රට වහන එක විසඳුමක් නෙවෙයි හැමෝම එකතුවෙලා වසංගතයට මුහුණ දෙමු - අගමැති

රට වහන එක විසඳුමක් නෙවෙයි හැමෝම එකතුවෙලා වසංගතයට මුහුණ දෙමු - අගමැති

7 May 2021 05:05 pm

කොරෝනා වසංගත තත්වය යළිත් රටපුරා වර්ධනය වී ඇති නමුත් ඊට විසඳුම රට වසා තැබීම නොවන බවත් රටේ සාමාන්‍ය කටයුතු ඒ අයුරින්ම සිදු කරමින් වසංගත තත්වයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අභියෝගයක් වන නමුත් සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කරන්නේ නම්, අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නම් එම අභියෝගය ජය ගැනීමට හැකි බවද අගමැතිවරයා අවධාරණය කරනවා.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව-ඉංගිරිය පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පවත්නා වසංගත තත්වය හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ඉතා සුළු පිරිසක් සහභාගි වූ අතර අගමැතිවරයා අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක් විය.

රුවන්පුර අධිවේගී මාර්ගයේ සැළසුම් කටයුතු 2014 වසර වනවිට අවසන් කර තිබූ නමුත් පසුගිය රජය එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ බව අගමැතිවරයා පවසනවා. 2015 දී බලයට පත් වූ රජය සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් ඔවුන්ට තිබුණේ රට සංවර්ධනය කිරීමේ අරමුණක් නොව බලය උදුරා ගැනීමේ අරමුණක් පමණක් බවද අගමැතිවරයා පෙන්වා දෙනවා.

රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු යළිත් ආරම්භ කිරීමේ අවස්ථාවට ඉතා සතුටින් එක්වන බවද ඔහු සඳහන් කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

'අපි ආපහු භාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණ රටක්. නමුත් අපි මේ අභියෝගය ඉතාම සතුටින් භාරගත්තා. අපට අවශ්‍ය වුණේ හැමදාමත් මේ රටටත් ජනතාවටත් හොඳම දේ දෙන්න. රට දියුණු කරන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න. ඒ නිසා මොනතරම් බාධක ආවත්, කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විධියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යථාර්ථයක් වන තුරු ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරනවා කියන එක ඔබ දන්නවා. ආරම්භ වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා පළමු අදියරය වසර දෙකහමාරක් ඇතුළත අවසන් කරනවා කියලා අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමාත් මා සමඟ කිව්වා.'

'ඔවුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. මේ මාර්ගයේ කිලෝ මීටර 24ක් වන පළමු කොටස සඳහා රජය දේශීය අරමුදල් රුපියල් බිලියන 54.7 ක් වැයකරනවා. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නෙත් දේශීය සමාගමක්. පළමු අදියරේ කටයුතු අවසන් වූ වහාම දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරයටත්, තුන්වැනි අදියරේදී රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්වාත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.'
 
'අධිවේගී මාර්ග තමයි මේ රටේ වැඩියෙන්ම විවේචනය වූ ව්‍යාපෘතිය. හැබැයි විවේචනය කරපු උදවියම අද අධිවේගී මාර්ගවල සුව පහසුව විඳිමින් එහාට මෙහාට යනවා. අපට ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්භරයක්. මොකද ඒ අධිවේගී මාර්ගයෙම ගිහිං ඒ අධිවේගී මාර්ගයෙම ආවා. මේ මොහොත වනවිටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළඟදීම ජනතා අයිතියට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා.'

'2006 වර්ෂයේ දී ලංකාවේ පළමු වැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියා ගෙන. අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකයම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක. ඔබ දන්නවා කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයක් විධියට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.' 

'ඒ වගේම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් අපි බැහැර වෙලා නැහැ, බැහැර වෙන්නෙත් නැහැ. යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මහින්ද චින්තනනයේ වගේම සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඒ ගැන පැහැදිලිව පෙන්වලා තියෙනවා.'

UN