කොරහේ කිඹුලන් දකින ආදි දේවී බාළිකාවෝ !

කොරහේ කිඹුලන් දකින ආදි දේවී බාළිකාවෝ !

7 May 2021 04:23 pm

කොළඹ ප්‍රධාන පෙළේ බාළිකා විද්‍යාලයක් වන දේවී බාළිකා විද්‍යාලය පිහිටි ඉඩම අත්පත් කර ගැනීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා උත්සාහ දරන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඊට පදනම වී තිබෙන්නේ දේවී බාළිකා විද්‍යාලයේ උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයට ගෙනයෑම සඳහා ගෙනඇති තීරණයයි.

දේවී බාළිකා විද්‍යාලය සතු පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සහ ගොඩනැගිලි පහසුකම් තවදුරටත් ඉහළ දැමීමට දැනට එම විද්‍යාලය පිහිටි භූමිය තුළ නොහැකි වීම නිසා ගණිත හා විද්‍යා අංශ උඩහමුල්ල ප්‍රදේශය වෙත ගෙනයෑමට තීරණය කර ඇති අතර ඒ සඳහා ධම්මික පෙරේරා මහතා රුපියල් කෝටි 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට එකඟ වී තිබේ.

ධම්මික පෙරේරා මහතා දේවී බාළිකාව පිහිටි ඉඩම අත්පත් කර ගැනීමට සූදානම් වන බවට චෝදනා කරන්නේ මෙම මුල්‍ය පරිත්‍යාගය හේතුවෙනි.

දේවී බාළිකා සුරැකීමේ සංවිධානය නමැති සංවිධානයක් විසින් මෙම චෝදනා එල්ල කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ ගණිත හා විද්‍යා අංශ දැනට විද්‍යාලය පිහිටි ස්ථානයෙන් ඉවත් කර ඉන් අනතුරුව ක්‍රමයෙන් සියලු පංති එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවයි.

කෙසේ නමුත් දේවී බාළිකා විද්‍යාලයේ තවත් ආදි සිසුවියන් පිරිසක් මෙම තීරණයට සහාය පළකරන අතර ඔවුන් පවසන්නේ විද්‍යාලය දියුණු වනවා දැකීමට අකමැති ආදි සිසුවියන් පිරිසක් දේවී බාළිකා සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන විද්‍යාලයේ සංවර්ධනයට බාධා සිදු කරන බවයි. මෙම සංවිධානයේ ප්‍රධානීන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය පවා නියෝජනය නොකරන පිරිසක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ ඉඩ-කඩම්, යාන-වාහන, දේපළ ඕනෑවටත් වඩා තමන් මේ වනවිට උපයාගෙන ඇති බවයි. මේ නිසා තවත් ඉඩම් අවශ්‍ය නොවන බවත්, තමන් මේ සිදු කරන්නේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තමාට කළහැකි සේවාව බවත් ඔහු පවසනවා. දුප්පත්කම නැති කිරීමේ එකම එන්නත අධ්‍යාපනය යැයි තමා විස්වාස කරන බවත් ඒ අනුව දේවී බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට සිහින දකින දියණියන් කිහිප දෙනෙකුගේ හෝ එම සිහිනය සැබෑ කිරීම තමා‍ගේ එකම බලාපොරොත්තුව බවද ඔහු පෙන්වා දෙනවා.

දේවී බාළිකා විද්‍යාලයේ ගණිත හා විද්‍යා අංශ නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයට රැගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිමල් අබේසිංහ මහතා ලියූ විස්තරාත්මක ලිපියක් රාවය වෙබ් අඩවියේ පළ වී තිබෙනවා. අදාල ලිපිය පහතින්.....

දේවි බාලිකා විදුහලට වෙන්නේ මොකක්ද ? - නිමල් අබේසිංහ

උසස් පෙළ විද්‍යා ගණිත විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ නංවාලීමේ අරමුණින් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් ඇත. මෙය සිදු කිරීමට යෝජිතව ඇත්තේ කොළඹ ජනප්‍රියතම ජාතික පාසලක් වන දේවි බාලිකා විදුහල සම්බන්ධ කරගනිමිනි. මේ වනවිට කොළඹ දේවී බාලිකා විදුහල උසස් පෙළට වසරකදී පාසලට බැහැරින් ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව දෙසීයකි. එහෙත් වාර්ෂිකව ලැබෙන ඉල්ලුම්පත් ප්‍රමාණය තුන් දහසක් පමණ බව කියැවේ. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ වාර්ෂිකව ඇතුළත් කර ගන්නා දෙසීයක ශිෂ්‍ය ප්‍රමාණයට අමතරව තවත් පිරිසක් ඇතුළත් කරගෙන ඔවුන්ට ද විද්‍යා ගණිත ක්ෂේත්‍රයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදීමටය. දේවි බාලිකා විදුහල යනු මේ වන විට උසස් පෙළ විභාගයෙන් සාර්ථකම ප්‍රතිඵල ප්‍රදර්ශනය කරන පාසලකි.

මේ වනවිට දේවි බාලිකා පාසල් භූමිය තුළ අලුත් ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩක් නැත. මේ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විකල්පයක් තෝරා ගෙන තිබේ. ඒ උඩහමුල්ල ප්‍රදේශයේ පිහිටි වැසීගෙන යාමට ආසන්න විදුහලක් වන ශ්‍රී විජයරාම මහ විදුහලේ භූමිය සහ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගෙන එහි දේවි බාලිකා විදුහලේ උසස් පෙළ විද්‍යා ගණිත (අතිරේක) අංශයක් පිහිටුවීමය. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දේ.

පන්ති කාමර ඉදි කිරීම විද්‍යාගාර ඉදිකිරීම සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීම සඳහා ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිඳ විසින් පවත්වාගෙන යන ‘ධම්මික ප්‍රෙසිලා’ පදනමින් රුපියල් මිලියන 100ක් ප්‍රදානය කෙරේ. මෙම ක්‍රියාවලිය වෙනුවෙන් වන කැබිනට් සංදේශයට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ හා සමගම දේවි බාලිකා විදුහල සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් එහි ආදි ශිෂ්‍යාවන් පිරිසක් පිහිටුවාගෙන තිබේ. එහි සභාපතිනී නීතිඥ දයනි පනාගොඩ පවසන්නේ ධම්මික පෙරේරා මෙතරම් මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම තුළ රහසක් තිබෙන බවය. ඒ කොළඹ දේවි බාලිකා විදුහල කොළඹින් ඉවත් කර, මුළු විදුහලම විජයාරාම මහ විදුහලට ගෙන එන්නට සූදානමක් ඇති බවය. ඉන් පසුව කොළඹ දේවි බාලිකා විදුහල් භූමිය ධම්මික පෙරේරා අයත් කරගනු ඇති බවය. ධම්මික පෙරේරාට එවැනි අදහසක් තිබේද නැද්ද යන්න වෙනම කාරණාවක් වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු ඉඩමක් එසේ අත්පත් කරගැනීම හෝ පවරා දීම ලෙහෙසි පහසුවෙන් කළ හැක්කක් නොවේ.

ධම්මික පෙරේරා පරිත්‍යාග කරන රුපියල් මිලියන 100ක මුදල වියදම් කිරීමේ විනිවිදභාවය ගැන සැක සහිත බවද මේ අයගේ චෝදනාවකි. තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ඇති තොරතුරු අයිතිය ප්‍රයෝජනයට ගෙන ඕනෑම අයකුට මේ ගැන තොරතුරු ලබාගැනීමටත් එසේ ලබා ගන්නා තොරතුරු අනුව ප්‍රශ්න කිරීමටත් ඕනෑම අයකුට තිබෙන අයිතිය මේ පිරිසටත් භාවිත කළ හැකිය.

ප්‍රධානම ගැටලුව වන්නේ දේවි බාලිකා විදුහල එතනින් ඉවත් කරනවාද යන්නය. ඒ ගැන රාවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරාගෙන් විමසූ විට කීවේ කිසිදු හේතුවක් නිසා දේවි බාලිකා විදුහල දැනට පිහිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන නොයන බවය. අනුමත වූ කැබිනට් පත්‍රයේ පවා එවැන්නක් පිළිබඳ සඳහනක් නැතිවා සේ ම ඉදිරියේදීද එවැන්නක් සිදු නොවන බවය.

මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් පැවසුවේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව දැනට පවතින ජනප්‍රිය ජාතික පාසල්වලටද ඉදිරියේදී මෙයාකාරයෙන්ම විද්‍යා ගණිත අතිරේක පන්ති ඇති කරමින් උසස් පෙළ විද්‍යා ගණිත අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍ය ප්‍රජාව 60% දක්වා වැඩි කිරීමට නියමිත බවය. ඔහුට අනුව දේවි බාලිකා විදුහලේ ක්‍රියාත්මක කරනුයේ එහි නියමු ව්‍යාපෘතියය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් තවමත් මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිය. එවන් පසුබිමක මෙවැනි කෙටිකාලීන විසඳුම් මගින් විද්‍යා ගණිත විෂයයන් පිළිබඳ ප්‍රාමාණිකයන් බිහිකර ගැනීමට මේ ආණ්ඩුවද කෙටිකාලීන විසඳුමක් ලෙස මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා විය හැකිය. රටේ මෙතෙක් පැවති ක්‍රමය සේ ම මෙම ව්‍යාපෘතිය තුළ ආණ්ඩුවේ දේශපාලනික අරමුණුද තිබිය හැකිය. එය එසේ නොවේ නම් පුදුමයක්ද වන්නේය. කෙටිකාලීන හෝ තාවකාලික හෝ වේවා මේ තුළ කිසියම් සාධනීය ලක්ෂණ දැකිය හැකිය. ඒ යම් තරමකින් හෝ මෙරට විද්‍යා අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙන ඒමට දරන උත්සාහයය. එය ඇරඹීම දේවි බාලිකාවෙන්ම සිදුවීම ප්‍රශ්නයක් නොවේ. එනිසා මෙයට විරුද්ධ වන්නන් සිදුකළ යුත්තේ මේ ව්‍යාපෘතිය හරියාකාරව සිදුවේද එහි මුදල් වියදම් කිරීම හරියාකාරව සිදුවේද යන්න ගැන විමසිලිමත් වීම නොවේද ?