැළැක්වීමට හා සම්පූර්ණයෙන් පාලනය කිරීමට මා විසින් අවුරුද්දකට පෙර යෝජනා කරන ලදද එය රජය පිළිගත්තේ නැත. එම කාලයේදී සති දෙකකින් වසංගතය දුරු කිරීමට මා යෝජනා කළ ක්‍රමය යටපත් විණි. දැන් එම ක්‍රමයෙන් සති 4 කින් කල්ගත වුණත් වසංගතය සම්පූඍ්ණයෙන්ම නවතා දැමිය හැක. කොරෝනා පාලනය කිරීමට අසමත් වී ඇති රජය දැන්වත් එම ක්‍රමය සලකා බැලීම නොකළහොත් රට ඉතාමත් අසීරු තත්වයකට මුහුණ පෑ හැක. සෞඛ්‍ය නිළධාරීන් මොනයම් ක්‍රියාවලියක් ගත්තත් අවසානයේදී වගකීම පැවරරෙන්නේ රජයටයි. බැනුම පැවරෙන්නේද රජයටමය.

'පිටරටවල කරන්න බැරි දේ ලක්වැසියන්ට කළ නොහැක' යන මානසිකත්වයෙන් පළමුවෙන්ම අයින් විය යුතුය. පිටරට ආයතනවලින් ලැබුණු උපදෙස් මත වසංගතය තව තවත් පැතිරෙනවා පමණක් නොව ලංකාවේ ආර්ථිකය තව තවත් බිඳ වැටෙනවා දැකීමට සමහර රටවල් හා පිටරට ආයතන බලවත් උත්සාහයක සිටිති. එවැනි දෙයකට ගොදුරු වීම වැළැක්විය හැක්කේ අසාර්ථක වූ ඔවුන්ගේ උපදෙස් තවදුරටත් පිළිපැදීම නොව අපේම නව ක්‍රමයකින්ය. පිටරැටියන්ට බැරි දේ අපට කළ හැක. එවැනි බුද්ධිමතුන් ලංකාවේ ඇත.

දැනට සීග්‍රයෙන් පැතිරෙන තත්වය සුමාන 3-4 කින් සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. නමුත් කල් ගතවුවහොත් එම අර්බුදයෙන් ගොඩ ඒමට ඉතාම අසීරුය. මෙම ක්‍රමයෙන් අපේම බුද්ධිය මත ලෝකයේම පළමුවෙන්ම වසංගතය දුරු කරන රට ලංකාව වීමට හැකියාව තිබේ. තවදුරටත් ඉදිරියට මොන රැල්ලක් ආවත්, වෙනස් වූ (mutated) වෛරසයක් ආවත් මේ ක්‍රමය නිසා වෛරසය නොපැතිරේ. එපමණක්ද නොව අලුත් වෛරස ඒම මෙතනින් අවසන් නොවේ. රසායනාගාරවල හදන ලද වෛරස (පසුගිය අවුරුද්ද මුළ් කාලය වන විට රසායනාගාරවල වෛරස ලක්ෂ පහක් පමන නිපදවා ඇත) ඉදිරි අවුරුදු 10 තුළ දිගින් දිගටම ව්‍යාප්ත වන බවට සළකුණු තිබේ. අවසානයේදී නැගිට ගන්නට බැරි ඉතාමත් දුප්පත් රටවල් බවට ලංකාව හා බොහෝ රටවල් පත්විය හැක. මා යෝජනා කළ ක්‍රමය කුමන වෛරසයක් ආවත් රෝගී නොවන ක්‍රමයකි. ඇත්තටම මෙවැනි දෙයක් නොසලකා හැරීම ඉතා අවාසනාවන්තය.

මෙම වෛසරය ශරීරයෙන් පිට, දිරාපත් වූ කොලයක් මෙනි. එයට වර්ධනය වීමට හෝ බෙදීමට නොහැකිය. කොහේවත් ගමන් කළ නොහැක. ඉර අව්වේදී විනාශ වී යයි. නමුත් ශරීරයකට ඇතුළු වූ විට එය වර්ධනය වේ, බෙදේ, (බෝ වේ) වෛරස ප්‍රමාණය වැඩි වේ. එය නාසයේ හෝ උගුරේ තැන්පත් වූ පසු එහි පටලවල ඇති ACE2 නමැති ග්‍රාහකයකට (receptor) ඇතුළු වේ. එම ග්‍රාහකය බටහිර කොදෙව් හා අප්‍රිකානු අයගේ වැඩි වුවද ආසියාතිකයින්ට අන් රටවල් අය මෙන් අඩුය. මේ නිසා අප්‍රිකානු හා කොදෙව්වන් බොහෝ දෙනා රෝගී වූ අතර මරණ සංඛ්‍යාවද ඔවුන්ගේ වැඩිය. කුඩා ළමයින්ගේ එම ග්‍රාහකය නොවැඩී ඇති නිසා ඔවුන් රෝගී වීම අතිශයින්ම අඩුය. ඒ වගේම ACE2 අවහිර කරන බෙහෙත් (A2 blockers)ගන්නා අයටද (රුධිර පීඩනය, වකුගඩු අමාරු, හෘද රෝග ආදියට මේ බෙහෙත පාවිච්චි වේ) රෝගය වැළඳෙනවා අඩුය.

මෙම වෛරසයට ග්‍රාහකවලට නොඇලී සිටීමට කටයුතු කළහොත් එයට වර්ධනය වීමට නොහැකි නිසා වසංගතය පාලනය කරගත හැක. බෝවීම සිදුවන්නේ ශරීරයකින් තව ශරීරයකටය. කහින විට පිටවල සෙම බිංදුවලිනුත්, ශරීරයේ මතුපිට ඇති වෛරස ස්පර්ශය හරහා නාසය තුලින් ඇතුළුවීම නිසාද බෝවීම සිදු වේ. මෙම බෝවීම පහසුවෙන් වැළැක්විය හැක්කේ ශරීරයේ ඇති වෛරස ඇතුලුවීම නැවැත්වීමට ස්වභාවයෙන්ම ඇති වෛරස අවහිර කරන ක්‍රියාවලිය ඉස්තරම් මට්ටමින් තබා ගතහොත් පමණි. මෙය තේරුම් ගැනීමට එතරම් බුද්ධියක් අවශ්‍ය නැත.

2020 අප්‍රියෙල් මාසයේදී මා විසින් පෙන්වා දුන් ලෙසම මෙම වෛරසය මුලදී පාලනය වූවා සේ පෙනුනද එය නැවත නැවත මතුවන බව දැන් පැහැදිලිය. උඩින් අතපත ගාමින් 1918 වසංගතයේදී කළ යල්පැන ගිය ක්‍රමවලින් හා යල්පැන ගිය නීති මාර්ගයෙන් මෙය මුලින් උදුරා දැමිය නොහැකි බව සනාථ වී හමාරය. මෙම වෛරසය එළියට දමා ඇත්තේ එවැනි ක්‍රමවලින් සහමුලින්ම පැතිරීම වැළැක්වීමට බැරි වන ලෙසටය. වෛරසය පැතිරී අවුරුද්දකට පසුවත් සෞඛ්‍ය නිළධාරීන්ට මෙය නොතේරීම ‍රටේ අවාසනාවකි.

දැන් මා පෙන්වා දෙන්නේ මේ වසර අග වනවිට හා ඉදිරි වසර පහ තුළ තව තවත් මෙවැනි හෝ වෙනස් වූ හෝ සම්පූර්ණයෙන්ම අලුත් වෛරස පැතිරෙන ලකුණු දැනටමත් ඇති බවය. මේ බව සෞඛ්‍ය නිළධාරීන් දැන ගත්තත් එවැනි වසංගත පාලනය කිරීමට පමණක් නොව සහමුලින් උදුරා දැමීමට ඔවුන්ගේ පිටරැටියන්ගේ දැනුමෙත් ලබාගත් අධ්‍යාපන ක්‍රමවලින් බැරිය. ස්වදේශීය ආයුර්වේද ක්‍රමවලිනුත් එය බැරිය. දිගින් දිගටම පැතිරීමට නියමිත වෛරස රැලි සහමුලින්ම නවතා දැමිය හැක්කේ, සියලුම වෛරස මුලිනුපුටා දමන ක්‍රමයකින් පමණි. (එක වෛරසයකට එන්නතක් දීමෙන් ඉදිරියට එන වෙනස් වෛරසවලට ප්‍රතිශක්තිය නොසෑදේ) මෙය නොතේරෙන සෞඛ්‍ය නිළධාරීන් හා ඔවුන්ගේ උපදෙස් ගන්නා පාලකයන්ගේ ඇස් දැන්වත් ඇරිය යුතුය. මීළඟ අවුරුදු 05-10 තුළ ඇතිවන්නට යන ඛේදවාචකය නවතා ගත හැක්කේ ඉතාමත් බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීමෙන් පමණි. බුද්ධිමත් රටවල් මෙයින් වැළකෙනු ඇත. අඥානවන්ත රටවල් පහතට වැටෙනු ඇත. බොහෝ රටවල් මෙයින් වැළකීමට බුද්ධිමත්කමක් නැතිව පහතට වැටී ඇති අවධියක ලංකාව බුද්ධිමත් ලෙස කටයුතු කළහොත් ලක්දිව ඛේදවාචකයකට අසු නොවෙනවා පමණක් නොව දියුණු වීමටද අවස්ථාව ලැබේ.

බටහිර වෛද්‍යවරුන්, පිටරැටියන් විසින් ලියන ලද සඟරා, පොත් ආදියෙන් වෛරස පිළිබඳ දැනුම ලබා‍ගෙන, ඒ දැනුමෙන් පමණක් වෛරස නැති කිරීමට රජයට උපදෙස් දීමෙන් ප්‍රතිඵල නැති බව දැන් කවුරුත් දන්නා කරුණකි. පිටරැටියන්ගේ දැනුමට වැඩි දැනුමක් ලබාගත හැකි නම් මෙය සහමුලින්ම නවතා දැමිය හැක. පිටරැටියන් බලා ඉන්නේ ලංකාව වැනි රටවල් තව තවත් පහතට ඇද දැමීමටය. එවැනි දෙයකට නොදැනුවත්වම පෙළඹවීමට දැන් බටහිර වෛද්‍ය විද්‍යාවද පිරිහී ඇත.

සති 3-4 කින් සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි මෙවැනි දෙයක් දිගින් දිගටම ඇදගෙන යාමට ක්‍රියා කරන්නේ ඇයි ? පිටරැටියන්ට මෙය නැවැත්වීමට ක්‍රම නැති බව හැඟෙව්වත් අපි ඒ මතවලට අනුකූල වී වසංගතය තව තවත් පැතිරීමට සැළසුවහොත් අපි අපේම සහජ බුද්ධියෙන් මෙය නැවැත්වීමට හැකියාව ඇතත් එය සිදුවීමට ඉඩ නොදෙන්නේ ඇයි ? ජනතාවගේ රැකියා, අධ්‍යාපනය, ආර්ථිකය පමණක් නොව රෝගය සෑදීමෙන් මහජනතාවට සිදුවන සෞඛ්‍යමය හානිය කොයිතරම්ද යන්න තවමත් සෞඛ්‍ය නිළධාරීන්ට තේරී නැත. එසේ තේරුණා නම් දැන් ක්‍රියාත්මක වන යල්පැන ගිය අසාර්ථක ක්‍රමය ඔවුන් වෙනස් කරනු ඇත. නමුත් ඔවුන්ට පමණක් නොව රජයටද එවැනි අදහසක් නැති බව හැඟේ.

යන-එන අතක් නැති විදියට ක්‍රියා කරමින් නව ක්‍රම භාවිතා කිරීමට මැලි වී හෝ එවැනි දෙයක් ඇති බවවත් නොදැන මේ යන ගමනින් ඉදිරියට මතුවන නොයෙකුත් වෛරසවලින් රට පහතට වැටී පිටරටවලට ණය වෙමින් අවසානයේදී ඔවුන් කියන හැටියට රට පාලනය වීමට පිටරැටියන් අරඅඳින බව තේරෙන්නේ මට විතරද ?

ජනතාවගේ නාමයෙන් හා රටේ අනාගතය වෙනුවෙන් ඉදිරියට එන ලෙස රජයට අවධාරණය කරමි.

සෞඛ්‍ය නිළධාරීන්ගේ උපදෙස් මත පමණක් නොපිහිටා දැනට ක්‍රියාත්මක වෙන දේවල්වලට අමතරව පියවර කිහිපයකින් මෙම වසංගතය මුලිනුපුටා උදුරා දැමිය හැකි වනවා පමණක් නොව මා‍ පෙර යෝජනා කළ ක්‍රමවලින් ඉදිරියේදී ඇතිවන මීට වඩා විස, දරුණු වෛරසවලින්ද සම්පූර්ණයෙන් වැළකී සිටීමට හැකි වනවා ඇත. මෙය තේරුම් ගැනීමට සමත් බුද්ධිමතුන් රජය තුළ ඇතැයි විස්වාස කරමි.

අනාගත ඛේදවාචකයකින් බේරීමට තවමත් කල් ඇත. සෞඛ්‍ය නිළධාරීන් කෙසේ උපදෙස් දුන්නත් අවසානයේදී වගකීම හා බැනුම පැ‍වරෙන්නේ රජයටය.

ඇස් ඇත්තෝ බලත්වා !
කන් ඇත්තෝ අසත්වා !
බුද්ධිය ඇත්තෝ බුද්ධිය තුළින් ක්‍රියාත්මක වෙත්වා !

වෛද්‍ය ගාමිණී අභය